පොහොට්ටුට නැවත පිපෙන්නට හැකිවේද? සැබවින්ම එය බහුවරණ පැනයක් නොවේ. රචනා ප්‍රශ්නයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ වේගවත්ම ධාවකයා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුවූ සන්තෑසිය පිළිබඳ අපි දනිමු. කෙසේ නමුත් අද වනවිට එම පක්ෂය නැවත සිය දේශපාලන බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතියකට අත ගසා ඇත. අද අප විමසා බලන්නේ ඒ පිළිබඳවයි.
පොහොට්ටුවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළේ පළමු වෙඩිමුරය නැඟුණේ කළුතරිනි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමුවැන්න "එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු" මැයෙන් සංවිධානය කොට තිබුණි. ඔක්තෝබර් 08 වැනිදා මෙම සම්මන්ත්‍රණය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වුණි. මෙහි සුවිශේෂී බව වූයේ මැයි නව වැනිදායින් පසුව පොහොට්ටුව සංවිධානය කළ විශාලතම මහජන හමුව මෙය වීමයි.
මෙහිදී කැපී පෙනෙන ලක්ෂණ කිහිපයකි. නැවත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වටා පොහොට්ටුව කඳවුරු බැඳීමට සැරසී සිටින බව කළුතරදී පැහැදිලි විය. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රාජපක්ෂවරුන්ගේ නැවත ආගමනය පොහොට්ටුව හරහා සිදුවූ පරිද්දෙන්ම, මෙවරද මහින්ද රාජපක්ෂ චරිතය ධජය කොටගෙන පොහොට්ටුව පුනරාගමනයකට සූදානම් වන බව පෙනී යයි. පොහොට්ටුවේ නායකයන් කළ කී දෑ අනුව එය තවදුරටත් පැහැදිලිවේ.
“කවුරු ජනාධිපති වුණත්, කවුරු ඉහළට ගියත් ඔබතුමාගේ වචනයට ඒ ආණ්ඩුව නතු වෙන්න ඕනේ... එහෙම නැත්නං අපිට මේක කරන්න බෑ...”
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තබාගෙන පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රිනිය කී එම කතාව හරහා පෙර කී කරුණ තවදුරටත් තහවුරු වේ. මීට අමතරව කළුතරදී පිරිස ඇමතූ පොහොට්ටුවේ සෙසු නායකයන් මහින්ද රාජපක්ෂ චරිතය ඔසවා තබන අයුරු කැපී පෙනුණි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශවල දේශපාලන බලය තමන් සතු බව පොහොට්ටුවේ නායකයෝ විශ්වාස කරති. මීට සති කිහිපයකට ඉහතදී පොහොට්ටුවේ වැඩබලන ජාතික සංවිධායකවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා එම කතාව තහවුරු කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවකදීය. එහිදී පක්ෂයේ දේශපාලන බලය තවදුරටත් තහවුරු කොට පෙන්වීමට ඉදිරි පළාත් පාලන ඡන්දය යොදාගත හැකි බවට ඔවුහු විශ්වාසය පළ කළහ.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ පොහොට්ටුවේ ආකල්පය පිළිබඳ යම් විමසුමකටද ඉකුත්දා පැවති කළුතර හමුව අවකාශ සලසයි.
“රට තුළ කැලෑ නීතිය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා."
මෙසේ පවසා තිබුණේ රෝහිත අබේගුණවර්ධනයි. පක්ෂය සහ තම කණ්ඩායම ගලවා ගැනීම සම්බන්ධව ජනපති වික්‍රමසිංහ මහතා කෙරෙහි පක්ෂය තුළ යම් ප්‍රසාදයක් පවතින බව මේ හරහා පෙනී යයි. කෙසේ නමුත් මෙම ප්‍රසාදය තුළ සීමා මායිම් රඳවා ගැනීමටද පොහොට්ටුව ප්‍රවේසම් වෙති.
“එදා නම් අපි රනිල්ට බැන්නා රනිල් යූ.ඇන්.පී. කාරයා කියලා. දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා. දැන් යහමඟට හැරිලා කියලයි මම විශ්වාස කරන්නේ. අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යනවා."
මෙසේ කියා තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය. ඓතිහාසික දේශපාලන ප්‍රතිවාදීන් වූ මෙම දේශපාලන චරිත ද්විත්වයේ වර්තමාන දේශපාලන භාවිතාව ශ්‍රී ලාංකික ඡන්දදායකයන්ට පාඩම් රැසක් කියාදෙයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන බලය පිළිබඳ න්‍යාය පොහොට්ටුව තුළ යම් තැතිගැන්මක් ඇතිකර ඇති බව කිවයුතුය. තවදුරටත් පාර්ලිමේන්තු බහුතරය දරන පොහොට්ටුවේ ආණ්ඩුව අවස්ථාව ලැබුණු විගස ජනපති විසින් විසුරුවා හරිනු ඇතැයි ඔවුහු බියෙන් පසුවෙති. පොහොට්ටුව අභ්‍යන්තරයෙන් ලැබෙන ආරංචි අනුවද එය ඉතා පැහැදිලිය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන විට එය තවදුරටත් පැහැදිලි වෙයි. මේ හා සම්බන්ධ අභ්‍යන්තරික යම් මත බෙදීම් ඇතත් පක්ෂයේ බලය දරන ප්‍රධාන ක්‍රියාකාරීන් සංශෝධන ක්‍රියාවලියේදී ජනපතිට පිටුපානු ඇත. ඇතැම් විට මෙය ආණ්ඩුවේ අභ්‍යන්තරය පිපිරිමේ පළමු අදියර වීමට ඉඩකඩ තිබේ.
“අරගලේ එක්ක අපිට ගැටලුවක් නෑ. ඒත් අරගලකරුවන් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. සමහරු අද ජනපතිතුමාගේ කාර්ය මණ්ඩලයෙත් ඉන්නවා...."
කළුතර ජන හමුවේදී මෙසේ කියා තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මේ හරහා නිරෑපණය වන්නේ පොහොට්ටු අභ්‍යන්තර ක්‍රියාවලියේ යම් පිළිබිඹුවක් යැයි කීම සාධාරණය.
මේ අතර පොහොට්ටු ග්‍රාමීය සංවිධාන ක්‍රියාවලිය පිළිබඳවද අප නිරීක්ෂණ කළෙමු. මෙහිදී බොහෝ ප්‍රදේශවල පොහොට්ටුව නමින් සංවිධානය වීමට පාක්ෂිකයන් තුළ යම් අකමැත්තක් පවතින බව දැනගන්නට ලැබේ. මේ පිළිබඳ පොහොට්ටුවේ නායකත්වයද දැනුවත්ය. ඉහළ සිට පහළට සංවිධාන ක්‍රියාවලිය මෙහෙයවීමට ඔවුන් සැරසෙන්නේ එබැවිනි. දැනගන්නට ලැබෙන පරිදි දිස්ත්‍රික් සමුළුවලින් අනතුරු ආසන මට්ටමටත් අනතුරුව බිම් මට්ටමත් ගමන් කිරීම ඔවුන්ගේ අරමුණයි.
මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ඉහළ ක්‍රියාකාරීන් සමඟ පමණක් ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව කියැවේ. පසුගිය සමයේ අමාත්‍ය තනතුරු බෙදාදීම පිළිබඳ දුක්ගැනවිලි රැසක් ඔහු වෙත ගලා ආවෙන් ඔහු පක්ෂයේ ඇතමුන්ට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බවටද තොරතුරු ඇත. කෙසේ වෙතත් ඔහුගේ උපදෙස් පරිදි මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මෙහෙයුම් කටයුතු සිදුවෙමින් තිබේ.
පසුගිය මාසය තුළ නාමල් රාජපක්ෂ මහතගේ මෙහෙයවීමෙන් ආසන සංවිධයකවරුන්ගේ මට්ටමින් රැස්වීමේ මාලාවක් පැවැත්වුණි. මෙහිදී මැතිවරණයක් පරිද්දෙන් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් එම ආසනවලට ගොස් එම රැස්වීම් ඇමැතුවේය. පළාත් පාලන ආයත නියෝජිතයන්, ශාඛා සමිති ක්‍රියාකාරීන් යළි බලගැන්වීම මෙහි අරමුණ විය.
මෙම සියලු වෑයම් පොහොට්ටුව නැවත විකසිත කර ගැනීම සඳහාය. එම උත්සාහයේ සාර්ථකත්වය මැන බැලීමට තවම කල් වැඩිය. පොහොට්ටුට නැවත පිපෙන්නට හැකිවේද? යන පැනයට නිවැරදි පිළිතුර ඉදිරි මැතිවරණයකදී අපට දැනගත හැකිවනු ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සමීප නිරීක්ෂණය කිරීම මෙරට දේශපාලන ලැදියාව ඇති සියලුදෙනාටම ආශ්වාදයක් වනු ඇත.
I චමිඳු නිසල් ද සිල්වා