2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

පාන් පුරාණය

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 204

ශත 25ට පාන් කාපු කාලේ

පාන් පිළිබඳ පුරාවෘත්තය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිව යන්නකි. අවුරුදු තිස් දහසකට පෙර විසූ මානවයා ඔහුගේ දත්වලින් සපාගන්නට අසීරු වූ වල් තිරිඟු, බාර්ලි වැනි ඇට වර්ග දියේ පොඟවා කොටා පුළුස්සාගෙන ආහාරයට ගත් බවට සාක්ෂි ලැබී තිබේ. විධිමත් ලෙස පාන් සකසාගත් බවට සාක්ෂි ලැබෙන්නේ ඊජිප්තු යුගයෙනි. තිරිඟු පිටිවලට පිපුම්කාරකයක් ලෙස යීස්ට් මිශ්‍ර කොට, ඒවා මෘදු ලෙස පිපුණු විට පාන් හැඩයට වෙන්කොට පෝරණුවල ඒවා පුළුස්සාගත් බවට අවුරුදු 5000කට වඩා පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් සාක්ෂි ලැබී ඇත.

යුරෝපයේ මධ්‍යකාලීන යුගයේදී රයි පිටි යොදාගෙන සෑදූ මස්ලින් නමින් හැඳින්වූ පාන් වර්ගයක් ජනප්‍රිය වූ බව කියැවේ.

පාන්වලට සහතික මිලක් නියම කර ඇති බවට සාක්ෂි මුලින්ම ලැබෙන්නේ 15 වැනි ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයෙනි. එවකට පාන් රාත්තලක් විකිණිය හැකි උපරිම මිල පැන්ස එකකි. ඊට වැඩි මිලට පාන් විකුණා අසුවන බේකරි හිමියන්ට දුන්නේ අපූරු දඬුවමකි. ඔවුන්ගේ බෙල්ලේ පාන් ගෙඩියක් එල්ලා වීදි පුරා ඇදගෙන යාම එකී දඬුවමයි. අද දවසේ ද ඇතැම් පාන් කන විට එවැනි දඬුවමක් තවම තිබුණේ නම් මැනවැයි යන හැඟීම මැඩගන්නේ අමාරුවෙනි. යුරෝපයේ දුප්පතුන් ඉලක්ක කරගෙන සෑදූ ඝන පාන් වර්ගයක් ද ධනවතුන් උදෙසා සෑදූ මෘදු පාන් වර්ගයක් ද වෙනම නිපදවූ බව වාර්තා වී තිබේ.

අපේ රටේ පාන් ගැන කියැවුණු පළමු කතාව 1505 පෘතුගීසින් මෙරටට පැමිණි කාලය දක්වා දිව යයි. මෙරට ජනයා මුල්වරට සුද්දෝ පාන් කනවා දුටුවේ ඒ කාලයේය. සුද්දා තිරුවානා ගල් කමින් ලේ බොන එකකු යැයි වැසියන් රජුට වාර්තා කළේ පෘතුගීසිකාරයා පාන් කමින් වයින් පානය කරනු දුටු විටය. පෘතුගීසිකාරයකු මළ විට ඒ කාලයේ සොහොන් කුටියට පාන් ගෙඩියක් සහ වයින් බෝතලයක් දමා වැසූ බවට කතාවක් තිබේ. මෑත කාලයේ කොළඹ ඇතැම් තැන්වල පොළොව කණින විට පැරණි පෘතුගීසිකාරයන්ගේ යැයි සැක කරන ඇට සැකිලි අසල වයින් බෝතල් හමුවීමෙන් එකී මතයට සහාය දෙන සාක්ෂි ලැබිණි. ඒ අසල තැබූ පාන් ගෙඩියට නම් වූ දෙයක් ගැන දැනගන්නට නැත.

මෑත කාලයේ මෙරටට තිරිඟු පිටි මුලින්ම ආනයනය කර ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය කාලයේ බව වාර්තා වේ. එකල සහල් හිඟ වූ බැවින් ද, සහල් ආනයනය කරගත නොහැකි වූ බැවින් ද ඔස්ට්‍රේලියාවෙන් තිරිඟු පිටි ගෙන්වා පාන් පුළුස්සා ගැනීම විධිමත් ලෙස අරඹා තිබේ. මෙරට ජනයා පාන් ආහාරයට ගන්නට පුරුදු වී ඇත්තේ එතැන් පටන් බවද කියැවේ.

මා පාන් මිලදී ගෙන ඇති අවම මිල හෙළි කළ විට මගේ වයස සැමටම හසුවේ. එහෙත් එය නොකියාම බැරිය. මා ගේ ළඟ සිල්ලර කඩයට තනිවම දිවගොස් සීනි බෝල කන කාලයේ පාන් ගෙඩියක (රාත්තලක) මිල ශත විසිපහකි. ඒ කාලයේ ගල්කිස්සේ හොඳම පාන් තිබුණේ පුඩිං හවුස් එකේය. ගල්කිස්සේ පුඩිං හවුස් එක පිහිටා තිබුණේ විජය පාරත් සුමනාරාම පාරත් අතර උසාවියේ තාප්පය ඉදිරිපිටට වන්නටය.

ජීවිතයේ පළමු පාන් පෝලිම මා දුටුවේ සුප්‍රසිද්ධ පෝලිම් යුගයටත් පෙරය. ඒ 65 – 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේය. අර්ධ නාගරික ජනයා රෑට පාන් කන්නට හුරුවූයේ (මගේ මතකයේ හැටියට) ඒ කාලයේය. එක්දහස් නවසිය හැට ගණන්වල ලෝකයේ සහල් හිඟයක් ඇතිවූයේ ඒ කාලයේය. සහල් සලාකයෙන් එක් සේරුවක් කපා හල අගමැති ඩඩ්ලි සේනානායක එක් හාල් සේරුවක් නිකං දුන්නේය. මා දන්නා පළමු පාන් පෝලිම දුටුවේ ඒ කාලයේ ගල්කිස්සේ පුඩිං හවුස් එකේය.

උදය කාලයේ සාමාන්‍ය සිල්ලර කඩවල පාන් අලෙවියට තිබුණු නමුත් ඇඳිරි වැටුණු පසු නැවුම් පාන් එවකට ඒ පළාතේ බොහෝ දෙනා මිලදී ගත්තේ පුඩිං හවුස් එකෙනි. මා දන්නා තරමින් පුඩිං හවුස් එකේ බේකරිය තිබුණේ දෙහිවල මහරගම පාරේ බෙල්ලන්විල හරියේය. පුඩිං හවුස් ජාලය වසා දමා අවුරුදු ගණනාවක් ගිය පසු එහි සිටි ප්‍රධාන අලෙවිකරුවා මට 1992 දී පමණ මාතර ඌරුබොක්ක ප්‍රදේශයෙන් හමුවිය. අතීතයේ පාන් අලෙවි කළ ඔහු ඒ වන විට ඌරුබොක්ක ප්‍රදේශයේ දක්ෂ වී ගොවියෙක්ව සිටියේය. එවකට ගොවිජන සේවා කමිටුවේ සභාපතිවරයා වූයේ ද එම තැනැත්තාය. නාගරික පාන් අලෙවිකරුවා හද්දා පිටිසර පළාතක වී ගොවියකුව සිටීම උත්ප්‍රාසය දනවන්නක් විය.

1970 සමගි පෙරමුණු රජය බලයට පැමිණ මාස කිහිපයකින් ශත විසි පහට තිබුණු පාන් රාත්තල ශත 35ට වැඩි කළා මගේ මතකයේ ඇත. තුනෙන් දෙකේ බලයක් හිමිව තිබූ සමගි පෙරමුණ රජයට ඒ නිසා පොදු ජනයාගෙන් විවේචන එල්ල විය. ශත දහය යනු ඒ කාලයේ ලොකු මුදලකි. ශත හැට අටට තිබුණු සීනි රාත්තල ශත 72කට වැඩි වුණේ ඒ කාලයේය. ඊට ටික කලකට පසු හැත්තෑ ගණන්වල මුල් කාලයේම පාන් රාත්තල සිල්ලර කඩවල වික්කේ ශත තිස් හතටයි. බේකරිවල පාන් මිල එවිට ශත තිස් හයකි. ගිනිගත්හේනේ රොඩ්රිගූ බේකරි හිමිකරුගේ පුතා, සිසිර මගේ හොඳ මිතුරෙකි. ඒ කාලයේ ගිනිගත්හේන අවට සමහරුන් සතේ ලාභය බලාගෙන සිල්ලර කඩෙන් පාන් මිලට නොගෙන බේකරියෙන්ම පාන් මිලට ගත් බව ඔහු කියයි.
ඒ කාලයේ පාන් පිටිවලට ඒවා පිපෙනු සඳහා මිශ්‍ර කරනු ලැබුවේ බේකරිකරුවන් අල - බෙහෙත් - අල යනුවෙන් හැඳින්වූ බීර මල්වලින් සාදාගත් සංයෝගයකි. පිපෙන්නට හැරුණු පාන් පිටි පදමට පිපීගත් කල ඒවා 'ඇඹුල් වෙලා' කියන වදන ව්‍යවහාර විය. ඩබල් රෝස් හෙවත් රෝස් පාන් පිළිස්සීමට පෙර බොහෝ විට තැටියේ තවරනු ලැබුවේ පොල්තෙල්ය. පොල්තෙල්වලට පෙර දුං තෙල් නමින් හැඳින්වූ තෙල් වර්ගය භාවිත වූ බව කියැවේ. මේ කාලයේ රෝස් පාන් පිළිස්සීම සඳහා පොල්තෙල් තවරනු ලැබුවේ නම් පාන්වල මිල කොතරම් ඉහළ යාදෝයි සිතාගත හැකි වේ.

දැන් කාලයේ පාන් මිල සම්බන්ධයෙන් බේකරිකරුවාත්, පාරිභෝගිකයාත් ඉන්නේ පාන් කියාගන්නට බැරුවය. දැන් රුපියල් 180 ක් වන පාන් ගෙඩිය තවත් මිල වැඩි කළහොත් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම පාන් නොගන්නා තරමට අඩු වේදැයි බේකරිකරුවෝ සැක කරති. යෙදවුම් මිල හා ශ්‍රමයට වැයවෙන මිල අනුව පාන් මිල වැඩි නොකර බැරි තත්ත්වයේ පැවතීම අනෙක් ගැටලුව බව බේකරිකරුවෝ කියති. මේ අතර බේකරි 3000ක පමණ වැඩ නැවතී ඇති බව සති දෙකකට පෙර වාර්තා විය. පිටි මිලත් පාන් මිලත් පසුගිය කාලයේ දෙගුණ තෙගුණ වී ඇති බව නොරහසකි. 95% දක්වා ඉහළ ගිය උද්ධමනයෙන් පාන් ගෙඩිය ගැලවෙන්නේ නැත.

ඉස්සර පාන් පෝරණුවකින් පාන් (බාන විට) ඉවතට ගන්නා විට අසල දිග්භාගයේ ඒවායේ සුවඳ හමයි. ඒ දැනෙන සුවඳට පාන් රාත්තල් තුන හතරක් ගිල දමන්නට සිතේ. ඒ සුවඳේ රහස පොල්තෙල්, දුං තෙල් ආදී වඩාත් ස්වභාවික නැවුම් තෙල්වල සුවඳ දෝයි වරෙක සිතේ.

නවසිය අසූ ගණන්වලත් අනූ ගණන්වලත් බොහෝ දිළිඳු ගොඩනැගිලි කම්කරුවන් දිවා ආහාරවේලත් උදා ආහාරවේලත් පිරිමසා ගත්තේ රෝස් පාන් වලිනි. උදේ දහයට පමණ ප්ලේන්ටියේ ඔබාගෙන කන රෝස් පාන් කාලෙන් ඔවුන්ගේ දිනයේ අයවැය හිඟය පියවා ගනු ලැබුවේය.

අපේ රටේ අයවැය හිඟය පියවා ගන්නට ඇමෙරිකාවෙන් PL480 යටතේ ලැබුණු තිරිඟු පිටි කාලයක් බොහෝ සෙයින් උපකාරී වූයේය. ඒ කාලයේ වාමාංශිකයේ ඇමෙරිකානු අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ හඬ නගමින් සමාජවාදී ගමන ගැන නිතර කතා කළ ද PL480 ගිවිසුමෙන් මෙරට කුසගින්න යම් තරමින් හෝ නිවී ගියේය. තෙල් කොම්පැනි ජනසතු කරන විට සියලු ඇමෙරිකානු තෙල් කොම්පැනි පලවා හරිනු ලැබුවද, ඊට පසුවත් PL480 න් මෙරටට තිරිඟු පිටි ලැබුණේය.

සුප්‍රසිද්ධ පෝලිම් යුගය මෙරට පැවති 1973 – 77 කාලයේ, විශේෂයෙන් 1973 අවුරුද්දේ නාගරික ප්‍රදේශවල පාන් බෙදාහැරීම භාරවූයේ ජනතා කොමිටිවලටයි. ඒ කාලයේ උදෑසන පටන් පාන් පෝලිම තිබුණේ බේකරියේ හෝ පාන් කඩයේ නොව මැම්බර්ගේ නිවෙස ඉදිරිපිටය. සමුපකාරයෙන් අල, ලූනු, පරිප්පු මිලට ගන්නා සුදු පාට කාඩ්පතේ, අපට පාන් දුන් බව සීල් එකක් ගසා ලකුණු කොට මැම්බර් ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ එකල අපට පාන් ලබා දුන්නේ ආණ්ඩුවෙන් දෙන සහනාධාරයන් සේය. එහෙත් ඒවාට පිටි ලැබුණේ ඇමෙරිකාවේ PL480 ගිවිසුම යටතේය.

පාන් පෝලිමේ රැඳී පාන් මිලට ගත් කාලයේ අපි වෙනදාටත් වඩා ආසාවෙන් පාන් කෑවෙමු. කොළඹ ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරග නරඹා, ජාතික පොළේ තිබූ හෝටලයෙන් වට්ටක්කා හොද්ද සමඟ පාන් කාලක් කෑවේ අමෘතයක් රසවිඳගන්නා ලෙසිනි. ඒ කාලයේ පාසල් ගිය අපි ඉස්කෝලේ විවේක කාලයේදීද පාසල අසල හෝටලයට හොරෙන් ගොස් ශත විස්සකට පාන් කාලක් කෑවෙමු. ඒ කාලයේ මයිසූර් පරිප්පු ද හිඟ වූ නිසා පාන් කන හොද්දට හෝටලයේ පරිප්පු තිබුණේ ඉඳහිටය. ගෙවල්වල පවා රාත්‍රී ආහාරයට පාන් කෑවේ මයිසූර් පරිප්පු නැති නිසා කඩල පරිප්පු හෝ කවුපි හොද්දත් සමඟයි.

මිනිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ ද තිරිඟු ඇට ආදිය තලා වතුරේ පොඟවා පිටි අනා පාන් හා සමාන කැවිලි සකස් කරගත් බව ඉතිහාසය කියයි. ඊජිප්තු යුගයේ විධිමත් ලෙස පාන් සකසාගෙන තිබෙන බවට ඒ යුගයේ සිතුවම් සාක්ෂි සපයයි. පාන් සම්බන්ධ ඉතිහාස ගතවෙන කතාව ඇසුණේ ප්‍රංශයේ ප්‍රංශ විප්ලවය කාලයේය. පොදු ජනයා පාන් නොමැතිව හඬ නගනා බව කී විට ප්‍රංශයේ අග්‍ර රාජිනියක වූ මාරි ඇන්ටනොයිට් "පාන් නැත්නම් කේක් කාපල්ලා" කීවේලු. ඒ බව මාරි ඇන්ටනොයිට්ට එරෙහි ජනතා අධිකරණයේදී ජින් ජැක් රූසේ නැමැති දාර්ශනිකයා කීවේය.

පසු කලෙක මාරි ඇන්ට‍නොට් බිසව ගිලටිනයට දක්කන විට ඇයට අළුගෝසුවාගේ කකුල පෑගුණේය. ඇය එක හෙලා අළුගෝසුවාට 'සොරි' කීවේලු. තවත් පාන් මිල වැඩි කළහොත්, ජනතාවටත් 'සොරි' ය. බේකරිකරුවාටත් 'සොරි' ය.

I සමන් පුෂ්ප ලියනගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04