2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ජන සභාවලින් වෙන්නේ මොකක්ද?

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 804

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවට හඬක් නැඟුණේ කලක සිටය. විශේෂයෙන්ම දේශපාලකයන් හා නිලධාරීන් විසින් සිදුකරන දූෂණ වැළැක්වීමට නම් ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට ජනතාව ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාවේ පාර්ලි‌මේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ව්‍යුහය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහාත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාත් ස්ථාපනය කර ඇත. මෙම ව්‍යුහයන්ට පරිබාහිරව සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කෙරෙන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් අවශ්‍ය බවට කතිකාවක් පසුගිය දිනවල මතුව ආවේය. මෙහිදී ජනසභා හෙවත් මහජන කවුන්සිල පිළිබඳව මාධ්‍ය සහ පොදුජන අවධානය නැවත ඉස්මතු වූයේ පසුගිය දිනවල පැවැති ගාලු මුවදොර අරගලය තුළින්ද එම කරුණ සාකච්ඡාවට බඳුන්වීමත් සමඟය. අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒවා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් සඳහා වන ව්‍යුහයක් ගොඩනැගිය යුතු බවටය.

අතීතයේ ශ්‍රී ලංකාවේ පැවැති ගම්සභා ක්‍රමය ජනතාවට සමීප යහපත් ආණ්ඩු ආකෘතියක් විය. නියෝජිත මැතිවරණ මූලධර්ම පදනම් කරගෙන එය ක්‍රියාත්මක වූ අතර 1980දී එය අහෝසි කොට 1991දී ප්‍රාදේශීය සභා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි. යළි පැරණි ගම්සභා ක්‍රමයට සමාන දේශපාලන ක්‍රමවේදයක් ස්ථාපනය කළ යුතු බව පෙන්වා දෙමින්  හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු ''සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'' මගින් ''ජනසභා'' සංකල්පය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම සිදු වූ අතර මේ වනවිට ජනාධිපතිවරයා ජනසභා සඳහා සුබවාදී මතයක් පළකර තිබේ.

දේශපාලනයෙන් තොරව සැබෑ ජනහඬට ලබාදෙන ඉඩක්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ඉදිරිපත් කළ ජනසභා සංකල්පය පිළිබඳව කරු ජයසූරිය මහතා දේශයට අදහස් දක්වමින් 

''නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි පොහොසත් රට. අතීතයේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, සංහිඳියාව, එකමුතුකම ඉතා හොඳින් පැවතුණා. නිදහසින් පසු රට ක්‍රමයෙන් අගාධය කරා ගමන් කළා.

 එයට විවිධ දේශපාලනික කරුණු බලපෑවා. රට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වුණා. ජාතික ධනය සොරකම් කළා. මෙවැනි තත්ත්වයක් මත මේ වනවිට ශ්‍රී ලංකාව දුප්පත් රටක් බවට පත්ව තිබෙනවා. 20 වැනි සංශෝධනයෙන් පසු මිලියන 22ක ජනතාවගේ ඉරණම රඳා පැවතුණේ තනි පුද්ගලයකු මතයි. ඔවුන් රට හදනවා වෙනුවට රට අගාධය කරා ගෙන ගියා. ජනතාවත් පාර්ලිමේන්තුවත් අතර විශාල දුරස්ථභාවයක් ඇති වී තිබෙනවා. ජනතාව 225 එපා කිව්වත් රට ගොඩනැඟිය හැක්කේ පාර්ලිමේන්තුව තුළින්මයි. රටේ ජනතාවට පාලන තන්ත්‍රය සමඟ හවුල්වීමට අවස්ථාවක් දිය යුතුයි. ගම්වල පාලනය ගෙන යන්නේ පළාත්පාලන ආයතන මගින්. ආදර්ශමත් පළාත්පාලන ආයතන වගේම අසාර්ථක පළාත්පාලන ආයතනද තිබෙනවා. ගමේ සංවර්ධනය සඳහා දේශපාලනයෙන් බැහැරව ගමේ ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. මහත්මා ගාන්ධිතුමන්ගේ පංචායත් ක්‍රමය තුළින් ඉන්දියාවේ ගම එකතු කළා. රණසිංහ ප්‍රේමදාස මහතා ග්‍රමෝදය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළා. අපි ඉදිරිපත් කර තිබෙන්නේ. පංචායත් ක්‍රමයේ හා ග්‍රාමෝදය ක්‍රමයේ ලක්ෂණ සහිතව කිසිදු දේශපාලන පක්ෂයට යටත් නොවී ස්වාධීන පුද්ගලයන් ලෙස කටයුතු කළ හැකි ශ්‍රී ලංකාවට ගැලපෙන ක්‍රමවේදයක්. ජනසභා සංකල්පය ක්‍රියාත්මක වන්නේ ගමේ සිටින රාජ්‍ය සේවකයන්ගෙන්. මෙම වැඩපිළිවෙළ ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන්නක්. මෙය ආණ්ඩුව හරහා නොව රාජ්‍ය හරහා ක්‍රියාත්මක වන්නක්. ගමේ සෑම තීරණයක්ම ගන්නේ පොදුවේ සියලු දෙනාම එක්වයි. මෙය දේශපාලනීකරණයෙන් තොර බැවින් සාර්ථක වන බවට විශ්වාසයක් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවම කවුරුත් හිතුවේ නැහැ එය එතරම් ප්‍රයෝජනවත් වේවි කියල. අදවන විට එය කොතරම් වැදගත්ද යන්න ඔබට පෙනෙනවා ඇති. ජනසභා ක්‍රමයත් එවැන්නක්. මුලින්ම ජනසභා ලේකම් කාර්යාල පිහිටුවා ඒ සම්බන්ධ පනත ක්‍රියාත්මක කළ යුතුයි. ජන සභා ක්‍රමය ගෙන ඒම තුළින් ප්‍රදේශීය සභා ක්‍රමය අහෝසි වෙන්නෙ නැහැ. ඒවා තවදුරටත් විධිමත් වේවි. අප කළ සමීක්ෂණයකින් හඳුනා ගත්තා ප්‍රදේශීය සංවර්ධනය සඳහා ලබා දෙන මුදල්වලින් 40% පමණ දූෂණයට හා  නාස්තියට පත්වන බවට. ගම්මුන් තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වන්නේ නම් එවැන්නක් සිදු වන්නේ නැහැ.'' යනුවෙන් ප්‍රකාශ කළේය.

• ජන සභා

කරු ජයසූරිය මහතා ඇතුළු සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ජනසභා සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ ජනතාවගේ සැබෑ හඬ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය සඳහා දායක කර ගැනීමට හා එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී සක්‍රිය ප්‍රජා සහභාගීත්වයක් ලබා ගැනීමේ අරමුණිනි. ඒ අනුව ජනතා අදහස් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කර ගැනීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා සක්‍රීය පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම, ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායක වන සක්‍රීය හා දියුණු පුරවැසියකු නිර්මාණය කිරීම, සක්‍රිය පුරවැසි මැදිහත්වීමක් තුළින් නිලධාරිවාදයේ අකාර්යක්ෂමතාව හා දේශපාලන අධිකාරියේ මැදිහත්වීම මත සිදුවන නාස්තිය හා දූෂණය පිටු දැකීම, ජාතික වැදගත්කමකින් යුතු තීන්දු තීරණ ගැනීම සඳහා ජනතා සහභාගීත්වය ලබාගැනීම හා දැනට පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන්ගේ අකාර්යක්ෂමතා සක්‍රිය පුරවැසි සහභාගීත්වය තුළින් නිවැරදි කිරීම ජනසභා පිහිටුවීම මගින් අපේක්ෂිතය.

ජනසභා ව්‍යාපෘතිය මගින් මූලිකාංග 4ක් යෝජනා කර තිබේ. ඒ අනුව ජාතික ජනසභා ලේකම් කාර්යාලය, ග්‍රාමීය ජන සභාව, ප්‍රාදේශීය ජනසභා කමිටුව හා ජාතික මහජන සභාව පිහිටුවීමට නිර්දේශ කර තිබේ. ජාතික ජනසභා ලේකම් කාර්යාලය ජනසභා පිහිටුවීම අධීක්ෂණය සහ ප්‍රවර්ධනය පිළිබඳ වගකීම දරන ප්‍රධාන ආයතනයයි. එය සම්පූර්ණයෙන් ස්වාධීන ආයතනයක් වන අතර එමගින් පාර්ලිමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම සියලුම ග්‍රාමීය ජනසභා ලේකම්වරුන් අධීක්ෂණය, සුපරික්ෂණය සහ පුහුණුව පිළිබඳ වගකීමද හිමිවන්නේ එම ආයතනයටය.

• ග්‍රාමීය ජන සභාව

ග්‍රාමීය ජනසභාව මගින් ග්‍රාමසේවා වසමක වාසය කරන ජනතාව එක්ව තම ගමේ කටයුතු පිළිබඳව තීරණ ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවේ. සෑම ග්‍රාමසේවා වසමකම එක් ජන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර ආසන්න වශයෙන් 500ක පමණ පිරිසක් එක් ජන සභාවකට ඇතුළත් වනු ඇත. ඒ අනුව ග්‍රාමිය ජනසභා 14022ක් පිහිටුවනු ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එක් ග්‍රාමසේවා වසමක අධික ජනගහනයක් සිටින බැවින් සුදුසු පරිදි ජනසභා කිහිපයක් පිහිටුවීමට පියවර ගනු ඇත. ජනසභාව පවත්වාගෙන යාම සඳහා සෑම ග්‍රාමසේවා වසමකම ජනසභා ලේකම්වරයකු පත් කෙරේ. මේ සඳහා දැනට බඳවා ගෙන සිටින රජයේ සංවර්ධන නිලධාරීන් පත්කර ගැනීමට යෝජනා කර තිබේ.

වසමක පදිංචි වයස අවුරුදු 16 වැඩි සියලුදෙනාට ජනසභාවට සහභාගී විය හැකිය. එකම සභාපතිවරයකුට එක ළඟ අවස්ථා දෙකකදී සභාපතිත්වයට පත්විය නොහැකිය. කාරක සභාවට 25 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇතුළත් විය යුතුවේ. එම පිරිසෙන් 30%ක් කාන්තාවන් හා 25%ක් තරුණයන් විය යුතුය. පත්වන සියලු පුද්ගලයන් ස්වේච්ඡා පදනමින් සේවය කළ යුතු වේ. සභා කාලය වසරකි. කාරක සභිකයන් 25 දෙනාට අමතරව වසමට අදාළ රාජ්‍ය නිලධාරින් සියලු දෙනා කාරක සභාවේ සාමාජිකයන්ය. ඔවුන් උපදේශකයන් පමණක් වන අතර ඡන්ද අයිතිය හිමි නොවේ. 

• ජාතික ජන සභාව

ජාතික ජන සභාව මගින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ජනතා දායකත්වය ලබා ගැනීම සිදුකෙරේ. එහි සමස්ථ සාමාජික සංඛ්‍යාව 100ක් වන අතර එයට අවස්ථානුකූලව කැඳවනු ලබන කාරක සභා සාමාජිකයන් 75 දෙනෙක් හා වෘත්තීය මට්ටමේ වියතුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, කාන්තා සහ තරුණ ක්‍රියාකාරීන් 25 දෙ‍නෙක්ද ඇතුළත්ය. ජාතික ජන සභාවේ සභාපතිවරයා පත්කරනු ලබන්නේ පාර්ලිමේන්තු සභාව මගින් වන අතර එය ගරු කටයුතු තනතුරකි. 

ජනසභාව යනු ස්වේච්ඡා සේවයකි. දූෂිත දේශපාලනය විසින් ප්‍රචලිත කර ඇති හම්බකර ගැනීමේ ක්‍රියාවලිය තුළ ජනසභාවේ සාමාජිකයන් එවැනි ස්වේච්ඡා සේවයකට සහාය දක්වනු ඇතිද? අප මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ රටට ආදරය කරන පුද්ගලයන් ඕනෑ තරම් සිටින බවයි. විශේෂයෙන් ගම්වල ජනතාව මුදලට නොව එකමුතුකම හා මිනිසත්කම පෙරදැරිව කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

හොඳ සංකල්පයක්: ඒත් වෙනසක් වෙයිද?

ජනසභා ක්‍රමය කොතෙක් දුරට වැදගත්වේද යන්න සම්බන්ධයෙන් අප විමසා සිටියේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙනි. 

ඒ මහතා පෙන්වා දුන්නේ ජන සභා ක්‍රමය පිළිබඳව පුළුල්  අවබෝධයක් හා සංවාදයක් සමාජය තුළ ඇතිවිය යුතු බවටය. ''ජනසභා සංකල්පය ගෙන ඒම තුළින් කරු ජයසූරිය මහතා අවංකවම සේවයක් කිරීමට උත්සහ දරන බව පේනවා. මෙය සංකල්පයක් හැටියට ඉතා හොඳ දෙයක්. ගමේ මිනිස්සු තමයි ගම ගැන තීන්දු ගන්නේ. එහෙත් දැනට තිබෙන පළාත්පාලන ආයතනවලින් කෙරෙන කාර්යයට වඩා මෙයින් සිදුවන වෙනස කුමක්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යයනයක් සිදුකළ යුතුයි. ජනසභා සමඟ ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වනවාද, මෙයට ඇති නීත්‍යානුකූල බල ව්‍යුහය කුමක්ද, වැනි කරුණු සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් රට තුළ තිබිය යුතුයි.  කමිටු ක්‍රමයක් නිර්මාණය කර මහජන සහභාගිත්වය ඇතිව  ගමේ විවිධ කටයුතු එම කමිටු හරහා සිදුවනවා නම් ඉතාම හොඳයි. දැන් අපට තිබෙන ලොකුම ගැටලුව වන්නේ මහජනයා විසින් පත්කරන නියෝජිතයන් මහජනයාට වගනොකියන එකයි. දැනට පළාත්පාලන ආයතනවල පිරිස 8000 සිට 4000 දක්වා අඩු කළත්, ප්‍රදේශීය සභා ගම් සභා හෝ ජනසභා යනුවෙන් නම් කිරීමෙන් වත් රටේ අවශ්‍යතාව ඉටුවනවාද යන්න සැක සහිතයි. ඒ සඳහා සැබෑ මහජන නියෝජිතයන් පිරිසක් රටට අවශ්‍යයි. ඔවුන් ජනතාවට වගකිව යුතුයි. එම කාර්යභාරය ඉටු කිරීමට සුදුසු පුද්ගලයන් පිරිසක් පත් කර ගත හැකි ක්‍රමවේදයක් ජනසභා ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වනවා නම් එය සංකල්පයක් හැටියට ප්‍රාදේශීය මට්ටමින් ඉතා වැදගත් ක්‍රමවේදයක්.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04