2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

22 සංශෝධනයට පොහොට්ටුවේ මත ගැටුම්

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 124

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුව තුළ දෙදරීමක් හටගෙන ඇත. වසර දෙකකට ප්‍රථම 2/3 ක ජනවරමක් දිනා ආණ්ඩුව පිහිටුවාගත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය හා එක්ව නව පාලනයක් පිහිටුවා ගත්තේය. එහිදී අනුප්‍රාප්තික ජනපති පත්කිරීමේ ඡන්ද විමසුමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ බහුතර සහාය හිමිවිය. අනතුරුව ආණ්ඩුවේ සියලු කටයුතුවලට පොහොට්ටුවේ සහාය හිමි වුවත් 22 සම්බන්ධයෙන් පොහාට්ටුව තුළ බෙදීමක් හටගෙන ඇත. පොහොට්ටුවේ එක් කණ්ඩායමක් 22ට සහාය දීමටත් තවත් කණ්ඩායමක් සහාය නොදීමටත් තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවකදී පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා 22ට සහාය දීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ද 22 සංශෝධනය තුළින් එක් වරක් හෝ ජනාධිපති ධුරයට තේරී පත්වූ අයකු නැවත පාර්ලිමේන්තුවට තරග කිරීම වැළැක්වීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඊට සහාය දක්වන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. ඊට අමතරව පොදුජන පෙරමුණේ එස්.බී. දිසානායක මහතා ද 22 විවේචනය කරමින් කියා සිටියේ 22ට සහාය නොදීමට තමා තීරණය කර ඇති බවයි. ඒ අනුව පොදුජන පෙරමුණ තුළ කිසියම් මත ගැටුමක් පවතින බව පැහැදිලිය. 
වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිදු සංශෝධනයක් සම්මත කරගත නොහැක. එබැවින් 22 සම්බන්ධයෙන් පොහොට්ටුවේ ස්ථාවරය අතිශය වැදගත්ය. එනිසා 22 පිළිබඳව පොහොට්ටුවේ මත ගැටුම මාධ්‍ය අවධානයට ලක්වී ඇති මොහොතක ''දේශය'' පොහොට්ටුවේ ප්‍රබලයන් තිදෙනකුගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමට කටයුතු කළෙමු.

නීතිඥ සාගර කාරියවසම් 
- මහලේකම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

''පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කිහිපයක් තිබ්බා. ඒත් පක්ෂය නිල වශයෙන් මේ ගැන තීරණයක් අරගෙන නෑ. ලබන සතියේ නිල තීන්දුව ගන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව පොහොට්ටුවේ අති බහුතරයක් මේකට එකඟ නෑ. මමත් පෞද්ගලිකව මේකට එකඟ නෑ කියලා ජනාධිපතිතුමාටම කිව්වා. 19 වැනි සංශෝධනයෙන් පස්සේ මේ රට වැටිච්ච හැටි අපි දැක්කා. මේ රටේ නායකත්වයේ ප්‍රශ්නයක් ඇතිවුණා අගමැති ද නායකයා ජනාධිපති ද නායකයා කියලා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුණා. පාස්කු බෝම්බයෙන් පස්සේ ජනාධිපති කියනවා ඒකෙ වගකීම මගේ නෙවෙයි කියලා, අගමැති කියනවා ඒකෙ වගකීම මගේ නෙවෙයි කියලා. අඩු ගාණේ පොලිස්පතිවත් වගකීම බාරගත්තේ නෑනේ. 
19 වැනි සංශෝධනයෙන් මහා අරාජික තත්ත්වයක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා සභාවක් ඇති කරලා රටේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට ඒකට බලය දුන්නා. ඒ සභාවේ සංයුතියේ ඉන්නේ සිවිල් සමාජ නියෝජිතයෝ. දේශපාලනඥයෙක් වැරදි තීරණයක් ගන්නකොට ඒ ගැන දෙවරක් හිතන්න වෙනවා. මොකද ජනතාව ඉදිරියට ගිහින් ඡන්දෙ ඉල්ලන්න යන්න වෙන නිසා. එහෙම තියෙද්දි කිසිම වගකීමක්, කිසිම වගවීමක් නැති සිවිල් සංවිධාන නියෝජිතයෝ ටිකක් පත් කරලා, ඒගොල්ලන්ට ඕන කෙනෙක් ඉහළම තනතුරුවලට පත් කළාට පස්සේ ඒගොල්ලෝ කරන දේවල්වලට වග කියන්නෙ නෑ. අපි ගිය සැරේ දැක්කා පූජිත ජයසුන්දරට උඩින් ජ්‍යෙෂ්ඨයෝ 06ක් ඉද්දි පූජිත ජයසුන්දරව පොලිස්පති හැටියට පත් කළා. අන්තිමට ඔහු ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච අන්තිම නරක පොලිස්පති බවට පත් වුණා. 

මේ රට අරාජික වීම, බලය නැතිවීම, තනතුරුවලට පුද්ගලයන් පත් කරනකොට ඒ වෙච්ච වැරැද්ද වැරදියි කියලා තමයි අපි 2020 දි මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලුවේ. අපිට ඒකට මිනිස්සු 2/3 ක බලයක් දුන්නා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න කියලා. ඊට පස්සේ අපි 19 වෙනස් කළා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට පොහොට්ටුවෙන් ආපු කිසිම මන්ත්‍රීවරයකුට මිනිස්සු වරමක් දීලා නෑ ආයෙ 19 ගේන්න. ඉතින් කොහොමද අපි අත උස්සන්නේ නැවත 19 ඕන කියලා. මට නම් ආත්ම ගරුත්වයක් තියාගෙන අවුරුදු දෙකකට කලින් 19 හොඳ නෑ කියලා දැන් 19 හොඳයි කියන්න බෑ.''

කැබිනට් අමාත්‍ය විදුර වික්‍රමනායක

''අපිට අවශ්‍ය සංශෝධනයක් නෙවෙයි නව ව්‍යවස්ථාවක්. ජනතාවගේ සිතුම් පැතුම් හොඳට තේරුම් ගත්ත, අතීත උරුමයන් එක්ක සැසඳෙන අනාගතය ඉලක්ක කර ගත්ත, එනම් අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ කරන බලගතු ලියවිල්ලක් අපට අවශ්‍යයි. සංශෝධන 22 ක් ආපු ව්‍යවස්ථාවක පලක් තියෙනවද? ඒ මුල් ලියවිල්ල දුර්වලයිනේ.

මේ වෙනකොට අලුත් සංශෝධන කෙටුම්පතක් ලෑස්තියි කියල අපිට දැනුම් දීලා තියෙනවා. මේ තියෙන ප්‍රශ්න විසඳාගැනීම සඳහා මේ 22 වැනි සංශෝධනය අත්‍යවශ්‍යයි. ඒකෙ අතිශයින්ම වැදගත් කරුණු කාරණා ගැබ්වෙලා තියෙනවා. ඒ හින්දා අපි එකඟ විය යුතුයි 22 වැනි සංශෝධනයට. මම කියන්නෙ නෑ මේක සියයට සියයක්ම නිවැරදි එකක් කියලා. නමුත් පවතින තත්ත්වයන් තුළ අපි එකඟ විය යුතු අවම හානිකර හා උපරිමය ඵලය නෙලා ගැනීමට කළ යුතු කාර්යයක් තමයි 22 කියන්නේ.
18 ගේනකොට, 19 ගේනකොට සහ 20 ගේනකොට ඒ ඇතුළෙ තිබුණේ මහජනතාවගේ වුවමනාව නෙවෙයි. ඉතාම සුළුතරයකගෙ වුවමනාව. එවැනි ඉතා සුළුතරයකගේ වුවමනාවට හැදුණු ව්‍යවස්ථාවක් නිසා තමයි මේ වෙනකොට බරපතළ අර්බුදවලට රට මැදිවෙලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ රටේ ව්‍යවස්ථාදායක අර්බුදයක් තියෙනවා. මේ ව්‍යවස්ථා අර්බුදයෙන් ගැලවෙන්න නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන. ඒ අලුත් ව්‍යවස්ථාව ගේන්න කලින් අපිට යම් යම් සංශෝධනවලට යන්න වෙනවා. 22 වැනි සංශෝධනයත් ඒ වගේ එකක්. 22 මහජනතාවගේ අවශ්‍යතාව අනුව, විශේෂයෙන් පසුගිය කාලයේ තරුණ කණ්ඩායම් සහ වෙනත් කණ්ඩායම් කළ යම් යම් යෝජනා මේකට ඇතුළත් වෙලා තියෙනවා. මීට කලින් සිදුවෙලා තියෙන සංශෝධන හැම එකක්ම තාවකාලික පැලැස්තර.''

ආචාර්ය සරත් වීරසේකර

''19 වැනි සංශෝධනය ගේන අවස්ථාවේ මුළු පාර්ලිමේන්තුවෙන් ඊට විරුද්ධ වුණේ මම විතරයි. ඒකට විවිධ හේතු තිබුණා. ඊට පස්සේ 19 වැනි සංශෝධනය අවලංගු කළා 20න්. 20 සංශෝධනයට හිතට එකඟව ඉතා අවංකව මම ඡන්දය දුන්නා. මොකද ඒකෙන් 19 අහෝසි කරන නිසා. හැබැයි මේ 22 කියල සැරසෙන්නේ නැවත 19ට එන්න. ඒ නිසා මට සදාචාරාත්මකව ඡන්දය දෙන්න බෑ 22ට. 19 ගත්තොත් ඒකෙන් ස්වාධීන කොමිෂන් හැදුණා කිව්වට ඒවායේ ස්වාධීනත්වයක් තිබුණෙ නෑනෙ. අපි දැක්කනේ මැතිවරණ කොමිසම වැඩ කරපු හැටි. හරි නම් ඒවට දාන්න ඕන කොහෙවත් නැති සිවිල් මිනිස්සු නෙවෙයි, පරිපාලන නිලධාරීන්. එහෙම නැතුව සිවිල් අය දාලා රජයේ නිලධාරීන්ව හිංසනය කරන එකට මම එකඟ නෑ. 

කොච්චර වුණත් 13 වැනි සංශෝධනය තියෙන තාක් කල් ජනාධිපතිගේ විධායක බලතල එක දශමයකින්වත් දියාරු කරනවට මම කැමැති නෑ. එහෙම කරනවා නම් 13 වැනි සංශෝධනය අහෝසි කරන්න ඕන. 13 වැනි සංශෝධනය අහෝසි කළොත් අපිට ජනාධිපති කෙනකුගෙන් වැඩකුත් නෑ. ජනාධිපතිගේ විධායක බලතල මත තමයි අපේ රට ෆෙඩරල් වෙන එක නැවතිලා තියෙන්නේ. 13 වැනි සංශෝධනය අපිට බලෙන් පටවපු එකක්.''

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ හටගෙන ඇති විරෝධයට හේතුව ද්විත්ව පුරවැසියන්ට ධුරය අහිමි කිරීමේ යෝජනාව යැයි දේශපාලන කර‍ළියේ වැඩි දෙනකුගේ අදහස වී තිබේ. 22ට පොහොට්ටු සාමාජිකයන් විරුද්ධ වීමට හේතුව කවරක් වුවද කිසිම සංශෝධනයක් පොහොට්ටුවේ සහාය නොමැතිව ගෙන ඒම සිදු නොවන කටයුත්තක් බව පැහැදිලිය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහාය පළ කිරීමට අපේක්ෂා කරන්නන්ගේ අවශ්‍යතාව පාර්ලිමේන්තුව විසුරුවීම වසර හතරහමාරක් දක්වා කල් දමාගැනීම යැයි ද ප්‍රකාශ වේ. ඉකුත් මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තේරී පත්වූ, එහෙත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස‍් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම 22 සංශෝධනය සම්බන්ධයෙන් නිල ස්ථාවරය තවම ප්‍රකාශ කර නැත. මෙම කණ්ඩායම් සියල්ල බොහෝ විට 22ට සහාය පළ කිරීමට ඉඩ ඇතැයි යන රාවයක් ද පවතී.

I සටහන: සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04