“මම මෙහෙම කියන්නම්. සෙවන් මූන්ස් පොත ලියන එකෙන් මම බලාපොරොත්තු වුණේ මේකයි. ඒ සඳහා අවුරුදු 10ක කාලයක් ගතවුණා. ශ්‍රී ලංකාව තුළ දූෂණය, වංචාව, ජාතිවාදය කියන දේවල් තාම අවසන් වෙලා නෑ, ඒවා අවසන් වෙන්නෙත් නැහැ. එය ශ්‍රී ලංකාව පිළිබඳ කියැවීමක්. පොත වසර 10ක පමණ කාලයක් මුද්‍රණ ද්වාරයෙන් එළියට ආවේ නෑ. ඒක වෙනම කතාවක්. ඒ වගේම මේ පොත පොත් සාප්පුවල රාක්කගත වෙලා තිබුණේ ෆැන්ටසි කොටසේ. මම වැරදි නැත්නම් ගොඩක් අවස්ථාවල මේ පොත තිබුණේ Dragons and Unikon වගේ පොත් අතර. මේ පොතට දේශපාලන හෝ සාහිත්‍යමය කොටසේ ස්ථානයක් වෙන්වෙලා තිබුණේ නැහැ. කමක් නැහැ. මට අවසාන වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට මෙන්න මේ ටික කියන්නට ඕනේ.
මේ පොත මම ඕගොල්ලන්ට ලිවුවේ. මේක දිනුමක්. රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක දිනුමක්. ළඟදී අපි නැමීබියාවටත් පරාජය වුණා. ඒකට කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. ඔවුන් ඒ දුකින් මුදවන්න මට ආයුධ නෑ. ඒත් අපි මේ ජයග්‍රහණය පිළිගමු. දැන් අපි කොහොම හරි T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරමු. ඇයි බැරි?
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය සම්මානනීය ලේඛක ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සිංහලෙන් පවසා සිටියේ එලෙසයි. ඔහු දෙමළෙන්ද වචන කිහිපයකින් සභාව ඇමතීය. ඔහුගේ කතාවට එහි රැස්ව සිටි පිරිසගෙන් මෙන්ම ප්‍රධාන ආරාධිතයා වූ කැමිලා පාකර්ගෙන් ද ලැබුණේ විශාල ප්‍රතිචාරයකි. ෂෙහාන්ගේ කතාව තුළ සැඟවුණු එක් දෙයක් අපි දකිමු. ඒ ඔහු තුළ ඇති ලාංකීයත්වයයි. ගාල්ලේ බෞද්ධ පවුලක දරුවා ලෙස උපන් ෂෙහාන් කුඩා කල සිට ඉගෙනුම ලැබුවේ ඉංග්‍රිසියෙන් නිසා සිංහල කතා කිරීමට පුළුවන් වුණත් කියවීමට නම් හැකියාවක් නොවීය. නමුත් ඔහුත් ලියුම්කරුත් ග්‍රාන්ට් මකෑන් ප්‍රචාරණ ආයතනයේ සේවය කරන කාලයේ ෂෙහාන් කුඩා සිංහල පොත් කියවමින් සිංහල දැනුමක් ලබාගැනීමට උත්සාහ කළ අයුරු ලියුම්කරුට මතකය. අමාරුවෙන් සිංහල වචන ලියන අයුරුත් මතකය.
බ්‍රිතාන්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ලේඛකයකුට පිරිනැමෙන ඉහළම සම්මානය බුකර් සම්මානයයි. එය පිරිනමන්නේ එංගලන්තයේ සහ අයර්ලන්තයේ ප්‍රකාශ කළ නවකතා කෘති වෙනුවෙනි. ෂෙහාන්ගේ සම්මානිත නවකතාව මෙන්ම ඔහුගේ පළමු නවකතාව වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය ත්‍යාගය දිනු චයිනමන් දෙවැනි මුද්‍රණය ද සිදු කළේ එංගලන්තයේ පේපර්බැක් ප්‍රකාශනයක් ලෙසිනි. බුකර් සම්මානය හිමිවූද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා කෘතිය එංගලන්තයේ ෂෝට් ඔෆ් බුක්ස් ප්‍රකාශනයකි. පසුගිය 17දා ලන්ඩන් නුවර පැවති සම්මාන රාත්‍රියේදී බ්‍රිතාන්‍යය චාල්ස් රජ මෙහෙසිය කැමිලා පාකර් අතින් ෂෙහාන් කරුණාතිලක වසරේ විශිෂ්ටතම කෘතියට හිමි බුකර් සම්මානය ලබාගත්තේය. බුකර් සම්මානය සමඟ පවුම් පනස්දහසක මුදල් ත්‍යාගයක් ද (රුපියල් දෙකෝටි හයලක්ෂයක් පමණ) ඔහුට හිමිවිය. ශ්‍රී ලාංකිකයකු මේ ගෞරවාන්විත සම්මානයෙන් මෙයට පෙර පිදුම් ලැබුවේ වසර 30කට පෙර 1992 දීය. ඒ කැනඩාවේ පුරවැසි ලංකාවේ උපන් මයිකල් ඔන්ඩච්චි විසින් රචිත The English Patient නවකතාවටයි.
නවකතාවෙන් දැක්වෙන්නේ මරණයෙන් පසු අවදිවන ඡායාරූප මාධ්‍යවේදියකු යුද්ධයේ සැබෑව හෙළිකරමින් තමා ගත් ඡායාරූප සොයාගන්නා ලෙසත්, යුද්ධයේ කුරිරු බව හෙළිකරන ලෙසත් සිය මිතුරන්ට පැවසීම සඳහා තමාට හිමිවුණු සතියක කාලයක් තුළ දරන උත්සාහය පිළිබඳ කතාන්තරයකි. එම මාධ්‍යවේදියා ලෝකය දකින අයුරු තේමා කරගත් මේ නවකතාව ලංකාවේ යුද්ධයේ සැඟවුණු ගසාකෑම්, වංචා, ප්‍රචණ්ඩත්වය හෙළි කරයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ම්ලේච්ඡත්වයත්, ඊට ගොදුරු වූ මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් සහ සිවිල් වැසියන් ගැනද ඔහු මාලි අල්මේදාගේ දෘෂ්ටියෙන් දකී.
වසර 2010 දී ඔහුගේ කුලුඳුල් කෘතිය වූ Chinaman: The Legend of Pradeep Mathew පොදුරාජ්‍ය මණ්ඩලීය සහ දකුණු ආසියානු සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. චයිනමන් කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කර ගනිමින් ලියවුණු දෙවැනි හොඳම නවකතාව ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබේ. එම කෘතිය අත්පිටපතක් වශයෙන් ලංකාවේ දී ග්‍රෙෂන් ත්‍යාගය හිමිකර ගත්තේය. ඔහුගේ චයිනමන් කෘතියට පාදක වූයේ ක්‍රීඩා මාධ්‍යවේදියකු දකින ලංකාවේ ක්‍රිකට්වල සැඟවුණු දූෂණ සහ වංචාවන්ය. දේශපාලනය නිසා ක්‍රිකට් විනාශ වන ආකාරයයි. ක්‍රිකට් පිස්සකු වන ෂෙහාන් ඒ ගැන කළ දීර්ඝ අධ්‍යයනයක් එම කෘතියට පාදක කරගෙන තිබුණි. ෂෙහාන්ගේ බුකර් සම්මානලාභී කෘතිය ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන ගමන් මාර්ගයක පාඨකයා රුගෙන යන විශිෂ්ට කෘතියක් බවට අගය කරමින් එය සම්මානය සඳහා තෝරාගනු ලැබුවේ විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීරණයට අනුවය. 2010 දී ඔහු Chats With The Dead නමින් සිය දෙවැනි කෘතිය පළ කළේය. සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පදනම් කරගත් ‘මුරලි 800‘ චිත්‍රපටයේ සහාය තිර රචකයාද ෂෙහාන්ය.
නිදහස් ජනමාධ්‍යවේදියකු ද වන 47 හැවිරිදි ෂෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රුකියාව කළේය. ලංකාවේ සේවය කළ ඔහු පසුව සිංගප්පූරුවේ ප්‍රචාරණ සමාගමක ද සේවය කළේය. ඔහු ලියූ දැන්වීම් ද ස්ලිම් සහ චිලීස් සම්මාන උළෙලවල සම්මාන රාශියක් දිනාගැනීමට සමත් විය.
ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සඟරාවලට නිදහස් ලේඛකයෙක් ලෙස ලිපි සම්පාදනය කිරීම ද සිදු කරයි.
“ශ්‍රී ලාංකිකයන් බොහොම දක්ෂයි. කරවටක් ගිලිල තියෙන වෙලාවක වුණත්, වෙලාවක් අහුවුණොත් හාස්‍යය ජීවිතයට එක්කර ගන්නා විහිළුවක් - තහළුවක් කරන්න. ඒ ඔවුන්ගේ හැටි. අනෙක් අතට ඒක අපේ සටන් කිරීමේ උපක්‍රමයක් "ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය ලබාගැනීමේ දී ඉංග්‍රීසියෙන් කළ කතාවේ දී පැවසීය.
සම්මාන විනිශ්චය මණ්ඩලයේ මුල් පුටුව දැරූ, හිටපු බ්‍රිතාන්‍යය කෞතුකාගාර අධ්‍යක්ෂ නීල් මැක්ග්‍රෙගර් පැවසුවේ ෂෙහාන් කරුණාතිලක මේ සාහිත්‍ය නිර්මාණයේදී පෙන්වූ ඉහළ අභිලාෂය, විෂය පථය හා කුසලතාව, ධෛර්යය, නිර්භීතකම, මෙන්ම ප්‍රහර්ෂයද ජූරියේ ඒකමතික තීන්දුව කෙරේ බලපෑ බවය.
“එය ජීවිතය මරණය අතර රෝලර්කෝස්ටර් චාරිකාවකට පාඨකයා ගෙන යන්නක්. ලේඛකයාම සඳහන් කරනවා වගේ ලෝකයේ කුරිරුකමද පෙන්වන්නක්. විමතිය, සතුට, මුදු බව, ආදරය වාගෙම ලැදිකම විශ්වාසවන්තකම පාඨකයාට මෙහිදී පෙනෙන්නට පුළුවන්." ඔහු සඳහන් කර තිබුණි.
ෂෙහාන් කරුණාතිලකගේ මේ කෘතිය ජය ගන්නා ලද්දේ අවසාන වටයට තේරුණු තවත් කෘති පහක් අතරිනි. ඇමෙරිකානු ජාතික ලේඛක ලේඛිකාවන් දෙපළක් වන පර්සිවල් එවරට්ගේ “The Trees” හා එලිසබත් ස්ට්‍රවුට්ගේ “Oh William!”; නෝවයලට් බුලවායෝ අන්වර්ථ නාමයෙන් ලියන සිම්බාබ්වේ ලේඛිකා එලිසබත් ෂෙලේගේ “Glory" අයර්ලන්ත ලේඛිකා ක්ලැරී කීගන්ගේ “Small Things Like These;” හා බ්‍රිතාන්‍යය ලේඛක ඇලන් ගානර්ගේ “Treacle Walker” ඒ කෘති පහයි.
“පොත ලිවීම පුදුමාකාර අපහසු ගමනක් වෙලා තියෙන්නේ. මේකෙ ගලා යාම පටන්ගන්න, පොත තුළ ලේඛකයා ජීවත් වෙන්න පටන්ගන්න මට ලොකු උත්සාහයක් ගන්නා සිදුවෙලා. නියම මූඩ් එක තවම ඇවිත් නෑ. වෙලාවක නතර වුණු බොහෝ තැන්වලදී ගමන අතහැරලා දාලා බැහැල යන්නත් හිතෙනවා. "ෂෙහාන් කරුණාතිලක ලියුම්කරු සමඟ එසේ පැවසුවේ ඔහුගේ චයිනමන් කෘතිය ගැන අවුරුදු කිහිපයකට පෙර කොළඹ දී කතාබහකට එක්වූ අවස්ථාවේදීය. ඒ ඔහු මේ පොත ලියමින් පැවති වකවානුවයි.
පස් දෙනකුගෙන් සමන්විත ජූරිය ජයග්‍රාහකයා තෝරාගැනීමේදී නවකතා 170ක් කියවා තිබේ. අවසන් වටයට තේරුණු නවකතා තුන්වරක් කියවා තිබේ. "මේ බොහොමයක් කෘති පුද්ගල ස්වභාවය මත පදනම් වූ ඒවා. විශේෂ ලක්ෂණයක් වශයෙන් පැවසුවොත් මේ පොත් සියල්ලම ඉතිහාසය සම්බන්ධයෙන් තබා ඇති බර ගොඩක් ඉහළයි. එය එක්සත් ජනපදයේ ජාතිවාදී කතාන්දරයේ සිට සිම්බාබ්වේ මුහුණ දුන් යටත්විජිතවාදය හා පීඩාව දක්වා පුළුල් පරාසයක විහිදෙන දෙයක්. සමකාලීන දේශපාලනය එහි පැවැත්ම සඳහා ඉතිහාසය යොදාගන්නා අයුරු මේ බොහොමයක් කෘතිවලින් අපට දැකගන්නට පුළුවන්. අවසන් වටයට තේරුණු පොත්වලින් හැම එකක්ම වාගෙ අපට කියන්නෙ ඉතිහාසය හැදෑරීමේ වැදගත්කම. එහෙම නැතිවුණොත් කිසිදෙයක් ගැන තේරීමක් කර ගන්න, බාගවිට අපේ ජීවිත ගැන පවා, අපට බොහොම අසීරු වෙනවා."
සම්මාන විනිශ්චය මණ්ඩලයේ මුල් පුටුව දැරෑ නීල් මැක්ග්‍රෙගර් පවසා සිටියේය.
1969 මුල්වරට ආරම්භ වුණු බුකර් සම්මානය පිරිනැමීමේ මූලික අරමුණ වූයේ ලේඛකයන්ගේ තත්ත්වය නගා සිටුවීමයි. එය පළමුව සීමාවුණේ බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ලේඛකයන්ට පමණි. පසුව 2015දී පටන් එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්වන සෑම ඉංග්‍රිසි නවකතාවකටම ඊට ඉදිරිපත් වීමේ වරම ලැබුණි. පහුගිය වසරේ මේ සම්මානයට හිමිකම් කිව්වේ "The Promise” නවකතාව ලියූ දකුණු අප්‍රිකානු ලේඛක ඩේමන් ගැල්ගට් ය.
I කුසුම්සිරි විජයවර්ධන