2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

හොඳට නැගලා යන ඔඩිසි සැප කෝච්චි

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 252

ලෝකය පුරා පැවැති කොරෝනා වසංගතයත් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු ඇතුළු විවිධාකාර ගැටලු හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. මේ තත්ත්වයට යම් සහනයක් ලබාදෙමින් මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීමේ යම් වර්ධනයක් ඇතිවෙමින් පවතී. මේ හේතුව නිසාම ශ්‍රී ලංකා දුම්රිය සේවය ශ්‍රී ලාංකීය ජනතාව මෙන්ම විදෙස් සංචාරකයන් උදෙසා විශේෂ දුම්රිය සේවා කිහිපයක් ආරම්භ කර ඇත. අද වනවිට එම ''චාරිකා දුම්රිය සේවය'' සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

''සංචාරක කටයුතු අරමුණු කරගෙන ශ්‍රී ලංකා දුම්රිය සේවය සති අන්ත සංචාරක සහ වන්දනාවේ යන අයට විශේෂ දුම්රිය කිහිපයක් ආරම්භ කළා. මේ අනුව මේ දුම්රිය සේවාවලින් ඇල්ල ඔඩිසි (Ella Odyssey) දුම්රිය සේවාවට හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇල්ල ඔඩිසි දුම්රිය උදෑසන පහයි තිහට පිටත්වීමට නියමිතයි. මෙම දුම්රිය මඟීන්ට ආකර්ෂණයක් ගෙන එන තැන් කිහිපයක නතර කරන අතර තවත් සුවිශේෂී තැන් කිහිපයක් අසලින් ගමන් කරද්දී මන්දගාමී ලෙසින් දුම්රිය ධාවනය කිරීමටත් සිදුවෙනවා.''

යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.පී. සෙනවිරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව මෙම Ella Odyssey දුම්රිය කොළඹින් උදෑසන පහයි තිහට ගමන් වාරය ආරම්භ කොට සවස හතරට බදුල්ලට යාමට නියමිතව ඇත. එය නැවත බදුල්ලෙන් පහුවදා උදෑසන 9.05ට ගමන් ආරම්භ කොට සවස 7.20ට කොළඹ බලා ධාවනය වේ. මෙම Ella Odyssey දුම්රිය සඳහා ඇති ඉල්ලුමත් ජනප්‍රියත්වය නිසාත් ප්‍රවාහන ඇමැති සහ දුම්රිය සාමාන්‍යාධිකාරිගේ උපදෙස් පරිදි මෙම දුම්රිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී ධාවනය කිරීමට මේ වනවිට කටයුතු සම්පාදනය කොට ඇත. දින තිහක් ඉදිරියට ආසන වෙන් කිරීම සිදුවන අතර මෙම දුම්රිය දින වෙන්කරලීමේ දිනය නිකුත් වෙද්දීම ඉතා ඉක්මණින් ජනතාව විසින් දින වෙන්කොට හමාරය. එය මෙම දුම්රියේ ජනප්‍රියත්වයට කදිම නිදසුනකි. ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරියේදී මෙම දුම්රිය සේවාව තවත් දින දෙකක් සඳහා වෙන්කරලීමට උපදෙස් ලබාදී ඇති අතර බොහෝවිට ඉදිරි කාලයේදී එය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. මේ සඳහා මෙම දුම්රිය නඩත්තු කටයුතු ඇතුළු අනෙකුත් දෑ පිළිබඳව සලකා බලා අවශ්‍ය කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක වන බව ඒ.ඩී.ජී. සෙනවිරත්න මහතා දේශයට සඳහන් කළේය.

''Ella Odyssey දුම්රියට අමතරව පසුගියදා අපි කොළඹ කොටුව සිට මහනුවර දක්වා ''නුවර ඔඩිසි'' නමින් දුම්රියක් ආරම්භ කළා. ඒ අනුව සති අන්තයේ නුවර වන්දනාමාන කරන අයටත්, සංචාරකයන්ටත් යා හැකි දුම්රියක් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත යෙදෙව්වා. මෙම දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත් වී නුවරට පෙ.ව. 9.18ට ළඟාවීමට නියමිතයි. එය නැවතත් මහනුවරින් සවස 4.50ට ගමන් වාරය ආරම්භ කොට කොළඹ කොටුවට රාත්‍රී 7.40ට ළඟාවීමට නියමිතව තිබෙනවා. මෙම දුම්රියන් ආරම්භ කළ දිනයේ ආසන සියල්ල වෙන්වී තිබුණා. ඉතා හොඳ ප්‍රතිචාරයක් මේ සඳහා ලැබෙනවා.'' යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (ගමනාගමනය) දේශයට වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව අනුරාධපුරයේ වන්දනාමාන කිරීමට යන බැතිමතුන් ඇතුළු සංචාරකයන් සඳහා තවත් විශේෂ දුම්රිය සේවාවන් පසුගියදා ආරම්භ වුණි. මෙය අනුරාධපුර ඔ‍ඩිසි (Anuradhapura Odyssey) නමින් හැඳින්වේ. කොළඹ කොටුවෙන් සෙනසුරාදා උදෑසන 9.20ට පිටත්වන මෙම දුම්රිය අනුරාධපුරයට දහවල් 1.42ට ළඟාවීමට නියමිතව ඇත. මෙම දුම්රිය ඉරිදා සවස පහට ගමන් වාරය ආරම්භ කරන අතර එය කොළඹ කොටුවට රාත්‍රි 9.14ට ළඟාවීමට නියමිතව ඇත.

මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අලුතින් හඳුන්වා දුන් මෙම දුම්රිය සේවාව සඳහා ඉතා විශාල ඉල්ලුමක් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මේ වනවිටත් ලැබෙමින් පවතී. මෙම විශේෂ දුම්රිය සේවා සඳහා නියමිත දිනට පෙර ආසන වෙන්කර ගැනීමක් සිදුකළ යුතු වේ. ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාත් තවත් සංකල්පයක් ලෙසින් කතරගම වන්දනාමාන කරනු ලබන බැතිමතුන් සඳහා කොටුව සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සූදානමක් පවතී. මේ වනවිට කොළඹ කොට්ඨාශයේ සෑම නියාමක සේවකයකුම දුම්රිය දෙකක් ධවානය කළ යුතු බවට නියෝගයක් පවතී. මේ වනවිටත් දුම්රිය නියාමක සේවකයන්ගේ හිඟයක් පවතින බවත් සෙනවිරත්න මහතා දේශයට සඳහන් කරයි. එමෙන්ම රියැදුරු, රියැදුරු සහායක තනතුරු සඳහාද අධික පුරප්පාඩු පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ඉන්දියාවෙන් වායුසමීකරණය කරන ලද දුම්රිය මැදිරි ආනයනය කර ඇති අතර ඒවා උපයෝගී කරගෙන රටේ ජනතාවටත්, සංචාරකයන්ටත් හැකි පමණින් පහසුකම් ලබාදීමට කටයුතු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව ඔවුහු පවසති.

ඇල්ල ඔඩිසි දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහකි. දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රය රුපියල් හාරදහසකටත් තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රය රුපියල් තුන්දහසකටත් මිලදී ගත හැකිය. අනුරාධපුර ඔඩෙසි දුම්රිය පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් දෙදහස් පන්සීයකි. එම ගමන් වාරයේදී දෙවැනි හා තුන්වැනි පන්තියේ ප්‍රවේශපත්‍රවල මිල රුපියල් එක්දහස් හත්සියයක් සහ රුපියල් එක්දහස් දෙසීයක් වේ. මීට අමතරව ''නුවර ඔඩෙසි'' විශේෂ දුම්රිය සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල වන්නේ රුපියල් දෙදහසකි. දෙවැනි පන්තියේ මිල රුපියල් එක්දහස් පන්සීයකි. 

මීට අමතරව අනුරාධපුරය, යාපනය, පොළොන්නරුව, බදුල්ල සහ නානුඔය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය ස්ථාන අසලින්ම නවාතැන් පොළවල් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිකර ඇති අතර එම පහසුකම්ද ලබාගැනීමේ හැකියාව පවතී.

විශේෂ ස්තූතිය: විරාජ් නානායක්කාර මහතා (පරිපාලන නිලධාරී)

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ