2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

බිලියන් ඩොලර් අයි.ටී අංශයත් බද්දෙන් අමාරුවේ

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 51

මෑතකාලීනව මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවූ පිබිදීම පිළිබඳ මෙරට ආර්ථිකය හසුරුවන්නන් සිටියේ සතුටිනි. එහෙත් හිටිහැටියේම රටේ බදු ප්‍රතිපත්තියේ සිදුවූ වෙනස්කම් නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ලබා ඇත්තේ යහපත් කලදසාවක් නොවේ. නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තොරතුරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රට හැර යමින් ඇතැයි අනාවරණය වේ. අද අප විමසා බලන්නේ ඒ පිළිබඳවයි.

පසුගිය වසර කිහිපයේදී මෙරට ආර්ථික විශේෂඥයෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් අපේක්ෂා කළහ. ඔවුහු 2025 පමණ වනවිට ඩොලර් බිලියන පහක විදේශ විනිමය ආදායමක් පිළිබඳ ඉලක්ක උදෙසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරමින් සිටියහ. කෙසේ වෙතත් නව බදු සංශෝධනය ඒ උදෙසා පැහැදිලි බාධාවක් වී ඇති බව පෙනී යයි.

ඒ අනුව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා ද ඉකුත්දා පෙන්වා දුන්නේ බදු පැනවීම සිය ඉලක්කයට බාධාවක් එල්ල වී ඇති බවකි.

''තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියල කියන්නේ ඉතාමත් ඉහළ වැටුප් ලබන්න හැකියාව සහිත ක්ෂේත්‍රයක්. දැන් 30% ක බදු මට්ටම අපිට ගෙවන්න වෙනවා. නමුත් මෙතෙක් කාලයක් අපිට බදු සහනයක් තිබුණා. ඒ නිසා වැඩි පිරිසක් අපිට මේ ක්ෂේත්‍රයට එකතු කර ගන්න පුළුවන් වුණා. දැන් විශාල පිරිසක් රට හැර යාමේ ප්‍රවණතාවයක් තියෙනවා.''

කොළඹදී පැවැති ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනයේ ‘ශ්‍රී ලංකා ඩිජිටල් ආයෝජන සමුළුව’ ආරම්භ කරමින් හෙට්ටිහේවා මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

අප විමසා බැලූ ආකාරයට 2019 වසරේ දී එවක රජය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා බදු සහන ලබා දුන්නේය. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අනුසාංගික වන සියලුම ඉපයීම්, දේශීය හා විදේශීය කිසිම බද්දකට යටත් නොවන බව එම වකවානුවේ කියැවිණි. 

ඊට අමතරව 2019 වසරේ නොවැම්බර් මාසයේ දී එවක තාක්ෂණ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ ආදායම් බදු, වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු ආදී සියලුම බදු වර්ගවලින් මෙම ක්ෂේත්‍රය නිදහස් කරන බවයි.
කෙසේ වෙතත් අද තත්ත්වය ඊට ඉඳුරා වෙනස්ය. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බදු පැනවීම මිස වෙනත් විකල්පයක් නොමැති බව ඉකුත්දා ජනාධිපතිවරයා ද පෙන්වා දුන්නේය. තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයේ ද බදු සහන අහිමි වී යන්නේ ඒ හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා ද පෙන්වා දෙන්නේ බදු ගෙවීමට සම්බන්ධ විරෝධයක් තමන් තුළ නොමැති බවයි. කෙසේ වෙතත් බදු ආදායම් කළමනාකරණය පිළිබඳ ඔහු ප්‍රශ්න කරයි.

“පෞද්ගලික අංශය විදිහට බදු ගැන අපිට ලොකු ගැටලුවක් නෑ, අපි බදු ගෙවන්න සූදානම්. එහෙත් මෙය කාලයක් අරගෙන කළ යුතු දෙයක්. එකපාරටම අපේ දක්ෂ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් රට හැර ගියොත් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. යම් කාලයක් දුන්නොත්  30% බදු ගෙවීම අපිට ගැටලුවක් නෙවෙයි. අපි අනුගත වෙන්න සූදානම්, නමුත් එක දෙයක් තියෙනවා. අපි ගෙවන බදු අධ්‍යාපනයට ආයෝජනය කරන්න, නැත්නම් නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ආයෝජනය කරන්න. අපේ බදු මුදල් අරගෙන වෙනත් දේවල් වෙනුවෙන් නාස්ති කරනවා නම් අපි ඒකට කැමැති නැහැ."

සැබැවින්ම තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රය යම් අවදානමකට ලක්කොට පාඩු ලබන රාජ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීමට රජයේ බදු පනවන්නේ නම් එය ගැටලුවකි. බොහෝ ක්ෂේත්‍රවල කඩා වැටීම් සිදුවෙමින් ඇති වකවානුවක යම් ස්ථාවරත්වයක් සහිතව ගමන් කරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අවදානමකට ලක් කිරීම කොතරම් සුදුසුදැයි බලධාරීන් නැවත සිතා බැලිය යුතුය.

මේ වන විටත් සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා, සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශවලට ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30% ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදුවනු ඇත.

''අපිට ඉලක්කයක් තියෙනවා රට තුළ 2024 වනවිට ඩොලර් මිලියන තුනක් දක්වා ගමන් කරන්න. 2025 වෙනකොට ඩොලර් මිලියන පහක විදේශ විනිමය ආදායමක් උපයන්න. ඩොලර් මිලියන තුනක් උපයන්න ලක්ෂ තුනක පිරිසක් අපිට අවශ්‍යයි. අද වෙනකොට වසරකට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට වසරකට විසි දහසක පිරිසක් එකතු වෙන්න අවශ්‍යයි. අප කරා එන්නේ නමදාහක් වගේ පිරිසක්. එහෙම ගැටලුවක් තියෙනකොට මේ වගේ බදු පැනවුම් පිරිසක් අපිට එකතු කර ගන්න අමාරුයි. මොකද ඒ අයට ඕනෑ තරම් විදේශ රුකියා තියෙනවා.''

දැනටත් තොරතුරු තාක්ෂණයේ මේ රටේ රුඳී සිටින්නේ විවිධ හේතු නිසාවෙන් රට හැර යාමට අකැමැති පිරිස්ය. එම පිරිස් රට හැර ගියහොත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල කඩා වැටීමක් සිදුවිය හැකි බව ඕනෑම අයකුට අවබෝධ වේ. එසේ හෙයින් තොරතුරු තාක්ෂණ බදු ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බැලීම වටිනා බව කිව යුතුය.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04