බදු කැපීම මෙන්ම බදු ගැසීම පිළිබඳවද අපේ රට වාර්තා පිට වාර්තා තබමින් පවතී. ගන්නා තීරණවල කිසිදු ස්ථාවර භාවයක් නැත. අවිචාරවත් ලෙස පනවන බදු සහ බදු ඉවත් කිරීම් නිසා බදු ක්ෂේත්‍රය ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇත. අපට අනිකුත් කාරණාවලට මෙන්ම බදු සඳහාද ජාතික බදු ප්‍රතිපත්තියක් නැත. විවිධ හේතු කාරණා නිසා බදු ඉවත් කිරීම් මෙන්ම බදු පැනවීම් සිදුවේ. බලයට පත්වන ආණ්ඩුවල අභිමතය පරිදි විටින් විට බදු කපා හරී. යළි නැවත පැනවේ. එක් ආණ්ඩුවකින් පනවන බදු නීති ඊළඟ ආණ්ඩුවෙන් එකවරම වෙනස් කරයි. මෙයට පෙන්විය හැකි නිදර්ශන අතර ප්‍රධාන එකක් වන්නේ වැට් බදු අනුපාතය ඒ මේ අත ඇදීමය.
පසුගිය යහපාලන ආණ්ඩුව එවකට පැවැති සියයට 15ක් වූ වැට් බදු අනුපාතය සියයට 8 දක්වා පහළ දැම්මේය. වර්තමාන ආණ්ඩුව එම ප්‍රතිශතය සියයට 15ක් දක්වා යළි වැඩිකර ඇත. එසේම ආනයන බදු අනුපාතද විටින් විට අඩු වැඩි කරයි. මුලින් පැනවූ බද්ද යළි රිවර්ස් කරයි. ඒ අතර තම ගජ මිතුරන්ට වාසි සහගත වන පරිදි බදු අඩු කිරීම්ද සිදුවේ. කිලෝවට රුපියල් පනහක්ව තිබූ සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීම එක් උදාහරණයකි. මෙම බද්ද අඩු කිරීමේ ප්‍රතිලාභ සතයක්වත් පොදු මහජනතාවට නොලැබුණු අතර එයින් වාසනාව උරුම වූයේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට පමණකි. එමගින් ඔවුන් රුපියල් කෝටි ගණන් ලාභ ඉපැයූ අතර, රටට සිදුවූ බදු ආදායම් අලාභය රුපියල් මිලියන ගණනකි. මෙම ජාවාරම හෙළි වූ පසු වංචා කළ බදු මුදල් ආපසු අයකර ගැනීමට හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. වගකිවයුත්තන් මේ සා අපරාධ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව මුනිවත රකින බවක් දක්නට ඇත.
ව්‍යාපාර ආරම්භ කර ඇති පුද්ගලයෝ ඒවා හකුලාගෙන වෙනත් පහසුකම් ඇති රටවලට යති. අපේ රටට අද අත් වී ඇති ආර්ථික බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පවතින අස්ථාවර බදු ප්‍රතිපත්තියයි.
රජය බදු අයකර ගැනීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ මධ්‍යම පාන්තික ජනතාවගෙන් බදු එකතු කිරීමටය. සුවිශාල ලෙස ආදායම් ලබන ඇතැම් සුපිරි ධනපතිහු රුපියලකවත් බද්දක් නොගෙවා යෙහෙන් වැජඹෙති! වගකිවයුත්තන් ඔවුන් බදු දැලට කොටුකර ගැනීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැත. විශේෂයෙන් වෛද්‍යවරුන්, නීතිඥයන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවරුන්, බ්‍රෝකර්වරුන්, ටියුෂන් ගුරුවරුන්, මිනුම්දෝරුවන් ආදීන් සඳහන් කළ හැකිය. ඔවුන්ගේ අයකිරීම්වල කිසිදු ප්‍රමිතියක් නැත. එකම සේවය සඳහා විවිධාකාරයෙන් ගාස්තු අයකර විශාල වශයෙන් මුදල් ගරති. ඒ පිළිබඳ කිසිදු සංඛ්‍යාලේඛනයක් නොමැත. මෙතෙක් කල් බලයට පත් බොහෝ ආණ්ඩු මෙම කණ්ඩායම් ගැන කිසිදු උනන්දුවක් දක්වා නැත. මේ හැර මහා පරිමාණ ව්‍යාපාරිකයෝ, කැසිනෝ වැනි සූදු කාරයෝ මෙන්ම ප්‍රකට දේශපාලනඥයෝද සිටිති. ඔවුන්ගේ ආදායම් ගණන් පදනම් නැත. ඇතැම් ව්‍යාපාරිකයන් තම ආදායමෙන් සුළු කොටසකට පමණක් බදු ගෙවා සෙසු විශාල ආදායම් සඟවා ගනිති.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය කපා හැරීම්, බදු සහන ප්‍රදානය කිරීම් ආදිය සිදුවන වාතාවරණයක බදු ගෙවන අය පසුපසම හඹා යන තත්ත්වයක් නිර්මාණය වී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ගණනක් ර ෙට් සිටින අතර කුඩා ව්‍යාපාර කරන්නෝ 70,000ක් පමණ වෙති. මෙම දෙකොටසේම සේවයේ නියුක්ත මුළු පිරිස ලක්ෂ 25කට වැඩිය. ආණ්ඩුව මෙම ව්‍යවසායකයන්ගෙන් විශාල ලෙස බදු අය කිරීමට පෙළඹී ඇති අතර, ඔවුන්ගෙන් ලාභය මත අයකළ බද්ද සියයට 14 සිට 30 දක්වා වැඩිකිරීම නිසා එම කර්මාන්ත පවත්වාගෙන යාමට අපහසුව ඇති බවට මැසිවිලි ලැබේ. විදුලි සහ ජල ගාස්තු මෙන්ම ආනයන මත අයකරන බදු ඉහළ යාම නිසා ඔවුහු කබලෙන් ලිපට වැටී සිටිති.
දැනට පවතින බදු ප්‍රතිපත්තිය අනුව ඍජු බදු අය කිරීමට දක්වන්නේ අඩු උනන්දුවක් වන අතර නිතරම සිදුවන්නේ වක්‍ර බදු ඉහළ දැමීමය. දැනට අයකරන බදු පරිමාණ වනුයේ වක්‍ර බදු සියයට 80 සහ ඍජු බදු සියයට 20කි. මෙම බදු මට්ටම් වෙනස් කළයුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විවිධ අවස්ථාවල උපදෙස් දී ඇති නමුත් එය සිදුවන්නේ නැත. ඔවුන් යෝජනා කර ඇත්තේ ඍජු බදු ප්‍රතිශතය 40 දක්වා වැඩිකර වක්‍ර බදු සියයට 60 දක්වා අඩුකරන ලෙසය. මේ දිනවලද ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් පැවතියද, ඔවුන් දුන් උපදෙස්වලට අනුව කටයුතු සිදුවේ යැයි සැක පහළ වේ. මේ දිනවල සිදුකෙරෙන බදු සංශෝධනවලින්ද පෙනී යන්නේ තවමත් පරණ පාරේ ගමන් කරන බවකි.
පසුගිය සමයේ සිදුකළ බදු කප්පාදු හේතුවෙන් බදු ආදායම විශාල ලෙස පහළ වැටී ඇත. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක්ව තිබිය යුතු බවද පිළිගෙන ඇති නමුත් මේ වනවිට එම ආදායම සියයට 8.5 දක්වා පහළ බැස තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උපදෙස් දී ඇත්තේ අවම වශයෙන් ආදායම් ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 14 දක්වා හෝ ඉහළ දැමිය යුතු බවය. රජය මේ දිනවල විවිධ බදු සංශෝධන පනවමින් අපේක්ෂා කරනුයේ එම තත්ත්වයට ළඟා වීමටය.
කෙසේ වුවද රජය මේ වනවිට ඍජු බදු ඉහළ දැමීම සඳහා න්‍යායාත්මක වෙනස් කිරීම් සිදුකිරීමට පටන් ගෙන තිබේ. මෙහිදී රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට අතිරේකව ඍජු බදු ඉහළ දැමීම වෙනුවෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට පියවර රැසක් ගනිමින් පවතී. එය මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙහිදී සිදුකිරීමට නියමිත බදු වෙනස්කම් අතර, පුද්ගල ආදායම් බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් ලක්ෂ 30 සිට 12 දක්වා අඩුකරනවා ඇත. මෙයින් බලාපොරොත්තු වන්නේ මෙතෙක් බදු නොගෙවා ඇති විශාල පිරිසක් බදු දැලට හසුකර ගැනීමටය. මේ අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන සෑම අයකුගෙන්ම ආදායම් බදු අයකර ගන්නවා ඇත. අද සාමාන්‍ය රැකියාවක් කරන අයකු පවා මසකට රුපියල් ලක්ෂයක වැටුපක් ලබන බව කිව හැකිය. එහෙත් ඔවුන්ටද වර්තමාන මිල මට්ටම අනුව සාමාන්‍ය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම උදෙසා වුවද මෙම ආදායම ප්‍රමාණවත් නොවේ. එසේ තිබයදී බදු ගෙවීමට සිදුවීමෙන් ඔවුන් තවත් අමාරුවේ වැටෙනවා ඇත.
මෙහිදී අලුතින් බදු ගෙවීමට ඇතුළත් වන පිරිසට අමතරව කලින් බදු ගෙවමින් සිටින අයටද වැඩි බද්දක් ගෙවීමට සිදුවෙයි. නව වෙනස අනුව රුපියල් 200,000 දක්වා මාසික ආදායමක් ලබන අයකු මෙයට පෙර ආදායම් බද්දට යටත් නොවුණද අලුතෙන් ඔහුට රුපියල් 10,500ක බද්දක් ගෙවීමට සිදුවේ. සියයට 6, 12, 18, 24, 30, 36 ආදී වශයෙන් සියයට 6න් 6ට බදු ගෙවීමට සිදුවන අතර, මෙහිදී ඉහළ යන බදු ප්‍රතිශතය ඉතාම විශාල වේ. උදාහරණයක් ලෙස ගතහොත් රු.1400000ක මාසික ආදායමක් ලබන්නකුට පැරණි බදු ක්‍රමය යටතේ ගෙවන්නට තිබූ රු. 162,000ක බද්ද රුපියල් 430,500 දක්වා ඉහළ නගී. වැඩිවූ ප්‍රමාණය රු. 268,500කි. මෙහිදී ආදායම් ප්‍රවාහ ගැන තේරීමකින් තොරව එක සමානව බදු ඉහළ දැමීම නිසා බොහෝ දෙනෙකු විශාල අමාරුවක වැටෙන බවට චෝදනා එල්ල වෙයි.
ගැසට් කර ඇති බදු සංශෝධන අනුව 2022 අප්‍රේල් මස 01 දිනෙන් ඇරඹෙන තක්සේරු වර්ෂයේ මුල් හය මාසය සඳහා බදු ගෙවිය යුතු ආදායම හා බද්ද කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබේ. එම මාස 6 තුළ බදු අයකළ හැකි ආදායම ලක්ෂ 15 දක්වා සියයට 6ක බද්දක්ද, ලක්ෂ 15 සිට 30 දක්වා වන ආදායම මත රුපියල් 90,000ක් හා 9ක බද්දක්ද, ලක්ෂ 15ක අතිරික්ත මුදල වන සියයට 12ක බද්දක්ද ගෙවිය යුතු වෙයි. එසේම බදු අයකළ හැකි ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන විට ආදායම් මත රු.270,000ක මුදලක් සහ ලක්ෂ 30 පසුව අතිරික්ත මුදල මත සියයට 18ක බද්දක්ද අය කෙරේ.
2022 වසරේ දෙවැනි මාස හයක කාලය තුළ පළමු රුපියල් 250,000 දක්වා සියයට 6ක බද්දක්ද, දෙවැනි 25,000 මත රුපියල් 150,000ක මුදල සහ සියයට 12ක බද්දක්ද තෙවන රුපියල් 250,000 මත රුපියල් 45,000ක් සහ සියයට 18 බද්දක්ද ආදී වශයෙන් සියයට 36ක බද්දක් දක්වා බදු ප්‍රතිශතය වැඩි වේ. ආදායමෙන් සියයට 36ක බදු අය කිරීම යනු ආදායමෙන් අඩකට ආසන්න බද්දකි. එසේම 2023 අප්‍රේල් 01 දින පටන් ගන්නා වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 12 ඉක්මවා ආදායම ලබන අයගෙන් පළමු ලක්ෂ 5 සඳහා සියයට 6ක බද්දක් ආදී වශයෙන් 6න් 6ට වැඩි කරමින් බදු අය කිරීමට යෝජිතය.
මෙම සංශෝධන මගින් සමාගම් සඳහා අයකරන බද්දද සියලුම සමාගම් සඳහා පොදුවේ සියයට 30 දක්වා වැඩිකර තිබේ. මෙහිදී අපනයන සමාගම්වලට මෙතෙක් තිබූ සියයට 14 බද්ද සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා බලපැවැත්වූ සියයට 14 බද්දද සියයට 30 දක්වා විශාල පරාසයකින් ඉහළ නංවා තිබේ. සමාගම්වල ප්‍රාග්ධන ලාභ බද්ද සියයට 10 සිට 30 දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. ඒ අතරම ලාභාංශ සඳහා වූ රඳවා ගැනීමේ බද්ද සියයට 15ක් කර තිබේ.
මෙලෙස විශාල මට්ටමින් බදු ඉහළ නැංවීම නිසා පොදු මහජනතාව මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල අමාරුවක වැටෙන බව පැහැදිලිය. බැංකු පොලී දෙතුන් ගුණයකින් වැඩිකර තිබෙන වකවානුවක මෙම අවිචාරවත් බදු ගැසීම නිසා විශාල හානියක් සිදුවෙන බවට මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. රුපියලේ විදේශ අගය ක්ෂය වී උද්ධමනය සියයට 70 ඉක්මවා තිබෙන විටෙක මෙම බදු සංශෝධන නිසා කිසිවකුත් අලුතින් ව්‍යාපාර ඇරඹීමක් ගැන සිතන්නටද නුපුළුවන. එසේම බංකු තැන්පතුවලටද මෙම බද්ද අයකර ගැනීම සඳහා මේ වනවිට විවිධ රෙගුලාසි පනවමින් තිබේ. තැන්පතු සඳහා සංකේත අංකයක් ලබාදී විවිධ ආයතනවල තැන්පත් කර ඇති මුදල් එකට එකතු කර බදු ගැසීමට සැලසුම් කර තිබේ. මෙම තත්ත්වය මත පාරිභෝගිකයන් විධිමත් බැංකු සහ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් වැළකී අවිධිමත් ආයතනවලට යොමුවීමේ ප්‍රවණතාව වැඩිවේ. ප්‍රියමාලි වැනි වංචනික මූල්‍ය ආයතන තවත් වැඩිවෙනවා ඇත.
මෙම බදු සංශෝධන පිළිබඳ ජනතාවගේ විරෝධය එල්ල වන අතරවාරයේදී ජනාධිපතිවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේ තමන්ට බදු අය කිරීමේ ආදායම් මට්ටම පහළ දැමීමට සිදුවූයේ මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රාජ්‍ය ආදායම සියයට 14 දක්වා ඉහළ නැංවීමට බවය. එසේම ඔහු ඉඟි පල කළේ තවමත් මේවා යෝජනා පමණක් වන නිසා ඉදිරියේදී යම් යම් සංශෝධන සිදුවිය හැකිය යන්නය. එසේම ඔහු මෙම සංශෝධන කළේ අකැමැත්තෙන් බවද කියා සිටී.
කෙසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වනුයේ අලුත් අලුත් බදු පැනවීම වෙනුවට දැනට පවතින බදු හරියාකාරව අයකර ගත යුතුය යන්නය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රාජකාරි අතින් අකාර්යක්ෂමතාවක් දක්නට ලැබෙන අතර බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමට දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව පැවසේ. අලුතින් බදු ලිපිගොනු විවෘත කළද, වැසී යන්නට ඉඩදී ඇති ප්‍රමාණය වැඩි වේ. බදු ගෙවීම පැහැර හරින්නන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පසුගාමී තත්ත්වයක පවතින බවට චෝදනා එල්ල වේ. රුපියල් කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර ඇති අතර ඒවා පිළිබඳ පවරා ඇති නඩුවල විශාල ප්‍රමාදයක් පවතින බව විගණකාධිපතිවරයා පවා පෙන්වා දී ඇත. මෙවැනි පසුබිමක කොතරම් අලුත් බදු පැනවුවද නිසි පරිදි අයකර ගත හැකිවේද යන්න පිළිබඳවද සැකයක් පවතී. එවිට සිදුවන්නේ නියමිත ඉලක්කවලට ළඟාවීමට අපහසු වීම මෙන්ම අවංක බදු ගෙවන්නා තව තවත් විපතට වැටීම බව පෙන්වා දිය යුතුය.
I යසවර්ධන රුද්රිගු