2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

පුරාවිද්‍යාවෙන් හදපු ගලතර මැටි ගෙදර

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 407

පුරාවිද්‍යා දෙපර්තමේන්තුව කියන විටම අපට සිහියට එන්නේ කළුගල් නැත්නම් ගඩොල්ය. වළං කෑලිය. පුරාවිද්‍යා සංරක්ෂණය සිදුවන්නේද ගඩොල්, කළුගල් හෝ දැවවලින් කළ ගොඩනැගිලිවලටය. නමුත් පසුගියදා අලව්වේ ගලතර ගමේ කටුමැටියෙන් කළ ගොඩනැගිල්ලක් සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත ගැසුවේය. ඒ ඓතිහාසික වටිනාකමක් සහිත වෙද නිවෙසකි. 

වයඹ පළාතේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලතර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගලතර වෙද නිවෙස පැරණි වෙද පරම්පරාවකට අයත් දැව හා මැටි යොදාගෙන ඉදිකළ දුර්ලභ ආකාරයේ පුරාවිද්‍යා ස්මාරකයකි. මෙම ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් තිස්සේ ගරා වැටී විනාශ වෙමින් පැවති අතර පසුව වයඹ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කලාප භාර නිලධාරී කෝලිත රණතුංගේ මැදිහත්වීමෙන් සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි. ඒ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා ප්‍රදේශවාසීන්ගේ සහායද ලැබී තිබීම විශේෂත්වයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයන් හා බහුකාර්ය සේවකයන් යොදවා ගනිමින් සංරක්ෂණ අංශයේ ඒ.එම්.ජී. අමරකෝන්ගේ අධීක්ෂණයෙන් සංරක්ෂණ කටයුතු සිදු කෙරිණි.

මෙය ලංකාවේ පැරණි නිවාස තැනීමේ ක්‍රමයක් වන කටුමැටියෙන් තැනූ ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිලි ඉදිකරන්නේ පුවක් පටිවලින්  තැනූ සැකිල්ලකට මැටිගුලි ඇතුළු කිරීමෙනි. මහනුවර යුගයේ බොහෝ විහාරාරාම මතු නොව දළදා මාලිගය පවා ඉදිකර තිබෙන්නේ කටුමැටි ක්‍රමයටය. මෙම ගොඩනැගිල්ල මැටියෙන් තනා ගෙබිමටද ගොමමැටි ආලේප කර තිබුණු අතර පියස්සට සෙවිලි කර ඇත්තේ තලඅතුය. මෙම වෙද නිවස පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කළේ 2007 පෙබරවාරි 23 දාය.

ගලතර ගම, රටපුරාම ප්‍රකට එහි පිහිටි තල උයන සහ තලගොබවලින් තනන පාරම්පරික  වටාපත් කර්මාන්තය නිසයි. නාරම්මල අලව්ව මාර්ගයේ පඹදෙණිය නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ ගියවිට මෙම ඓතිහාසික සුන්දර ගලතර ගමට ළගාවිය හැකිය. පඹදෙණිය පසු කර පැමිණ ටික දුරක් ගමන් කළ පසු නාගහකන්ද කියන ගම හමුවන අතර ඒ ගමට අල්ලපු ගම ගලතරයි. 

කඳු පන්තියකින් වටවූ මේ ගම්මානය කුඩා බලකොටුවක් වැනිය. එක් පසෙකින් හක්බෙලි කන්දත් අනෙක් පසින් මාරගලත් පිහිටා තිබේ. අක්කර හත බැගින් විශාලත්වයෙන් යුත් බිම් කොටස් දෙකක අහස උසට පැතිරුණු තලගසින් පිරි තල උයන පිහිටා තිබේ. එය හඳුන්වන්නේ මැඩිල්ල උයන ලෙසයි. ගමේ පවුල් 145ක් දිවි ගෙවන අතර ජනගහණය 500කට මඳක් වැඩිය. ගමේ පවුල් 120ක පමණ සාමාජිකයෝ පමණ වටාපත් තැනීමේ නිරත වෙති. 

වෙද නිවෙසට අමතරව ගමේ පිහිටි තවත් පාරම්පරික පුරාණ නිවෙසකි ගලේ ගෙදර. පුරාණයේ සිට තල්කොළ කර්මාන්තයේ යෙදුණු නිවැසියන් සිටි එම නිවස සෙවිලිකර තිබෙන්නෙත් තල් කොළවලිනි.

වරිච්චි බිත්ති, ගෙපිල, මාගල් ආන, වසර ගණනාවක් පැරණි බිත්තියේ ගසා ඇති නැකැත්පත්‍ර එහිදී දැකගත හැකියි. ගමේ තිබෙන එකම වී බිස්ස පිහිටා තිබෙන්නෙත් ගලේ ගෙදරයි. ගලේ ගෙදර යන නම ලැබී ඇත්තේ නිවෙස ගල්තලාව උඩ තනා ඇති නිසාය. නිවෙස තනා ඇත්තේ එක්දාස් අටසිය තිස් ගණන්වල බව පැවසේ.

තාල වර්ගයට අයත් ශාකයක් වන තල ගස තෙත් කලාපයේ වැඩෙන අතර සත් කෝරළය, සතර කෝරළය හා තුන් කෝරළයේ එය බහුලයි. තව්තිසා දෙව් ලොවට අධිපති සක් දෙවියන් මිනිස් ලොව ලේඛන අවශ්‍යතාව දිවැසින් දැක ස්වකීය නදුන් උයනේ ඇති තල ගස්වලින් ඇට කිහිපයක් ගෙන හත්කෝරළයේ මැද පිහිටි ගමක් වන ගලතරය ප්‍රදේශයට දැමූ බවත් ඒ අනුව තලගස් හැදී ව්‍යාප්ත වූ බවත් ජනප්‍රවාදවල සඳහන්ය.

විවිධ අවශ්‍යතාවලට භාවිත කරන්නේ තල ගසේ ගොබයයි. තල ගොබයේ පිටතින්ම ඇති දිගු ගොක් කොළ යොදා ගන්නේ ජන්ම කේන්ද්‍රපත් ලිවීමටයි. මැද ගොක් කොළ බණ පොත් වැනි එකට බැඳ තබන පුස්කොළ පොත් ලිවීමට භාවිත කෙරේ. ගොබයේ අග කොටස් වටාපත් හා වියන් පත් සෑදීමට යොදාගැනීම සිදුවේ. වටාපත් නිර්මාණය කරන තලගොබය හඳුන්වන්නේ හිරිඅත්ත ලෙසිනි.

ගැමියන් අතර පවතින විශ්වාසයක් වන්නේ වළගම්බා රජ දවස මාත‍ලේ අළු විහාරයේ  පැවැත්වූ ත්‍රිපිටිකය ලේඛගත කිරීමේ කටයුත්තේදී ඊට අවශ්‍ය තල කොළ ගෙන ගියේ ගලතරින් බවයි. ඉංග්‍රීසි කාලේ මුල්ම ලංකා සිතියම මිනින්දෝරුවන් මැනීමේදී මැඩිල්ල තල උයනේ අක්කර 50ක බිමක් රජය සතු ඉඩමක් වශයෙන් මැන වෙන්කර තිබේ.

තල උයනට ආසන්නව විශාල ගල්තලාවක් පිහිටා තිබේ. එය ගමේ අය හඳුන්වන්නේ තලපත් ගල ලෙසිනි. අනාදිමත් කාලයක පටන් අද දක්වාම වටාපත් තැනීමට තල කොළ තම්බා ගැනීමෙන් පසු අව්වේ වියළා ගැනීමට භාවිත කර ඇත්තේ මේ ගල්පර්වතයයි. වටාපත් තැනීමේදී මුලින්ම කරන්නෙ තල ගසට නැග අඩි එකහමාරක් පමණ දිගට කුඩා තල ගොබ කපා ගැනීමයි. කපාගෙන එන සුදු පැහැති තලගොබ දිග හැර එකපිට එක මත තබා බිලිං කොළ, කැප්පිටිය කොළ, ගස් ලබු කොළ ආදිය සමඟ ලොකු හැලියක දමා තැම්බීම කළ යුතුවේ. තැම්බිම සිදුකරන්නේ ලිපක් බැඳ දර දමමිනි.

මේ ලොකු මුට්ටියට ගමේ කියන්නේ තල කල්දේරම කියලාය. දවසක් පමණ මේ ආකාරයට තම්බා තලපත් ගල මත දිගහැර වියළීමට තැබේ. තල කොළ දිගඇරලා ගල්කැටවලින් බර තබා වියළීම සිදුකෙරේ. ඒ  තල් කොළ හැකිලීම වැළැක්වීමටයි.  විවිධ කොළ වර්ග දමා තම්බන්නෙ තල කොළේ තියෙන කහට ඉවත් කර  එම කොළය සුදු පැහැවීමටයි.

පාරම්පරික නිවෙස් සංරක්ෂණය කරන අතරම අස්පෘශ උරුමයක් වන පාරම්පරික වටාපත් කර්මාන්තය රුකගෙන ඔවුන්ට සුදුසු වෙළෙඳපොළක් සොයා දීමටත් බලධාරීන් උනන්දු විය යුතුවේ. වටාපත් කර්මාන්තයේ නිරත ගැමියන් පවසන්නේ තම නිර්මාණවලට නිසි මිලක් නොලැබීම ගැටලුවක් බවයි.

සේයාරූ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙනි

I කුසුම්සිරි විජයවර්ධන