තේ කර්මාන්තය යනු දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දිවි සැරිය සවි කරන රටේ ආර්ථිකය සවිබල ගන්වනු වස් විදේශ විනිමය රට තුළට රුගෙන එන ප්‍රධානතම කර්මාන්තයකි. මෑත කාලීන ජාතික ආර්ථික පසුබෑම් නිසාවෙන් තේ කර්මාන්තය විවිධාකාර වූ අභියෝගය රැසකට මුහුණ දුන්නේය.
පසුගිය දිනවල අප වෙත නිරීක්ෂණය වූයේ කර්මාන්තය අළු දුහුලි ගසා නැවත නැගිටීමට දරණ උත්සහයකි. එනිසාම අපි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සම්බන්ධ කර ගතිමු.
අප පළමුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා සිටියේ කොළඹ තේ වෙන්දේසියේ මිල ඉහළ යෑම පිළිබඳ පළව තිබූ පුවත් පිළිබඳවයි.
''පසුගිය මාස අට දිහා බැලුවාම ඩොලර් මිලියන අටසීය ගණනක ආදායමක් තමා අපිට ලැබිල තිබුණේ. එම කාලය තුළ තේ කිලෝවක නැව්ගත කිරීමේ මිල ඩොලර් හතරයි දශම හතක, අටක වගේ සාපේක්ෂ අගයක තමා පැවතුණේ. නමුත් පසුගිය මාසයේ තේ කිලෝවක නැව්ගත කිරීමේ මිල ඩොලර් පහයි දශම හතරක පමණ අගයක් දක්වා වැඩිවෙලා තියෙනවා.''
මෙවන් මිල ඉහළ යෑමක් සිදුව ඇත්තේ තේ වෙන්දේසියේ මිල ඉහළ යෑම නිසාවෙන් බව අනුර සිරිවර්ධන මහතා පෙන්වා දෙයි. කෙසේ නමුත් වෙන්දේසියේ මිල ඉහළ යෑමට හේතුව සැපයුම අඩුවීම බව ඔහු පහදයි.
''ඇත්තටම වෙන්දේසියේ මිල වැඩිවෙලා තියෙන්නෙ සැපයුම අඩු නිසා. නමුත් සැපයුම අඩුවීමේ පීඩනය නිසා මේ මිල ඉදිරි මාස දෙක තුනේ පවතියි කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා සැපයුම ප්‍රමාණාත්මකව අඩු වුණත් පසුගිය වසරේ වටිනාකම මේ වසරේ ලබාගන්න පුළුවන් වෙයි.''
පසුගිය වසරේ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම දෙකත් හතරත් අතර ප්‍රමාණයක් විය. නව මිල ඉදිරි කාලය තුළ පැවතුණහොත් එම ආදායම මෙම වසරේ ද ලබාගැනීමට හැකිවෙතැයි සිරිවර්ධන මහතා විශ්වාසය පළ කරයි.
කෙසේ වෙතත් සැපයුම අඩුවීම සාධනීය තත්ත්වයක් ලෙස ඔහු අර්ථ දක්වන්නේ නැත. අප දන්නා ආකාරයට පොහොර ගැටලු, ප්‍රවාහන ගැටලු, ශ්‍රම බලකායේ ගැටලු ආදී ගැටලු රුසක් නිසා තේ කර්මාන්තයේ නියුතු ප්‍රජාව පසුගිය සමයේ දැඩි ලෙස පීඩාවට පත්විය. සැපයුම අඩුවීම, දලු ප්‍රමිතිය බාලවීම ආදී අර්බුද කර්මාන්තය තුළ හටගත්තේ මේ සමඟයි.
''මේ මිල වැඩිවීම කුඩා තේ වතු හිමියන්ට, වැවිලිකරුවන්ට හොඳ අතට බලපාල තියෙනවා. රුපියල් අනූවකට වගේ තිබුණු කිලෝවලට දැන් ඒ අයට රුපියල් දෙසීයක් තුන්සීයක් විතර ලැබෙනවා. ඉතින් මිල වැඩිවීමේ වාසිය අපේ දලු හිමියන්ටත් ලැබිලා තියෙනවා.''
තේ වෙන්දේසියෙන් තේ හිමියන්ට ලැබෙන මිලෙන් 68%ක් දලු හිමියන්ටත්, 32%ක් කර්මාන්තශාලා වෙතත් ගලා යයි. ඒ අනුව මිල වැඩිවීමේ ප්‍රතිලාභය කර්මාන්තශාලා හිමියන් සහ දලු හිමියන් යන දෙපිරිසම අතර බෙදී යන බව කිව හැකිය.
සිරිවර්ධන මහතා විශ්වාසය පළ කරන්නේ විදුලි බිල වැඩිවීම නිසා කර්මාන්තශාලා මුහුණ දී ඇති ගැටලුවට මෙම මිල වැඩිවීම අස්වැසිල්ලක් වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙය හුදෙක් කර්මාන්ත අවස්ථාකූලව මුහුණදෙන යහපත් තත්ත්වයක් බව අප වටහා ගත යුතුය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා පෙන්වා දෙන පරිදි දලු ප්‍රමිතිය වැඩි කිරීම, පොහොර ගැටලුවට විසඳුම් සෙවීම ආදී කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුමය. දලු ප්‍රමිතිය වැඩි කිරීම සම්බන්ධ වැඩසටහන් කිහිපයක් මණ්ඩලයේද සහාය ඇතිව මේ වනවිට ක්‍රියාත්මක වේ.
''මෙතැන පොඩි අපහසුතාවක් අපනයනකරුවන්ට තියෙනවා. අපි මේ කියන විදිහට විදේශ වෙළෙඳපොළේ මිල වැඩි වෙන්නෙ නෑ. පිටරට ගැනුම්කරුවන්ගෙන් අපේ අපනයනකරුවන්ට පීඩනයක් එනවා අපේ මිල වැඩියි, අඩු කරන්න කියලා.''
කෙසේ නමුත් නිර්මාණය වී ඇති තත්ත්වය කර්මාන්තයේ නියුතු දලු හිමියන් ඇතුළු සෙසු ප්‍රජාවට අස්වැසිල්ලකි. යම් හෙයකින් දලු අස්වැන්න ප්‍රමාණාත්මකව අඩු වුණු මෙම වකවානුවේ මිලද පහළ ගියේ නම් තේ කර්මාන්තය කඩා වැටීමට පවා ඉඩ තිබුණි. දැන් කර්මාන්තය යම් පමණකට සුරක්ෂිතය. කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීම බලධාරීන්ගේ වගකීමයි.
ගැටලු දහසක් මැද වුව ඇසිල්ලක හසරුල්ලක් තේ කර්මාන්තය තුළ දක්නට ලැබීම සතුටකි.
I චමිඳු නිසල් ද සිල්වා