2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

භාණ්ඩාගාර බිල්පත් පොලිය නැගිල්ලේ ආදීනව!

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 71

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොදු ජනතාවට අමතක නොවන වචන දෙකකි. 2015 පෙබරවාරි මාසයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බැඳුම්කර සම්බන්ධ ආන්දෝලනය තවමත් අවසන් නැත. දැන් එහි අනෙක් පැත්ත දැකගත හැකිය. ''අනිසි පොලී අනුපාතිකයකට'' බැඳුම්කර මිල දී ගැනීම ගැන විවාදය තිබියදී එකල පැවැති පොලිය මෙන් තුන් ගුණයක් දක්වා ''නිසි පොලිය'' වර්ධනය වී ඇත. බිල්පත් හා බැඳුම්කර උවමනාව රජයේ ණය අවශ්‍යතාව පෙන්නුම් කරයි. අති විශාල මුදල් ප‍්‍රමාණයක් මහජනතාවගෙන් ණය වශයෙන් ගන්නා ආණ්ඩුව මේවා එදිනෙදා අවශ්‍යතා සඳහා වියදම් කරමින් සිටී.

මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර හා බිල්පත් වෙන්දේසියේ ඵලදා අනුපාත වාර්තාගත ලෙස වර්ධනය වෙමින් පවතින අතර එය වහාම පාලනය කළ යුතුව ඇත. අසාමාන්‍ය පරිදි වැඩිවීම කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවේ. වාණිජ ණය ජාත්‍යන්තරයෙන් අසීමිතව ලබාගත් ආණ්ඩුව ඒවා ගෙවාගත නොහැකි තැනක පසුවේ. දේශීය ණය ගැනීමද එවැනි ඉරණමකට යා යුතු නැත. දේශීය ණය නොගෙවන්නේ නොවේ. ආණ්ඩුව මුදල් අච්චු ගසා බිල්පත් හා බැඳුම්කර පියවනු ඇත. අවසානයේදී අනපේක්ෂිත උද්ධමන අනුපාතිකයක් ඇතිවිය හැක. එය ආර්ථිකය මුහුණ දෙන අනතුරකි.

• පොලී අනුපාත වැඩිවන එකම හේතුව

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර රජයේ ණය ගැනීමේ ක‍්‍රියාවලියේ කොටසකි. මහ බැංකුව රජය වෙනුවෙන් දේශීය හා විදේශීය ණය හසුරුවන අතර මුදල් අවශ්‍යතාව සලකා මහා භාණ්ඩාගාරයෙන් කරන ඉල්ලීම පදනම් කරගෙන මෙහෙයැවේ. මාස තුනකින්, හයකින් හා වසරකින් කල් පිරෙන පරිදි මහජනතාවට මිලදී ගැනීමට හැකිවේ. ඇතැම් අවස්ථාවල දීර්ඝකාලීන පදනමකින් ද ණය ගැනීම සිදුවේ. 

මහ බැංකු  පණත අනුව ක‍්‍රියාකාරීත්වය ස්වාධින යැයි කියැවේ. ආර්ථිකයේ තුලිත භාවය සලකා ණය ගැනීම ගැන තීරණ ගත හැකිය. කෙසේ වෙතත් දැනට මහ බැංකුව අතීතයේ පරිදි ස්වාධීනද යන්න සැක සහිතය. ස්වාධීන තීරණ ගත හැකි නමුත් අය වැය පාලනයේ දී කරකියා ගත නොහැකිව හැසිරෙන ආණ්ඩු ඉදිරියේ දිගින් දිගටම ණය ගැනීම හැර අනෙක් ක‍්‍රමයක් නැත. මහ බැංකුව සම්බන්ධ විශ්වාසනීයත්වය හා තහවුරුභවය ක‍්‍රමයෙන් අහිමිවීම එහි ප‍්‍රතිඵලයකි.

වාණිජ බැංකු සමග මහ බැංකුව ගනුදෙනු කරන අතර මහජනයාගේ ඉතිරි කිරීම් ආණ්ඩුවට ගැනීම බැංකු පද්ධතිය ඔස්සේ සිදුවේ. බිල්පත් හා බැඳුම්කර මිල දී ගැනීමේ ක‍්‍රියාවලිය වාණිජ බැංකු හා ඒවාට අනුරෑප අංශ යටතේ ක‍්‍රියාවට නැඟේ. ආණ්ඩුවට අවශ්‍ය ණය ප‍්‍රමාණයෙහි තරම මෑත කාලය තුළ ඉල්ලුම වැඩිවීමෙන් පෙන්නුම් කෙරේ. 2021 අවසාන වනවිට එතෙක් පැවැති ණය ගැනීමේ සීමාව රු. ට්‍රිලියන දෙකේ සිට තුන දක්වා නංවන ලද අතර පසුගිය සතියේ තවත් බිලියන 663 කින් ණය ලබාගත හැකි සීමාව වැඩි කර ඇත.

• තැන්පතු සඳහා ඉල්ලුමක් නිර්මාණය වන පසුබිම

ආණ්ඩුව ඉල්ලන ප‍්‍රමාණයට බැඳුම්කර හා බිල්පත් සඳහා ආයෝජනයට බැංකු පද්ධතියට ධනය නැත. බැංකු තව තවත් පොලිය නංවන අතර මහජනතාවගේ තැන්පත් ආකර්ෂණය කරගනී. අද වනවිට බිල්පත් හා බැඳුම්කර ඵලදායි අනුපාත සියයට තිහකි. අලුත්ම වෙන්දේසි අනුව 2025 ජූලි 01 කල්පිරෙන රු. බිලියන 6,792ක බැඳුම්කර වෙනුවෙන් සියයට 31.93ක ඵලදා අනුපාතයක් තීරණය වී ඇත. 2029 ජූලි 01 කල්පිරෙන බැඳුම්කර සඳහා ලැබී ඇති ඵලදා අනුපාතය සියයට 31.85 කි. ඉදිරි වසර හතක් දක්වා ඉතාම ඉහළ පොලී අනුපාතයක් නියමවීම ආර්ථිකයේ සසලභාවය දක්වයි. මෙම මුදල් සැපයීම සඳහා වාණිජ බැංකු ස්ථිර තැන්පත් පොලිය සියයට 24.75 දක්වා නංවා ඇත. ඇතැම් ස්ථානවල පොලිය සියයට 32 දක්වා බව දැක්වේ.

මෙවැනි විශාල පොලී අනුපාත ගෙවීමට සිදුවීම පදනම් කරගෙන මෙතෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය අතිරේක පොලියක් ගෙවා නඩත්තු කරන ලද විශේෂ තැන්පත් ක‍්‍රමය අවලංගු කරන්නට සිදුවී තිබේ. ක‍්‍රමය විකෘති වී ඇති තරම එයින් පෙන්වයි. 2005 වසරේ රුපියල් බිලියන එකක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් ප‍්‍රකාශයට පත් කළ අතර එයට ගෙවන්නට නියමිතව තිබුණ පොලී අනුපාතකිය සියයට 9.5 කි. මුදල වැඩි කරන අතර අතිරේක ගැනුම් හා සමග එම අති විශාල බැඳුම්කරය වෙනුවෙන් සියයට 9.5-12 අතර වාර්ෂික පොලියක් ගෙවන්නට එකඟවී තිබුණි. එම ණය බැඳුම්කර ගනුදෙනුව මගින් 2016 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ පර්ෆචුවෙල් ෙට්‍රෂරීස් ලිමිටඩ් උපයාගෙන ඇති ලාභය රුපියල් බිලියන 5.1ක් බව අනාවරණය විය. මූල්‍ය විශේෂඥයන්ගේ ගණන් ගැනීම අනුව මෙම අනාවරණය කර ඇති ලාභය එයට වඩා දෙගුණයක් එනම් බිලියන දහයක් විය හැකිය. එය මහා වංචාවක් බව ප‍්‍රකාශ වූ අතර නඩු පවරා ඇත. දැන් අලුතින් නිකුත්කරන බැඳුම්කරවල පොලිය සියයට 31.93ක් බව දැක්වේ. සංවර්ධනය ඉදිරියේ ශ‍්‍රී ලංකාව ගමන් කර ඇති දිසාව වටහා ගත හැකිය.

• මුදල් සංසරණය වැඩිවීම උද්ධමනයට හේතුවකි

ආණ්ඩුව ගන්නා ණය ආපසු ගෙවීමේ දී මුදල් අච්චු ගැසීම සාමාන්‍යයෙන් සිදුවෙයි. ශ‍්‍රී ලංකාවට ධනය උපයා ණය ගෙවන්නට තරම් වත්කමක් නැත. රාජ්‍ය ව්‍යවසාය බිලියන ගණනින් පාඩු ලබයි. රජයේ ආදායමෙන් සියයට අසූවක් සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සඳහාය. රජයේ ආදායමෙන් සියයට හැත්තෑවක් ණය පොලිය ගෙවීමට බව දැක්වේ. ලෝකයේ රටවල් අතර ජනගහනයට සාපේක්ෂව යුද වියදම් සඳහා වැඩිම මුදලක් යට කරන රටවල් ලැයිස්තුවේ 15 වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට ඇත. මෙවැනි පසුබිමක මුදල් උපයා ණය ගෙවන්නේ කෙසේද? ණය ගෙවන්නට මුදල් මුද්‍රණය කෙරේ. 

අය වැය අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2024 වසරේ සිට මුදල් අච්චුගැසීම නතර කරන බව ප‍්‍රකාශ කර ඇත. එහෙත් 2020 වසරේ අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය රු. බිලියන 505ක් බව දැක්වේ. මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් රු. බිලියන 588ක අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව නිල වාර්තා දක්වයි. 2022 වසරේ සිට 2022 මාර්තු දක්වා කාලය ඇතුලත පමණක් රු. ට්‍රිලියන 2.3ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ආණ්ඩු ලබාගත් ණය හා ඒවායේ පොලිය ගෙවා ඇති බව දැක්වේ. මෙම මුදල් වෙළඳපොළට පැමිණි පසු උද්ධමනය ඉහළ නඟී. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ නැඟ ඇති අතර එහි උද්ධමනය සියයට හැට අටකි. මහජනතාවට එල්ල වී ඇති පීඩනය ඉතාම දරුණුය.
ජනතාවගේ අතට මුදල් ලැබුණ පසු ඒවා තරමට භාණ්ඩ අවශ්‍යතා වර්ධනය නොවේ. මුදල් බහුල වනවිට එයට සාපේක්ෂව බඩු මිල ඉහළ නගී. ඉන්ධන වියදම, විදුලිය ගාස්තු, බස් ගාස්තු වැඩි බව මහජනතාවට දැනෙන කාරණයකි. මේවා තුළ ජාත්‍යන්තර සැපැයුම අවහිර වීමෙන් හෝ ඩොලර් අවප‍්‍රමාණයෙන් ඇති පීඩනය පමණක් නොව රට තුළ සංසරණයවන මුදල් ප‍්‍රමාණය ඉහළ යෑමෙන් සිදුවන අවාසියද සැඟවී ඇත. 

• ව්‍යවසායකත්වයට අලුත් අනතුරු ඇඟවීම 

අතුරු අයවැය අනුව නිෂ්පාදනය හා අපනයනය කරන සෑම සමාගමකම වැට් බද්ද වැඩි කර තිබේ. එය විශාල වන්දියකි. අලුත් කර්මාන්ත ඇති කිරීම හා කර්මාන්ත ව්‍යාපාරවල දැනට පවතින ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ගැනීම පහසු නැත. ආණ්ඩුවේ ණය පොලිය හා සමානව බැංකු ණය පොලියද වැඩිකර තිබේ. සියයට තිහ ඉක්මවන පොලියකට ණය ගෙන ව්‍යාපාර මෙහෙයැවිය හැකිද? සුළු වෙළඳාමක් කරන්නට පුළුවන්කම තිබේද? බැංකු අයිරාවක් ලබාගෙන යමක් මිල දී ගන්නා ව්‍යවසයකයෙකුට එය පොලිය සමග පියැවීම සඳහා උපයන්නට ක‍්‍රමයක් නැත. ලක්ෂයක් ගතහොත් අවුරුද්දකදී එක් ලක්ෂ තිස්දහසක් ගෙවන්නට සිදුවේ. එයට අමතරව විදුලිය ගාස්තු, ඉන්ධන පිරිවැය, ජල ගාස්තු හා දුරකතන ගාස්තු වැඩි වී තිබේ. මෙකී වියදම් දරාගෙන යමක් නිෂ්පාදනය කිරීම වෙනුවට මුදල බැංකුවක තැන්පත්කර ප ෙසක ට වී සිටීම වාසිදායකය. අවසානයේ දී රක්ෂා බිහි නොවන අතර රජයේ ආදායම තවත් වටයකින් පිරිහෙන බව අවධාරණය කළ යුතුව ඇත.

ලෝක බැංකුව නොබෝදා ප‍්‍රකාශ කරන පරිදි ශ‍්‍රී ලංකාව 2022 අවුරුද්දේ සියයට 9.2ක ඍණ ආර්ථිකයකට පත්වනු ඇත. 2023 වසරේදී ද ආර්ථිකය ඍණ 4.2ක් බව උපකල්පනය කර ඇත. සෑම පැත්තකටම පීඩනයක් එල්ල කොට තිබේ. ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වෙන්නේ හොඳ සමාජ තත්ත්වයක තිබුණ මෑත කාලය පසුකරමින් බව අමතක නොකළ යුතු පැත්තකි. ලබන වසරේද ප‍්‍රශ්නය එපමණ නොවෙනස්වන බව පෙනෙන පසුබිමක වේගයෙන් වෙනස්වීමේ වැදගත්කම අවබෝධ කරගත හැක.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04