2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් සටන

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 111

ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා ඉහළ නැංවීමේ සූදානමක් ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයිද සංගමය පෙන්වා දෙයි. මේ නිසා දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය තීරණය කොට තිබේ.

එම සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ මහතා පවසන්නේ ලොතරැයි පතක් වෙනුවෙන් දැනට ලබාදෙන 17.05%ක කොමිස් මුදල සියයට විස්ස දක්වා ඉහළ දැමිය යුතු බවය. රුපියල් 20ක් වන ලොතරැයි පතක කොමිස් මුදල වශයෙන් රු.3.75ක මුදලක් දැනට ලබාදෙයි. ඉදිරියේදී ලොතරැයි පතක් රුපියල් 40 දක්වා මිල ඉහළ නංවන්නේ නම් ඒ සඳහා කොමිස් මුදල රුපියල් 8.50ක් වශයෙන් ගෙවිය යුතු බවද එම සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ මහතා පවසයි.

මීට ඉහතදීද මෙම සංගමය කොමිස් මුදල වැඩිකර දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී ඔවුන් කියා සිටියේ රුපියල් 20ක් වටිනා ලොතරැයිය සඳහා රුපියල් 4ක කොමිස් මුදලක් ගෙවන ලෙසය. අවසානයේ ජාතික ලොතරැයි මණ්ඩලයත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් ඔවුන්ට ලබාදී තිබුණේ රුපියල් 3.75ක කොමිස් මුදලකි.

දැනට ලොතරැයි අලෙවි නියෝජිතයින් 4800ක් පමණ සිටින බවත් ඔවුන් යටතේ අලෙවි සහායකවරුන් 25,000ක් සේවයේ නිරත වන බවත් ඊට සමගාමීව පවුල් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් යැපෙන බව ක්‍රිශාන්ත මාරඹගේ මහතා පවසයි. කොමිස් මුදල වැඩිකිරීම සඳහා වසර කිහිපයක සිට වරින්වර පත්වන ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඒ මහතා කියයි.

''අපි රජයේ ආයතන පහකට මුදල් උපයන මිනිස්සු. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජනාධිපති අරමුදල, සෞඛ්‍ය අරමුදල, ගොවි විශ්‍රාම අරමුදලට අපි මුදල් උපයා දෙනවා. මේකට උදේ ඉඳන් රෑ වෙනකම් දුක් විඳිනවා. නමුත් අවුරුදු ගණනක් ලැබෙන්නේ අර පරණ කොමිස් මුදලමයි. හැබැයි දැන් ජීවන වියදම 100%කින් වැඩිවෙලා.'' යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපතිවරයා කියයි.

දිවා රෑ අවු වැසි නොබලා රජයට ආදායම් උපයා දුන්නත් තමුන් ඇතුළු පිරිසට සහනයක් නැති බව ඒ මහතා පෙන්වා දෙයි. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට හා ලොතරැයි මණ්ඩල සභාපතිවරුන්ට කරුණු කියා ඇතත් විසඳුමක් ලබා දී නැත. මේ නිසා ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම උදෙසා ලොතරුයි අලෙවි කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් අදහස් කරයි. මෙය රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමක් නොව සිය සංගමයේ පිරිස හා අලෙවිකරුවන්ට සහනයක් ලබාගැනීමේ අරමුණක් බව ඒ මහතා කියයි.

''කොළඹ සහ නගරාශ්‍රිතව නම් ලොතරැයි කූඩුවක ඉඳලා ලොතරුයි අලෙවි කරනවා. ශබ්ද විකාශන යන්ත්‍රයකට බැටරිය සඳහා කලින් රුපියල් 5000ක් ගිය එක දැන් 20,000ක් ඕනෑ. ගමේ ලොතරුයි අලෙවිකරුවන් යතුරුපැදි පාපැදි භාවිත කරනවා. පෙට්‍රල් වියදම වැඩියි. ටයර් සහ අමතර කොටස් මිල ඉහළයි. දවසේ ආදායම තෙල් ගහන්නත් මදි. ඒ නිසා අපේ මිනිස්සු බොහොම අසරණ වෙලා ඉන්නේ. ඒ අයට සහනයක් අවශ්‍යයි මේ රජය මැදිහත්වෙලා.''

මේ ආකාරයට ඔහු පෙන්වා දෙන්නේ ලොතරැයි අලෙවිකරුවන්ට නිසි සුබසාධන වැඩපිළිවෙළක් අවශ්‍ය බවය. දිනුම් ඇදෙන නමුත් එම ලොතරැයි සඳහා මුදල් ලබා නොගන්නා ජනතාව අනන්තවත් සිටින බව ඔහුගේ අදහසය. එම මුදල්වලට සිදුවන්නේ කුමක්ද? ඔහු ප්‍රශ්න කරයි. වෙළෙඳ දැන්වීම් සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සඳහා කෝටි ගණන් වියදම් කරන බවද වෙනත් සුබසාධන වැඩසටහන් සඳහා විශාල මුදලක් වැයකරන බවද පෙන්වා දෙයි. විවිධ ඇමැතිවරුන්ගේ ඉල්ලීම් සඳහා එවැනි මුදල් ඕනෑතරම් නිකුත් කරන බව ඔහු පෙන්වා දෙයි. නමුත් මේ මුදල් උපයා දෙන අලෙවි සහායකවරුන්ට කිසිදු හවුහරණයක් නැති බව ඒ මහතා කියයි.

ආයතනය සතුව ඉඩමක් තිබියදී එහි ගොඩනැගිල්ලක් ඉදි නොකොට පෞද්ගලික අංශයේ ගොඩනැගිලි වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන බවද ක්‍රිශාන් මාරඹගේ මහතා කියයි. ආයතනය සතු ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදි කළේ නම් සියලු කාර්යාල පහසුකම් මුද්‍රණ අංශය මෙන්ම රූපවාහිනී පටිගත කිරීමේ මැදිරියද එහි සැකසීමට හැකි බවත් මුදල් විශාල වශයෙන් ඉතිරි වන බවද පෙන්වා දෙයි. මේ අතර ඒ මහතා පවසන්නේ ලොතරැයි අලෙවි හරහා උපයන මුදල් රජය සතු ආයතන මගින් නිකරුණේ වියදම් කර දමන බවය.

ලොතරුයි අලෙවි නියෝජිතවරු හා අලෙවි සහායකවරු මේ මොහොතේ සිය වෘත්තීය මග හරින්නේ නම් රජය වෙත ලැබෙන දෛනික ආදායම බරපතල ලෙස අහිමිවනු නියතය. එම ජනතාවගේ ආර්ථිකය ඇහිරී රුකියාව නොකරන තැනට පත්වුවහොත් එය වැළැක්වීමද අපහසුය. එබැවින් මුදල් අමාත්‍යංශය ප්‍රමුක ආණ්ඩුව මැදිහත් වී ලොතරුයි අලෙවි නියෝජිතයන් හා ලොතරුයි අලෙවිකරුවන් පිළිබඳව අවධානය යොමුකළ යුතුය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර