ලෝකයේ දැනට සිටින හොඳම විද්‍යාඥයන් අතළොස්ස අතරට අපේ විද්‍යාඥයන් 38 දෙනෙක්ද නම් කර සිටිති. ඒ ලොව 2% ක් පමණ වූ වැඩියෙන්ම ක්‍රියාකාරී විද්‍යාඥයන් ලක්ෂයක් දෙනා අතරටය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ සුප්‍රකට ප්‍රකාශන ආයතනයක් වන එල්සිවෙයාර් මගින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණයක් මගින් මෙම තෝරාගැනීම සිදු කර තිබේ. එයට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයන් 2%ක් අතරට මේ පිරිස ඇතුළත්ය.
ඔවුන්ගේ දිගුකාලීන වෘත්තිය සේවාව, ඉදිරිපත් කරන ලද පර් යේෂණ පත්‍රිකා සහ ඒවා පරිශීලනයට ලක්වූ බහුලතාව මෙන්ම ඒවා සිදු කළ බලපෑම ආදී කරුණු මත එක් පිරිසක්ද තනි වසරක කාලය තුළ ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකා සහ ඒවා ඇගැයීමට සහ පරිශීලනයට ලක්වූ වාර ගණන අනුව තවත් කණ්ඩායමක්ද ලෙස මේ විශිෂ්ටයන් තෝරාගැනීම සිදු කර තිබේ. විද්‍යාත්මක ක්ෂේත්‍ර 22කට සහ උප ක්ෂේත්‍ර 176කට අයත් විද්‍යාඥයන් අතරින් පිළිවෙළින් විද්‍යාඥයන් 195,605ක් සහ 200,409කගේ ක්‍රියාකාරීත්ව දත්ත මේ සඳහා ලෝක මට්ටමින් සලකා බලන ලදී.
වැඩිම නියෝජනයක් ලබා දී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් 9 දෙනකු මේ කණ්ඩායමට ඇතුළත්ය. සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්.ඩී. රත්නසූරිය, සම්මානිත මහාචාර්ය කාමිණී මෙන්ඩිස්, මහාචාර්ය සේනක රාජපක්ෂ සහ මහාචාර්ය නදීරා ඩී. කරුණාවීර වෘත්තීය ජීවිතය පුරාවටම ඉහළම දායකත්වයක් දැක්වූ විද්‍යාඥයන්ගේ 2% ලැයිස්තුවේ සිටිති. ඉතිරි කණ්ඩායමට මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය කේ. එම්. නලින් ද සිල්වා, මහාචාර්ය ප්‍රියංග රණසිංහ, මහාචාර්ය රනිල් ජයවර්ධන, ආචාර්ය උමේෂ් ජයරාජා යන මහත්වරුන් ද ඇතුළත්ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් සිව්දෙනකු තේරීපත්ව තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ පරපෝෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ද මෙලෙස ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර් යේෂකයන් පස්දෙනකු වන, මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය අනුෂ්ක යූ. රාජපක්ෂ, ආචාර්ය ධනුෂ්ක උදයංග සහ ආචාර්ය කේ.කේ. අසංක සංජීව මේ අතරට ඇතුළත්ය. මහාචාර්ය මෙත්තිකා විතානගේ, ආචාර්ය අනුෂ්කා යූ. රාජපක්ෂ, සහ මහාචාර්ය නීලිකා මලවිගේ 2020 ලැයිස්තුවෙන් මේ වසරේ 2021 ලැයිස්තුවට නැවත පැමිණ සිටිති.
ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද එම ලැයිස්තුවට ඇතුළත්ය.
මේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවට අනුබද්ධ විද්‍යාඥයෝ ද ඇතුළත්ව සිටිති. මෙයින් සමහරු දැනට ශ්‍රී ලංකාවේ සේවය නොකරන අතර තවත් සමහරු ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශ විද්‍යාඥයන් විය හැකිය.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍යයන් තිදෙනකු වන ආශා ජේ. දිසානායක මෙනවිය, නලින් විජයවර්ධන මහතා සහ රුවිෂිකා එස්. ජයවර්ධන මෙනවිය ද මේ අන්දමට ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි.
දැනට ආශා දිසානායක චීනයේ ඉලෙක්ට්‍රොනික් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෛව තොරතුරු මධ්‍යස්ථානයේ ජීව විද්‍යා හා තාක්ෂණ පාසලේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියකි. නලින් විජයවර්ධන චීනයේ Qujing සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා සම්පත් හා ආහාර ඉංජිනේරු විද්‍යාලයේ Yunnan Plateau Biological Resources Protection and Uilization මධ්‍යස්ථානයේ මහාචාර්යවරයකු වන අතර රුවිෂිකා එස්. ජයවර්ධන මහත්මිය දිලීර පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු සහ මූලික පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එසේම, ඇය තායිලන්තයේ Chiang Rai හි Mae Fah Luang විශ්වවිද්‍යාලයේ විද්‍යා පාසලේ කථිකාචාර්යවරියකි.
එමෙන්ම තවත් මෙරට විවිධ අධ්‍යාපන ආයතනවලට අයත් විද්‍යාඥයෝ මේ ලැයිස්තුව නියෝජනය කරති. ඒ අතරට යාපනය විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය, ජාතික මූලික අධ්‍යයන ආයතනය, සංවර්ධනය සඳහා වූ මුණසිංහ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ රජරට විශ්වවිද්‍යාලයද නියෝජනය කරන අපේ පර් යේෂකයෝ ඇතුළත් වෙති.
I සුගත්