2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

22 න් පස්සේ ආණ්ඩුවට වෙන දේ

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 206

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. එය සැබවින්ම අනම්‍ය ශක්තිමත් ලියවිල්ලක් විය යුතුය. දේශපාලන විද්‍යාව අනුව එය යථාර්ථයක් වන නමුදු අප රට තුළ එය යථාර්ථයක් නොවේ. දැනටමත් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී අවසානය. ඉකුත්දා සිදුවූ නවතම සංශෝධනයෙන් පසු සිදුවන්නේ කුමක්ද? මේ විමසීමේ පිළිබඳවයි.

පසුගිය දශක කීපය තුළ නිරීක්ෂණය වන ආකාරයට රට තුළ සිදුවන සෑම දේශපාලන බල පෙරළියකට අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් කරළියට පැමිණ, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කොට සම්මත වූ මෙම සංශෝධනය දේශපාලන බල හුවමාරුවක ප්‍රතිඵලයකි.

මෙම සංශෝධනයෙන් පසු සිදුවන දේශපාලන විපර්යාසය කියවා ගැනීමට පෙරාතුව සංශෝධනය සමගින් රටේ මූලික නීතිය සිදුවන වෙනස්කම් කියවා ගැනීම වටී. මෙම සංශෝධනය හරහා මූලික වශයෙන් සිදුවන්නේ විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව වෙත ලබාදීමයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමය.

සං‍ධිශෝධනය රුගෙන එමින් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවය.

මීට අමතරව ස්වාධීන කොමිෂන් සභා බලගැන්වීම් ඇතුළු මෙම සංශෝධනය හේතුවෙන් සිදුවන මූලික වෙනස්කම් මෙම ලිපියට සමගාමීව අවධානයට යොමු කර තිබේ. එම වෙනස්කම් හරහා සැබවින්ම පාර්ලිමේන්තු යම් පමණකට බලවත් වීම සිදුව ඇති බව පැහැදිලිය. විධායකයේ අත්තනෝමතිකභාවය හේතුවෙන් සිදුවිය හැකි හානි වළකා ගැනීමයි මෙහි අරමුණ බව පෙනීයයි.

එසේ නමුත් තවදුරටත් මෙරට පවතින්නේ විධායකයේ ප්‍රධාන කරගත් මිශ්‍ර ආණ්ඩුක්‍රමයකි. ඒ අනුව මෙම සංශෝධනය පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි තැන සිදුකරනු ලැබූ තවත් පැලැස්තර ඇලවීමක් ලෙස අරුත් ගැන්විය හැකිය.

මෙම සංශෝධනය හේතුවෙන් නිර්මාණය වන යම් අවදානමක්ද තිබේ. 22න් පසු සිදුවිය හැක්කේ කුමක්ද යන්න විමසන විට එම අවදානම පිළිබඳ සඳහන් කළ යුතුමය. 2018 ඔක්තෝබර් මාසයේ සිදු වූ පරිද්දෙන් ව්‍යවස්ථාදායකය සහ විධායකය ගැටුමකදී රට තුළ දැන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වීමට මෙම සංශෝධනය  සමඟ නැවත අවකාශය සැල‍සෙයි.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රීය ගති ලක්ෂණ මෙම සංශෝධනයේ අන්තර්ගත බව බැහැර කළ නොහැක්කකිය. එම නිසාම සාධනීය ලෙස කටයුතු කරන ව්‍යවස්ථාදායකයක් තුළ, විධායකයේ සහායද ඇතිව රාජ්‍ය තුළ යහපත් පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීමට අවකාශ සැලසෙයි. කෙසේ නමුත් දැන් එය රඳා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යහපත් දේශපාලන භාවිතය මතයි.

මෙම සංශෝධනය සමඟ සිදුවන දේශපාලන පරිවර්තනයන් සහ ඒ හා බැඳුණු ආර්ථික කරුණු පිළිබඳවද අප මෙහිදී විමසා බැලිය යුතුය. මෙම සංශෝධනය තුළ කැපී පෙනෙන සිදුවීම නම් මෙය අනුමත කර ඇතැමුන් සැබැවින්ම ඊට අකමැති වීමයි. මේ සංශෝධනය සඳහා ඡන්දය භාවිතා කිරීම ඔවුන් විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුවක් පමණයි.

ඒ අනුව සංශෝධනය ඒ අඩංගු අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දැරීමේදී ගැටලු මතුවිය හැකි බව ඉතා ඉතා පැහැදිලිය. උදාහරණයක් ලෙස කොමිෂන් සභා සඳහා පත්වීම් සිදු කිරීම ආදී කටයුතුවලදී මතු විය හැකි තත්වයන් දැක්විය හැකිය. මේය රට තුළ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යාම කෙරෙහි බලපානු ලබයි.

මෙම සංශෝධනය වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම් පිටුබලයක් සපයනු ඇතැයි විශ්වාස කළ හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආයතන මෙරට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරයි. ඔවුනට අනුව මෙය ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණයකි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වැනි චරිත මෙහි උපයෝගීතාව පැහැදිලි කොට ඇත.

එම නිසාම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදු කරන ජාත්‍යන්තර සාකච්ඡාවලදී, රට තුළ යහපත් දේශපාලන පරිවර්තන ඇති බව පෙන්වා දීමටත් මෙම සංශෝධනය වර්තමාන රජය විසින් යොදාගනු ඇතැයි සහතික කොට කිව හැකිය. ඒ හා සම්බන්ධව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැනි චරිතද අදහස් දක්වා තිබුණි. "මේක ගෙනෙන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගන්න. අපිට තියෙන ආදරයකට නෙමේ." ඔහු පවසා තිබුණේ ලෙසය.

කෙසේ වෙතත් මෙම සංශෝධනය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට නොපැමිණි බව අප සිහියේ තබාගත යුතුය. ඔවුන් අතුරින් බහුතරය ආණ්ඩු පක්ෂයේ අයයි. එසේනම් 22ක නිසාවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මත බෙදිමක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය.

දේශපාලන ආරංචි අනුව මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් පිරිසක් සෘජුවම සංශෝධනයට සහාය පළකර තිබේ. ඊට දැඩිව විරෝධය දැක්වූ පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් ඔවුන් සමඟ මේ වනවිටත් මත ගැටුමක් නිර්මාණය කොට ගෙන හමාරය.

මේ අතර රාජපක්ෂවරුන් අතරේ චමල් රාජපක්ෂගේ සහයෝගය මේ වෙත ලැබීම සහ නාමල් රාජපක්ෂ සංශෝධනයට සහාය පළ කිරීමට දෙගිඩියාවකින් පසුවීමද කැපී පෙනෙන සිදුවීමය. ජනපති සමඟ සංශෝධනයට පූර්වයේ පැවති සාකච්ඡාවලදීද මත ගැටුම් නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව මෙම සංශෝධනය ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳ තීරණාත්මක සාධකයක් වීමට ඉඩකඩ තිබේ.

මෙම සංශෝධනය දේශපාලනිකවද, නෛතිකවද ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරනු ඇති බව අවසානයේ කිව හැකිය. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයන් පිළිබඳ අනාවැකි කීමට කල්වැඩිය.

විසි දෙකින් සිදු වූ දෑ 
• විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම.
• විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම.
• අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම.
• ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයන් පත්කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.
• මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.
• ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතුය.
• යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
• දූෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. - දූෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.
• අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.
• අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.
• ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.
• ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.
• ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04