ආසියාවේ දක්නට ලැබෙන විවිධ වීදි ආහාර මහාද්වීපයේ සංස්කෘතීන් මෙන් විවිධාකාර වේ. ප්‍රියජනක සුවඳක්, රස අංකුර අවදි කරන රසයන් සහ අද්විතීය පිළියෙළ කිරීමේ විලාසය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආහාර ලෝලීන්ව මේ කලාපය පුරා විසිරී ඇති වෙළෙන්ඳන්ගේ කරත්ත, පාර අයිනේ ආපනශාලා සහ අවන්හල් වෙත ආකර්ෂණය කරවයි.
වෙනත් ඕනෑම තැනක මෙන්, ආසියාවේ ආහාරද එහි බොහෝ සංස්කෘතික සහ භූගෝලීය ගති ලක්ෂණවල බලපෑමට යටත්ය. එම නිසා මේ බොහෝ ආහාර වර්ගයන්හි එකම මූලයන් තිබිය හැකි වුවද, කෑම වර්ග දෙකක් හරියටම එක සමානද නොවේ. දශක ගණනාවක් පුරා වෙළෙඳාම සහ සංක්‍රමණය ඇතුළුව බොහෝ දේ ආසියාතික රටවල් අතර ආහාර වට්ටෝරු හුවමාරුවට හේතු වී ඇති අතර, ඒවායේ ඔවුනටම අනන්‍ය වූ අද්විතීයභාවය නිසා මේ ආහාරයන්හි රසය ගුණය පිළිබඳ කීර්තිය දුර බැහැර රටවලට පවා ව්‍යාප්ත වී තිබේ.
මෙම කැපීපෙනෙන විවිධත්වය ගවේෂණය කරමින් සී.එන්.එන්. මාධ්‍ය ආයතනය ආසියාවේ හොඳම වීදි ආහාර 50ක ලැයිස්තුවක් නිකුත් කර ඇත.
මේ අපූරු ආහාර ලැයිස්තුවේදී ලංකාවේ ආහාර වර්ග 2කටද මුල් තැන ලැබී තිබේ. ඒ අච්චාරු සහ ආප්ප සඳහාය. ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප ආසියාවේ හොඳම වීදි ආහාර 50 අතර හොඳම 20 අතරට පැමිණ ඇත. ආසියාවේ හොඳම වීදි ආහාර 50 අතර හොඳම 20 අතර ආප්ප 16 වැනි ස්ථානයට පත්වන අතර අච්චාරු ලැයිස්තුවේ ඉහළින්ම සිටියි.
ඒ අතරට වැටුණු වැඩිම ආහාර වට්ටෝරු චීනයෙන් වන අතර ටිබෙටයේ එකක් ද ඇතුළුව ආහාර වර්ග පහක් පවතී. තායිවානය, හොංකොං, ජපානය සහ තායිලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ප්‍රාදේශීය ආහාර වට්ටෝරු තුන බැගින් වාර්තා කර ඇත. ඉන්දියාවේ පමණක් ආහාර වර්ග රාශියක් ඇත.
එම ලැයිස්තුවේ ඇති විස්තරයේ සඳහන් ආකාරයට අච්චාරු යනු එළවළු, විශේෂයෙන් කැරට්, බෝංචි, අමුමිරිස්, ගම්මිරිස් සහ ලූනු භාවිත කර සාදන ලද රසවත් එකතුවකි. කුළුබඩු සහිතව, පැණි රස හා ඇඹුල් රසැති මේ කෙටි ආහාරයේ නිශ්චිත අමුද්‍රව්‍ය කලාපය අනුව වෙනස් විය හැකි අතර ඔවුන් සකස් කරන නිවෙස් අනුවද මුල් වට්ටෝරුවලට අනන්‍ය වෙනස්කම් ඇත. කෙසේ වෙතත්, එය සෑමවිටම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු වැනි උත්සවවලදී විශේෂ ආහාරවේලක් ලෙස පැමිණේ. උදේ ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය වේවා, ශ්‍රී ලංකාවේ ඕනෑම ආහාරවේලකට අච්චාරු පරිපූර්ණ අතුරු කෑමක් ලෙස භාවිත කළ හැකි බව මේ ලැයිස්තුවේ සඳහන් කර තිබේ.
මේ ලැයිස්තුවේ අංක 16 ලෙස සඳහන්ව ඇත්තේ ආප්පය. ආප්ප යනු ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධ සහ විශේෂ වීදි ආහාරයකි.
ලංකාවේ ආප්ප, පෑන්කේක් සඳහා ලංකාවේ උත්තරය ලෙස මේ ලැයිස්තුවේ සඳහන් කර ඇත. සහල් පිටි, පොල් කිරි හෝ පොල් වතුර සහ සීනි ස්වල්පයක් සමඟ තරමක් පැසුණු මිශ්‍රණයකින් ආප්ප බැටරය සාදා ඇත. පොල්කිරි දමා ආප්ප හැදූ විට එයින් අපූරු රසයක් ලැබේ.
මෙලෙස ආප්ප පැණි රස හෝ කිරි රස විය හැකි නමුත් දේශීයව ප්‍රියතම ආකාරය වන්නේ බිත්තර ආප්ප යැයි මේ ගැන ඇති විස්තරයේ සඳහන්ය. තවද, සරල ආප්ප හෝ බිත්තර ආප්ප ලුණුමිරිස් සහ ලූනු සම්බෝලයකින් සරසා පිළිගන්වන බවද මේ විස්තරයේ සඳහන්ය.
I සුගත් පී. කුලතුංගආරච්චි