2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

පුංචි ගොවිපළවලින් කෝටි ගණන් හොයන රජරට ගොවියෝ

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 485

“දොළ දැන් ගලා යන්නේ පුරුදු පාරේ නොවේ. පතල් වැඩ කරන මිනිසුන්ට වුවමනා කරන පාරකය.”

අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා කුසගින්දර නිවාලන්න සමත් ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි කියා කතාවක් අසා ඇත. හිටිහාමි ගැමි ගොවි පරපුර ආදරයෙන් රුකගෙන ආ රන් අරුණැල්ලේ පීදුණු සාර කෙත සිත් පිත් නැති දෙවැනි පරපුරකින් මැණික් පතලක් වී, රූස්ස කුඹුක් ගස් බිම වැටී පණගසා වූ විනාශයේ ඛේදවාචකය සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචනා කළ මාණික්කාවත නවකතාවේ සඳහන් වෙයි. එහෙත් එම දෙවැනි පරපුරම වර්තමානයේ උදැල්ලට අත හුරු කරගෙන සිටිනවා දැකීම භාග්‍යයකි.

අල්ලක් වපුරා මල්ලක් ගෙට ගනිං කියා අපේ මුතුන් මිත්තන් කීවේ කට කහනවට නොවේ. එයට වර්තමාන පරපුරෙන් සාක්ෂි ඕනෑතරම් දැකගැනීමට හැකිය. සුළුවට ඇරඹූ ගොවිබිමෙන් සාර අස්වැන්නක් ලබා රටම ස්වයංපෝෂිත කරවිය හැකි තරමටම ධෛර්යවන්ත, මහපොළොවට බරක් නැති ගොවි රජවරු කප්පරක් දැන් අපට සිටිති. 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ මහ ගොවි ජනපදයට අයත් කඩවල වැව පදිංචි 56 හැවිරිදි ශාන්ත ගුණසේකර මහතා අක්කර බාගයක වගා කළ කැකිරි වගාවකින් ලක්ෂ පහක ආදායමක් උපයා ගත්තේය. මෙලෙස අක්කර බාගයක කැකිරි වගාකිරීමට ඔහුට වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලකි. මේ වනවිට කිලෝ දස දහසක් අලෙවි කර ඇති බවත් ඉදිරියේදී තවත් කිලෝ 6000 කට ආසන්න  ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ගුණසේකර මහතා පැවසුවේය. පුරන් වූ කුඹුරක් ඉල්ලාගෙන කළ මෙම වගාව සඳහා පොහොර වශයෙන් ගොම සහ කුකුළු පොහොර යෙදූ බවත් එයට අමතරව යූරියා කිලෝ 40 ක් පමණද යෙදූ බවත් හෙතෙම කීවේය. කැකිරි වගාවට අමතරව තවත් අක්කර බාගයක වට්ටක්කා වගා කර ඇති බවත් එහි අස්වැන්න නෙලීමට ආසන්නයේ ඇති බවත් ගුණසේකර මහතා පැවසුවේය. පුරන් වූ කුඹුරක් හිතවතකුගෙන් ලබාගෙන මෙම වගා සිදු කරන බවත් මෙම කෘෂි කටයුතුවලදී කිසිදු රජයේ නිලධාරියකුගේ සහ ආයතනයක සහයෝගය තමන්ට නොලැබුණු බවත් හෙතෙම පැවසුවේය.

ඩුබායි වෙළෙඳපොළට යැවීමට ඇඹුල් කෙසෙල් වැවූ රාජාංගණය දකුණු ඉවුර යාය 1 ගොවීහු අක්කරයක ඇඹුල් කෙසෙල් වගාවෙන් රුපියල් ලක්ෂ 54ක ආදායමක් උපයාගැනීමට සමත් වූහ. දින 5 ක් වැනි කෙටි කාලයක් තුළ ඩුබායි රටට අපේ රටින් කෙසෙල් යැවීමට හැකි බවත් එහෙයින් මෙම අවස්ථාව මසුරන් වටිනා බවත් ගොවීහු කියති. රාජාංගණය ආශ්‍රිත පවුල් 350 ක් පමණ අක්කර බාගය බැගින් ඇඹුල් කෙසෙල්  වගාවේ නිරත වෙති.

තලාවේ ගොවි පිරිසක් අක්කරයක මිරිස් වගා කිරීමෙන් මාස 8 කදී රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගත්හ. මේ සඳහා මොවුන්ට වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලකි. මේ සඳහා දෙමුහුන් මිරිස් ප්‍රභේදයක් නවීන තාක්ෂණය ඇසුරෙන් යොදාගෙන අක්කර බාගයකින් මුර 23 කදී කිලෝග්‍රෑම් විසි දහසක අස්වැන්නක් සාර්ථකව ලබාගත හැකි බව ගොවීහු පැවසූහ. ලෝක බැංකුවේ ආධාර මත කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් මේ වනවිට අක්කර 1600 ක් නව තාක්ෂණය යොදාගනිමින් මිරිස් වගා කර තිබේ. ඉහළගම මිරිස් වගාකරුවකු වන අශෝක කුමාරසිංහ පැවසූයේ මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත මිරිස් කිලෝ 15000 ක අස්වැන්නක් සහ ලක්ෂ 19 ක ආදායමක් ලබා තිබෙන බවයි.

අක්කරයක වට්ටක්කා වගා කර මාස දෙකහමාරක් ඇතුළත රුපියල් ලක්ෂ 18 කට ආසන්න ආදායමක් ලබාගත් ගොවි මහතකු අපට හමුවූයේ පොළොන්නරුව මහවැලි බී කලාපයේ වැලිකන්ද නාගස්තැන්නේදීය. 42 හැවිරිදි දෙදරු පියකු වන ඔහු නමින් චාමර ප්‍රදීප්ය. මුළුමනින්ම කාබනික පොහොර සහ කුකුළු පොහොර භාවිතයෙන් පමණක් වගා කර ඇත. ඔහුට මෙලෙස අක්කරයක වගාව සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 4 ක මුදලකි. මේ සම්බන්ධයෙන් ඔහු පැවසූයේ වගා කළ වට්ටක්කා කිලෝවක් රුපියල් 160/- බැගින් දඹුල්ලට අලෙවි කළ බවයි. වට්ටක්කා වගාවට අමතරව තක්කාලි, මිරිස්, වී වගා කර ඇති බවත් හෙතෙම පැවසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව හල්මිල්ලකුලමේ ගොවීහු පිරිසක් අක්කර 20 ක මුං වගා කර ඉතා ඉහළ ආදායමක් ලබාගත්හ. වගාකරුවන් පැවසූයේ රුපියල් ලක්ෂ 13 ක මුදලක් වැය කර අතරමැදි කන්නයේ ආදර්ශ වගා ව්‍යාපෘතියක් ලෙස මෙම මුං වගාව සිදු කරන බවයි.  

ලක්ෂ්මන් කුමාර සහ අසංක ලයනල් යනු ඇපල් වත්තක හිමිකරුවන් දෙදෙනෙකි. ඇපල් වත්ත පිහිටා ඇත්තේ සීත රටක නොව හද්දා පිටිසර ගල්ගමුවේ මැදගම ප්‍රදේශයේය. ගන්නෝරුවේ කෘෂිකර්ම පර් යේෂණායතනයේ පර් යේෂණයක  ප්‍රතිඵලයක් හැටියට මෙයට වසර 13 කට පෙර ලබා දුන් ඇපල් පැළ දෙකක් එරමිණියා සහ කැලෑ මසංවලට ඇපල් ශාකයේ අතු කොටස් බද්ධ කර ඵල ලබා තිබිණි. කොළ පැහැයෙන් යුත් ඇපල් විශේෂයක් වන මෙහි ඇති වෙනස වනුයේ ඇපල් ගෙඩියේ බීජ එකකට වඩා ඇති නමුත් මෙහි ඇත්තේ මසං ගෙඩියේ මෙන් විශාල එක් බීජයක් පමණක් වීමයි. අක්කර 3 ක් පුරා විසිරී ඇති මෙම කොළ ඇපල් මසං වගාව අක්කර 20 ක් දක්වා තවදුරටත් දියුණු කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම ලබාදෙන මෙන් මෙම වගාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

1965 දී ඩඩ්ලි සේනානායක “රටක මවු දයා ගොවිතැන වේය දනුශ්‍රියා” යන තේමාවෙන් යුත් මෙරට වගා සංග්‍රාමය ඇරඹුවේ තරුණ පිරිසකගෙන් සැදුම්ලත් ගොවි හමුදාවකිනි. එහෙත් ඒ හමුදාවට උදැල්ල හරිහැටි හුරු නොවීය.
විප්ලවය යන නාමයවත් අසා නොමැති වං ලුං නමැති අහිංසක චීන ගොවියකු වැස්සෙන්, සුළඟින්, ගංවතුරෙන්, නියඟයෙන්, සාගතයෙන් මුහුණ දීමට සිදුවන පීඩා ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් ජයගන්නා අයුරු පර්ල් එස් බක්ගේ “The Good Earth” නවකතාවේ පරිවර්තනය වන “සාරභූමි” නවකතාවේ එයි. චීනය වැනි සාර භූමියක මෙන්ම ලංකාව වැනි සාර භූමියකද වං ලුං හා ඕලෑං වැනි අධිෂ්ඨානශීලී ගොවි ගෙවිලියන් එදා මෙන්ම අදත් මතුවටත් බිහිවනු දැකීම පැතුමය.

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04