ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති ඩොලර් කෝටි 290ක (ඩොලර් බිලියන 2.9) ණය මුදල සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ අවසන් තීරණය ගැනීමට පෙර යළිත් වරක් විදුලිය ගාස්තු 30%කින් පමණ ඉහළ නැංවීම කළ යුතු බව එම නිර්දේශයේ සඳහන් බවට වාර්තා වෙයි. එහෙත් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත. කෙසේ වෙතත් මුල්‍ය අරමුදල සිය ස්ථාවරය මහ බැංකු බලධරයන්ට ලිඛිතවම දන්වා තිබේ.
තමන් විශාල අලාභයක් ලබමින් සිටින බව පවසමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ඇතිව විදුලි බිල අති විශාල වශයෙන් ඉහළ දැම්මේ පසුගිය අගෝස්තු 10 වැනිදා සිටය.. ඒකක 30 ට අඩු නම් 264% කින්ද, ඒකක 61-90 දක්වා 125% කින්ද, ඒකක 91-120 දක්වා 89% කින්ද, ඒකක 121-180 දක්වා 79% කින්ද විදුලි බිල ඉහළ නැංවිණි. ඒ අනුව සමස්තයක් වශයෙන් 75% කින් විදුලි බිල ඉහළ ගියේය.
මෙලෙස විදුලි බිල ඉහළ නැංවීම මත වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට ලැබෙන අතිරේක ආදායම රුපියල් කෝටි 1500 කි. (බිලියන 15 කි) එලෙස අතිරේක ආදායමක් ලැබුණත් තවදුරටත් විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් කෝටි 15,200 ක (රුපියල් බිලියන 152ක) අලාභයක් ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
විදුලිය සඳහා අය කිරීමේදී ආගමික ස්ථාන සඳහා සහනදායී ක්‍රමවේදයක් මෙතෙක් අනුගමනය කළද,. නව මිල සංශෝධනයට අනුව අධික විදුලි පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන සඳහා සාමාන්‍ය පරිදි අය කිරීම් සිදු කිරීමට තීරණය කර තිබිණි. මෙහිදී භික්ෂූන් වහන්සේගෙන් දැඩි විරෝධතාවක් විදුලිබල ඇමැතිවරයා වෙත ඉදිරිපත් වූ අතර පසුගිය පොහොය දිනයේ සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා කළුවර පොහොය දිනයක් ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ පියවර ගත්හ. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පසුව ප්‍රකාශ කළේ විහාරස්ථාන සඳහා කිසියම් සහනයක් ලබා දීමට තමන් කටයුතු කරන බවටය.
විහාරස්ථානවලට සහන සලසන බවට එලෙස ප්‍රතිඥාවක් ලබා දුන්නද සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් ලැබුණේ නැත. දිගින් දිගටම ඍජු බදු හා වක්‍ර බදු අය කරමින් ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත තවත් 30% කින් විදුලි බිල ඉහළ දමන්නට පියවර ගතහොත් ඉන් සිදුවන්නේ ජනතාව තව තවත් පීඩාවට පත්වීමය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් විය යුතුය. ලංකා විදුලිබල මණ්ඩලයද මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන අතරින් ප්‍රධානතම ආයතනයකි. මහ භාණ්ඩාගාරය නිරන්තරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට මුල්‍ය පහසුකම් ලබා දීම හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර තිබේ.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කියා සිටියේ විදුලිය උත්පාදනය කිරීමට වැයවන පිරිවැය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. සාමාන්‍යයෙන් විදුලිය ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 48ක් වැය වුවද වසර ගණනාවක් තිස්සේ ඒකක 30ක් සඳහා අයකර ඇත්තේ රුපියල් 105ක් වැනි සුළු මුදලක් බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය අගෝස්තු මාසයේ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල ඉහළ යාම වැනි හේතු මත ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව සත්‍යයක් නමුදු. වර්තමානයේ විශාල අර්බුදයකට ලක්ව තිබෙන කර්මාන්ත හා සේවා සඳහා 86% කින් විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් එම ක්ෂේත්‍රවලට ඉතාම බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවන හෙයින් පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදුලි බිල වැඩි කිරීම එතරම් යුක්ති සහගත නොවන බවයි.
විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම, විදුලිබල මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ඇගයීම් පද්ධතියකින් තොරව විදුලිබල මණ්ඩලයේ සියලුම වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. “අපි 2015 දි අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත් කළා. විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වා දීමක් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ විධිමත් මිල සූත්‍රයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම සකස් කර ගනිමින් බිල ඉහළ දැමීම සිදු කරන්නැ" යි ඔහු ඉල්ලා තිබිණි.
ව්‍යාපාර වහන එක වැඩිය හොඳයි
විදුලි බිල ඉහළ නැංවීම සහ යළිත් වරක් විදුලි බිල ඉහළ නැංවීමේ සූදානමක් පවතින්නේ නම් එය තමන් තවත් වරක් කබලෙන් ලිපට වැටීමක් යැයි ජනතාව ප්‍රකාශ කරති. සිල්ලර භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන කේ. අමරසේන මහතා පැවසුවේ මෙවන් අදහසකි.
"ආයෙත් 30% කින් ලයිට් බිල ඉහළ දාන්න යනව කියල නම් තාම දන්නේ නැහැ. ඒත් පසුගිය මාසෙ ඉඳන් ලයිට් බිල වැඩි කරපු එකෙන් අපි හාන්සි. අපේ වෙළෙඳසලේ අධි ශීතකරණ දෙකක් තියෙනවා. පසුගිය කාලේ ලයිට් කැපිල්ල නිසා ඇතැම් ආහාර නරක් වුණා. ඒ පාඩුව අපිට විඳගන්න සිදු වුණා. ලයිට් කැපිල්ලෙන් පස්සේ අධික ලෙස විදුලි බිල ඉහළ දැම්මා. දැන් අපි කලින් ගෙව්වා වගේ තුන් ගුණයක විතර බිලක් ගෙවන්න ඕන. ලයිට් බිල ගෙව්වාම අපිට ඇති ලාභයක් නැහැ. අද හැමදේටම බදු ගසමින් ආණ්ඩුව හම්බකරන්න හදනවා. ජනතාවට කිසිම සුබසිද්ධියක් නැහැ. දැන් නම් කඩ කරනවට වඩා හොඳයි වහල දාන එක. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා කඩේ කරනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ආයෙත් නැග්ගොත් ජීවත්වෙලා ඉවරයි
ත්‍රිරෝද රථ රියදුරකු වන පිළියන්දල ජයතිලක මහතා කියා සිටියේ ඉන්ධන අර්බුදය හමුවේ බින්දුවට වැටී සිටි තමන්ට විදුලි බිලෙන් හයි වෝල්ටේජ් කරන්ට් වැදී ඇති බවටය.
"පසුගිය කාලය පුරාම ඉන්ධන පෝලිම්වල පැය ගණන් ඉඳල තෙල් ටිකක් ගහගෙන අපි හයර් දිව්වා. ඒකෙන් එදා වේල පිරිමහගන්නවත් ලැබුණේ නැහැ. ඊට පස්සේ සතියට ලීටර් පහක කෝටාවක් දුන්න නිසා පෝලිම් නැතිවුණත් අපිට හයර් දුවන්න තෙල් නැති වුණා. අපි පවුල නඩත්තු කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ අස්සේ විදුලි බිල දෙතුන් ගුණයකින් වැඩිවුණාම ජීවත් වෙන්නේ කොහොමද? ආයෙත් 30% කින් විදුලි බිල ඉහළ දානව කියන්නේ මිනිස්සු ජීවත්වෙලා ඉවරයි. විදුලි බිල විතරක් නෙමෙයි වතුර බිලත් වැඩි කළා. කැම බීම ගිනි ගණන්. 60 තිබුණු පාන් ගෙඩිය තමයි දැන් 200 වෙලා තියෙන්නේ. පසුගිය දවස්වල හයර් එකේ ගාණ ටිකක් වැඩි කළා. මිනිස්සු අහනව තෙල් රුපියල් 80කින් අඩු කළාට ගාස්තුව අඩු කරන්න බැරි මොකද කියල. අපිත් ජීවත් වෙන්න ඕන. දරුවො පාසල් යවන්න ඕන. හැමදේම ගිනි ගණන් ගිහින් තියෙද්දි ලැබෙන ගාණ මදි දවසෙ වියදමටවත්." යනුවෙන් ඔහු සඳහන් කළේය.
ගම්බද ජනතාව පවසන්නේ විදුලි බිල අඩුකර ගැනීම සඳහා භූමිතෙල් භාවිත කිරීමට තමන්ට සිදු වී ඇති නමුදු භූමිතෙල් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් එයද කළ නොහැකි බවටය. පසුගිය අගෝස්තු මාසේ වෙනකම් රුපියල් 87 තිබුණු භූමිතෙල් ලීටරේ දැන් තුන්සිය ගාණක්. ඉතින් ලයිට් බිල අඩු කරගන්න කියලා ලාම්පුවක්වත් පත්තු කර ගන්නේ කොහොමදැ''යි ඔවුහු විමසති.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා දේශයට ප්‍රකාශ කළේ විදුලි බිල මෙලෙස වැඩි කිරීමෙන් ජනතාවටම ස්වයං විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බවටය.
"මේ වන විට භාවිත කරන ප්‍රමාණය අනුව විදුලි බිල 200% කින් විතර ඉහළ දමා තිබෙනවා. ඒ හේතුවෙන් විදුලිය අධි සුඛෝපභෝගී මෙවලමක් බවට පත්වෙලා. අධික බිල පාලනය කර ගැනීම සඳහා ජනතාව තමන් විසින්ම විදුලිය කප්පාදුවකට යාවි. විදුලි බිලයි, වතුර බිලයි, දුරකතන බිලයි ගෙව්වම මිනිස්සුන්ට වැටුපක් ඉතිරි වෙන්නේ නැහැ. පසුගිය 15 වැනිදා සිට පනවපු සමාජ ආරක්ෂණ බද්ද නිසා විදුලි බිල තවත් 2.56% කින් වැඩිවෙලා. බොහෝ පාරිභෝගිකයන් මේ පිළිබඳව දැනුවත් නැහැ. පසුගිය කාලයේ වසා දමා ඇති නිවෙසක මීටර ගාස්තුව තිබුණේ රුපියල් 60 යි. පසුව එය 120 කළා. බද්ද සමඟ එය 123.50 ක් වෙලා. විදුලි බිල වැඩි කරලත් පාඩුයි කියලා ඇමැතිවරයා කියනවා. විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නට හේතු වී තිබෙන්නේ නාස්තිය දූෂණය, වංචාව නිසයි. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. එය පාඩු ලබන තත්ත්වයට පත් කර තිබෙන්නේ පාලකයන් විසිනුයි. විදුලිය ලාභදායක ලෙස නිපදවිය හැකි සූර්ය සහ සුළං බල ව්‍යාපෘති, පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා ඉන්දියාවේ අදානි සමාගමට ලබා දුන්නා. කළ යුතුව තිබුණේ එය රජය යටතේ තබාගෙන එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමයි. පසුගිය දිනවල ගල්අඟුරුවලට කළ දේ රටම දන්නවා. අඩු මිලට ගැනීමේ හැකියාව තියෙද්දි දෙගුණයක් වගේ ගෙවල ගන්න කටයුතු කළා. ගල්අඟුරු සඳහා ගෙවන්නේ විදුලිබල මණ්ඩලය. ඒ සඳහා වැයවන්නේ ජනතාවගේ බිල්පත්වලින් අයකර ගන්නා මුදල්."
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා දේශයට පැවසුවේ විදුලිබල මණ්ඩලය 75% කින් විදුලි බිල වැඩි කළ බව ප්‍රකාශ කළද එය 27% සිට 550% දක්වා වැඩි කර ඇති බවයි.
"යළිත් 30% කින් විදුලි බිල වැඩි කරන්නට යන බවට රාවයක් පවතිනවා. එහෙත් පනතෙ 30 වැනි වගන්තිය අනුව එහෙම වැඩි කරන්න බැහැ. අවසන් තීරණය ගත යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඔවුන් එවැනි තීරණයක් අරන් නැහැ. විදුලි බිල වැඩි කළ යුත්තේ ඩීසල් පිරිවැය අධික නිසා යැයි විදුලිබල මණ්ඩලය කියා තිබෙනවා. ජල විදුලිය සඳහා ඒකකයක වියදම රු4.50 යි. ගල්අඟුරු සඳහා ඒකකයක වියදම රු18 යි. මෙගාවොට් 300ක් පමණ ඩීසල්වලින් ජනනය කිරීමට සිදුවන නිසා ඩීසල් සඳහා වැය වන පිරිවැය සලකා බලා මධ්‍යස්ථ අගය රුපියල් 32ක් ලෙස සලකා විදුලි බිල වැඩි කිරීම සඳහා ගණනය කළා. මේ වන විට වැඩියෙන් විදුලිය උත්පාදනය කරන්නේ ජල විදුලිය මගින් නිසා මේ මාසෙ විදුලිය උත්පාදනය සඳහා ඩීසල් භාවිත කර නැහැ. මධ්‍යස්ථ අගය 32ට අරගෙන ජනතාවට කොළේ වහලා 4.50ට තමයි දුවන්නේ. මේ මාසයේ ඩීසල් භාවිත නොකළත් මෙගාවොට් 300 සඳහා වැයවන ඩීසල් බිලත් දැන් මිනිස්සුන්ගෙන් කපාගන්නවා. පනතේ බලතල අනුව ගණන් හදලා විදුලිබල මණ්ඩලය අයථා ලෙස ලාභ උපයනවා. ඇමැතිවරයා කියන්නේ කොහොමද පාඩුයි කියලා. අද වන විට ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වැනි මිලකට අලෙවි කළ හැකියි. එහෙම කළොත් ආර්ථික අර්බුදයත් විසඳගෙන විදුලි බිල 50% කින් විතර අඩු කරන්න පුළුවන්. විදුලි බිල වැඩි කළේ ජනතාවට නොකඩවා විදුලිය ලබා දෙන්න. පිරිවැය රු.32 කියල ගත්ත නම් මේ වෙලාවේ ඩීසල් සහනය ජනතාවට ලබා දිය යුතුයි. උදාහරණයක් ලෙස විදුලිබල මණ්ඩලයේ පිරිවැය රුපියල් 100ක් යැයි සිතුවොත් එයින් 90% ක්ම ගෙවන්නට වන්නේ ඩීසල් සහ ගල්අඟුරු සඳහායි. ජලවිදුලි බලාගාර සඳහා පිරිවැය 10% පමණ ප්‍රමාණයක්. මේ වන විට ජල විදුලිය 48.8% නිෂ්පාදනය කරනවා. ඩීසල් සහ ගල්අඟුරුවලින් නිපදවන්නේ අඩක් පමණයි. එම ප්‍රමාණය සඳහා පිරිවැය 90% ක්. ඒක තමයි මාෆියාව. විදුලි පාරිභෝගිකයා මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා.. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලය පිටරටකට විකුණා දමන්නයි."
■ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා