2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අයවැයට ඇතුළෙයි එළියෙයි දේශපාලන ගේම්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 69

දේශපාලනයේ තිරයෙන් මෙපිට කතාවලට වඩා තිරයෙන් එපිට කතා රසවත්ය. ත්‍රාසජනකය. ගේම්ය. දේශපාලනයේදී මිතුරන්ද හතුරන්ද නැත. තිබෙන්නේ හිමිවීම් සහ අහිමිවීම් පමණි. ඒ නිසා දේශපාලනය තත්පරයෙන් තත්පරය වෙනස් වේ. විශේෂයෙන් මෙරට දේශපාලනය එසේය.

මේ දිනවල වැඩියෙන්ම කතාවෙන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනය. 21 පරද්දන බව කී අයම එය අවසානයේ සම්මත කර ගත්තෝය. ඒ නිසා දේශපාලනය කෙතරම් අස්ථිරද යන්නට ළඟම උදාහරණය එයය.

දැන් දේශපාලනයේ මීළඟ තිරෙන් පිටුපස කතාව වන්නේ අයවැයට කුමක් කරන්නේද යන්නය. ජනාධිපතිවරයාට හිතවත් එසේම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය දක්වන සියලුදෙනාගේ අරමුණ වී ඇත්තේ එය සම්මත කළ යුතු බව කියාය. එයට හේතුව ලෙස දක්වන්නේ ජනාධිපතිවරයා මේ මොහොතේ ගෙන ඇති අභියෝගය ජයග්‍රණය කිරීම සඳහා මෙය සම්මත කළ යුතු බවයි. එසේ නොකළහොත් දැඩි ආර්ථීක පරිහානියකට ලක්වන බව ඔවුන්ගේ මතය වී ඇත. එපමණක් නොව තවත් පිරිසක් අයවැයට සහාය දක්වන්නේ ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුවෙන් නොලැබුණු වරප්‍රසාද, පහසුකම් සහ හොඳ තැනක් වර්තමාන ජනාධිපතිවරයාගෙන් ලැබුණු නිසාය. ඒ නිසා ජනාධිපතිවරයාට බෑ කියන්න බැරිකමට සහ ජනාධිපතිවරයා සතුටු කරන්නට අයවැය සම්මත කිරීමට ඔවුන්ගේ සහාය ලබාදේ. ඔවුන් ප්‍රතිපත්තියට වඩා සැලකිල්ල ඔවුන්ගේ ඡන්දයට බලපා ඇත.

මේ අතර තවත් පිරිසක් අයවැයට ඡන්දය ලබාදෙන්නේ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ගමන ජනාධිපතිවරයා සමඟ සිදුකිරීමට දැනටමත් තීන්දු කර ඇති නිසාය. නැවත පාර්ලිමේන්තු සිහිනය දැකීමට ඔවුන්ගේ මේ මොහොතේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ජනාධිපතිවරයාය.

මේ සියල්ල අයවැයට සහාය දීමේ හේතුන්ය. දැන් අප සොයා බලන්නේ අයවැය පරාජය කිරීම සඳහා පිඹුරුපත් සකසන පිරිස ගැනය. විශේෂයෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කළ නිසා පොහොට්ටුවේ ඇතැම් පිරිසක් ඊට එකඟ වූයේ නැත. ඔවුන් 21 ට සහාය දැක්වීමට නම් එම පරිච්ඡේදය ඉවත් කළයුතු බව ඔවුන්ගේ මතය විය. එයට හේතු වූයේ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙක් වීම නිසාය. 19 සංශෝධනය මගින් ද්විත්ව පුරවැසි දේශපාලන අයිතිය අහිමිකළත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 20 වැනි සංශෝධනය මගින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන්ම ද්විත්ව පුරවැසි දේශපාලන අයිතිය ලබාදීමට තීන්දු කරනු ලැබීය. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිස නැවත එය අහිමි කිරිමට කැමැත්තක් තිබුණේ නැත. කෙසේ වෙතත් එය පුස්සක් වෙමින් පොහොට්ටුවේ බහුතර පිරිසක් 21ට සහාය දුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනට බාධාවන බව දැන දැනමය.

මේ තත්ත්වය නිසාම බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසකගේ අරමුණ වී ඇත්තේ මේ සඳහා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමයි. එයට අයවැය යොදාගන්නේ කාරණා දෙකක් හිතේ තබාගෙනය. එකක් බැසිල් රාජපක්ෂ මහතාගේ බලය තවම හීන වී නැති බව පෙන්වීමටය. දෙවැනි මෙහෙයුම නැවතත් මේ රටේ අගමැතිවරයා ලෙස රාජපක්ෂවරයකු කෙටි කාලයකට පත්කිරීම සඳහාය. එය කෙතරම් අවදානම්කාරී ක්‍රියාවක් වුවත් එම පිරිසගේ හීනය වී ඇත්තේ මීළඟ මහ මැතිවරණයට යාමට පෙර රාජපක්ෂවරයකු රටේ ලොකු පුටුවක සිටීම අත්‍යවශම කාරණයක් නිසා බැවිනි.

එහෙත් ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා දැමීමට තීරණය කළහොත් ඊටද සූදානම් වීමේ අරමුණින් පොහොට්ටුව මේ වනවිට ගමින් ගමට යමින් ඇත. මේ අකාරයෙන් පොහොට්ටුවේ පිරිසක් පිඹුරුපත් සැකසුවත් පොහොට්ටුවෙන් පළමුවර පාර්ලිමේන්තු ආ බහුතරයක් මේ වනවිට සිටින්නේ ජනාධිපතිවරයා සමඟය. ඒ යම් හෙයකින් ඔවුන්ගේ වසර 5 සම්පූර්ණ වීමට පෙර විසිරුවොතින් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමිවන නිසාය. ඒ නිසා ඔවුන් සිටින්නේ කෙසේ හෝ මෙය ඉදිරියට ඇදගෙන යා යුතුය යන මතයේය.

මේ අතර විපකෂයේ පිරිසත්, පොහොට්ටුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිසත් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොගැලපෙන හෙයින් ඒ නිසා අයවැය පාරජය කොට ජනතාව පිළිගන්නා ආණ්ඩුවක් පත් කිරීම සඳහා මහ ඡන්දයකට යා යුතුය යන්න තීන්දු විය. විශේෂයෙන් පොහොට්ටුවෙන් ඉවත්වූ පක්ෂ 11 කණ්ඩායමේ බහුතරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වර්තමාන ආණ්ඩුව ගනුදෙනු කිරීම නිසා එය පරාජය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඒ ඔවුන්ගේ අවශ්‍යතාව කෙසේ හෝ අයවැය පරාජය කිරීමය.

ඊට අමතරව සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය අයවැය පරාජය කිරීමට උත්සාහ ගන්නේ ඔවුන් මේ ආණ්ඩුවට ඇති විරෝධය නිසාය. ඔවුන් පවසන්නේ මේ ආණ්ඩුවට ජනමතයක් නොමැති නිසා වහාම ජනමතය උරගා බැලීමට නම් මැතිවරණයක් සඳහා යායුතු බව කියාය. ඒ නිසා ඔවුහු අය වැය ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටිති. ඒ සඳහා ඔවුන් අභ්‍යන්තරික වශයෙන් සාකච්ඡා කිරීමද මේ දිනවල සිදුකරමින් ඇත.

කෙසේ වෙතත් අයවැය පරාජය කිරීමට සුදානම් වන අනෙක් කණ්ඩායම වන්නේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකි. ඒ ඔවුන්ට තවමත් අමාත්‍ය ධුර නොලැබුණු නිසාය. ඇතැම් නම් ගම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා අමාත්‍ය මණ්ඩලය පත්කිරීම කල් යාමත් සමඟ අද වනවිට ඔවුන් ආණ්ඩුව සම්බන්ධයෙන් සිටින්නේ ඉතාම කනගාටුවෙනි. ඒ නිසා ඔවුන් මේ අයවැය ආණ්ඩුවට පාඩමක් උගන්වන්න සූදානම් වන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ අයවැයට පෙර අමාත්‍යවරුන් පත් නොකළහොත් අයවැය ඡන්දයේදී ආණ්ඩුවට අවාසිදායක වනු ඇතැයි කියාය.

මේ ප්‍රශ්න සියල්ල මැද අද වනවිට ආණ්ඩුව ඉදිරියට ඇදෙමින් ඇත. මෙවර අයවැය සුවිශේෂී වේ. ඒ කඩාවැටුණු රටකට නව ආර්ථික සැලැස්මක් අයවැය හරහා ඉදිරිපත්වනු ඇතැයි කියාය. එහෙත් දේශපාලනයේ ගේම් නිසා අද වනවිට අයවැය නිකන්ම නිකම් ලියැවිල්ලක් කිරීමට තිරයේ පිටුපස සාකච්ඡා සිදුවෙමින් ඇත. ඒත් දේශපාලනය ස්ථිර නැත. ඒ නිසා මේ සියලු කතා අවසානයේ පුස්සක් වී ගොස් අයවැය ජයගැනීමට හැකියාවක් තිබෙන බවද පෙනී යයි.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04