2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අපේ ක්‍රිකට් කොල්ලන්ගේ අලුත් ජර්සි එක

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 116

මේ ගෙවෙන්නේ ක්‍රිකට් වසන්ත කාලයයි. රටවල් දොළහක් ලෝක කුසලානයකට තරග වදින තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 13 දිනයට යෙදී තිබේ. මෙම තරගාවලියට අප රට නියෝජනය කරමින් සහභාගි වන තරගකරුවෝ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 තරග කිහිපයකට මුහුණ දී සිටිති. මෙම තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ගේ ජර්සිය මෙවර වෙනස් කර තිබේ. ඒවා නිර්මාණය කරන ලද්දේ මාස් (Mas) ආයතනය මඟිනි. එය සුවිශේෂී මෙන්ම නිර්මාණාත්මක ජර්සියකි.

''අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීම සම්බන්ධ කටයුතු ක්‍රිකට් ආයතනය මගින් Mas ආයතනය වෙත ලබාදීම කාලාන්තරයක් තිස්සේ කරගෙන යනවා. මෙවර T20 සඳහා අප විසින් කරන ලද ජර්සිය සම්බන්ධයෙන් විශේෂ කරුණු දෙකක් අන්තර්ගත වෙනවා. එනම් මෙම ජර්සිය තාක්ෂණික අංශයෙන් සහ නිර්මාණාත්මක අංශයෙන් එකතුවක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මෙම ජර්සිය විශේෂ ක්‍රමවේදයකට නිර්මාණය වූවක්. ඒ නිසා එය අපිට සුවිශේෂියි.''

මාස් (Mas) ඇක්ටව් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නවෝත්පාදන) සුදේශ් ගුණසේකර මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ක්‍රීඩාවක නිරතවීමේදී ක්‍රීඩකයන් විශාල වශයෙන් මුහුණපාන ගැටලුවක් වන්නේ වෙහෙස වීමත් සමඟ ශරීරයට ඉතා ඉක්මණින් දහඩිය දැමීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් ජර්සි ඇඳ ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන්ගේ ශරීරයෙන් පිටවන දහඩිය ඇඳුමට උරා නොගෙන දිගු කාලයක් ශරීරයේ රැඳී පවතින අවස්ථා තිබේ. එය ක්‍රීඩකයන්ට තම ක්‍රීඩාව නිසි පරිදි කරගෙන යාමට බාධාවකි.

''මෙවර අප ආයතනය මගින් නිර්මාණය කළ මෙම ජර්සියේදී අපි ක්‍රීඩකයන්ගේ ශරීරයට එසේ එකතුවන දහඩිය සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුකළා. මෙවර T20 තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. මෙහිදී ක්‍රීඩාංගණ හයක පමණ මෙම තරගාවලිය පැවැත්වෙනවා. ඒ නිසා මුලින්ම ඔස්ට්‍රේලියාවේ දේශගුණය සම්බන්ධයෙන් Mas ආයතනය අවධානය යොමුකළා. එමෙන්ම සුළඟේ වේගය ආදී සියලුම දේශගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වුණා. ඔස්ට්‍රේලියාවේ සීතල දේශගුණික තත්ත්වයක් තිබුණත් මෙම තරග පැවැත්වෙන කාලය හා වේලාව අනුව දහඩිය දමන කාලය වැඩි බව අපි තේරුම් ගත්තා. ඒ අනුව එයට ලබාදිය යුතු විසඳුම සම්බන්ධයෙන් අපේ අවධානය යොමුවුණා...'' සුදේශ් ගුණසේකර මහතා කියයි.

ශරීරයේ දහඩිය දමන ග්‍රන්ථි පිහිටා තිබෙන ආකාරයක් ඇත. ඒ අනුව Mas ආයතනය ඒ සම්බන්ධව සැලකිලිමත් විය. එම ග්‍රන්ථිවලට අදාළව ඔවුහු මෙම ක්‍රිකට් ජර්සිය නිර්මාණය කළහ. ඒ අනුව ජර්සිය දහඩිය උරාගන්නා සිදුරු තුනකින් ජර්සිය නිර්මාණය විය. ශරීරයේ දහඩිය දැමීම වැඩි ස්ථානවලට විශාල සිදුරු සහිතවත් දහඩිය දැමීම අඩු තැන් සඳහා ඊට වඩා අඩු සිදුරුත් ආදී පිළිවෙළට මෙම ජර්සිය මසා නිමකර තිබේ. මෙම ජර්සිය සඳහා තෝරා ගන්නා රෙද්ද (Fabric) ඉතා උසස් වර්ගයේ රෙද්දක් වන අතර එයින් දහඩිය ඉක්මණින් උරා ගැනීමක් සිදුවේ. එමෙන්ම එය ඉතා සැහැල්ල රෙදි වර්ගයකි. 

මෙහිදී කිවයුත්තේ සෑම රටකම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජර්සිය සම්බන්ධයෙන් මූලික මාර්ගෝපදේශය ලබා දෙනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (International Cricket Council) මඟින් බවය. විශේෂයෙන් සෑම රටකම අදාළ ජර්සියේ වර්ණය තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි.

මෙම T20 ක්‍රිකට් ජර්සියේ පසුබිම තුළින් විශාල පණිවිඩයක් ඇත. Mas ආයතනය මඟින් වසර ගණනාවක් ක්‍රිකට් නිල ඇඳුම වෙනුවෙන් කරන ලද නිර්මාණ වෙනුවෙන් ඔවුහු යම් කාලයක් ලබා ගනිති. ඒ තුළින් යම් පණිවිඩයක් නිරන්තරයෙන් ලෝකයටම ලබාදීම ඔවුන්ගේ වෑයමයි. 

''ක්‍රීඩා ඇඳුම මගින් සමාජයට මෙන්ම ලෝකයටම යම් පණිවුඩයක් ලබාදීමේ හැකියාව ලැබෙනවා. අප ආයතනය දායක වන අනෙක් නිර්මාණ තවත් සන්නාමයක් සමඟ නිර්මාණය වන ඒවායි. නමුත් ලංකා ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීම රට වෙනුවෙන් අපිට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ නිසා මෙයින් සමාජයටයි ලෝකයටයි යම් පණිවිඩයක් රුගෙන යාම අපේ එක් අරමුණක් වුණා. පසුගිය කාලයේ අපි විසින් ක්‍රිකට් ජර්සියක් නිර්මාණය කළේ ප්ලාස්ටික් වලින් සාගරයට වන දූෂණය සම්බන්ධයෙන් කතා කිරීමටයි. මෙවර මෙය ගෝලීය වේදිකාවක් වන නිසා ඊටත් වඩා විහාල පණිවිඩයක් ලබාදීමට අපට අවශ්‍ය වුණා. ඒ අනුව මුලින්ම අපි වනාන්තර විනාශය ප්‍රධාන පණිවිඩය ලෙසින් තෝරාගත්තා. ඊට අමතරව වගා කටයුතුවලදී සිදුවන විනාශය සම්බන්ධයෙන් අපි කතා කරන්නට උත්සාහ ගත්තා. ගස්වල අතු ආකාරයට ජර්සිය නිර්මාණය කර ඇත්තේ ඒ නිසයි. කහ පැහැති ජර්සිය මඟින් ගෝලීය උණුසුම්වීම් තුළින් හිමකඳු කඩා වැටීම් පෙන්නුම් කරන අන්දම නිර්මාණය කළා. මේ අනුව නිල් හා කහ පැහැති ජර්සි දෙකෙන්ම මනුෂ්‍යයා විසින් පරිසරයට කරන ලද හානිය සම්බන්ධයෙන් අපි පෙන්නුම් කරන්න උත්සාහ කළා.''

එම අදහස් පළ කළේ මාස් (Mas) ඇක්ටිව් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) අශාන්ති කෝල් මහත්මියයි.

මේ අනුව නිල් සහ කහ පැහැති ජර්සිය ක්‍රීඩා ලෝලීන්ටද මිලදී ගැනීමේ හැකියාව ඇති අතර එය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන්වුණ ජර්සිය මෙන් විශේෂිත වන්නේ නැත. ක්‍රිකට් ක්‍රීඩකයකු ක්‍රීඩා කරද්දී දේශගුණයට ගැලපෙන පරිදි ජර්සිය නිර්මාණය වීම අත්‍යවශ්‍ය වුවද එහි තාක්ෂණික තත්ත්වය ක්‍රීඩා ලෝලීන්ට අවශ්‍ය වන්නේ නැත. එහි ඇති තාක්ෂණිකකම අදාළ වන්නේ ක්‍රීඩකයන්ට පමණි. ඒ අනුව ඒ ආකාරයෙන්ම නිර්මාණය වුණ කහ හෝ නිල් පැහැති ජර්සියක් මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව තිබුණද එහි තාක්ෂණික පසුබිම අන්තර්ගත වන්නේ නැත. 

Mas ආයතනය මගින් නිර්මාණය කළ T20 ක්‍රිකට් ජර්සිය වෙනුවෙන් අපට ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙය මුලින්ම ක්‍රිකට් නායක දසුන් චානකට ලබාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ඔහු හොඳ ප්‍රතිචාරයක් ලබාදුන්නා. මෙය ඉතා සැහැල්ලු ජර්සියක්. එය ඔවුන්ගේ ක්‍රීඩා කටයුතුවලට හොඳ අවස්ථාවක්. මේ වෙද්දී ක්‍රිකට් කණ්ඩායමෙන් ලැබිලා තිබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මොනව හරි දෙයක් තිබුණොත් ඒ අය අපිට කතා කරල කියනවා. හැබැයි මේ වනතුරු ක්‍රිකට් ජර්සිය සම්බන්ධයෙන් චෝදනාවක් නම් ලැබිලා නැහැ. ඇත්තටම මේක Mas ආයතනය කණ්ඩායමක් විදිහට හැමෝගෙන්ම උපදෙස්, සහයෝගයෙන් කරපු කටයුත්තක්. මේක තාක්ෂණික හා නිර්මාණාත්මක දෙඅංශයේ එකමුතුවක්.'' යැයිද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) අශාන්ති කෝල් මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසුවාය.

විශේෂ ස්තූතිය
■ අයුධ්‍යා ගජනායක (ජ්‍යෙෂ්ඨ විධායක)
■ දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04