තිළිණි ප්‍රියමාලි නැමැති මූල්‍ය ජාවාරම්කාරියගේ වගතුග මාධ්‍ය ඔස්සේ විවිධාකාරයෙන් වාර්තා වෙයි. දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ බැට කන ජනතාවට මේ කතන්දර නම් අස්වැසිල්ලක් වැනිය. රටේ කඩා වැටෙන ආර්ථිකයත් ආණ්ඩුවේ නොහැකියාවත් දින කිහිපයකට හෝ යටපත් කරන්නට තිළිණි ප්‍රියමාලි කතාව ප්‍රමාණවත්ය. දේශපාලන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ ජාවාරම්කාරිය පිළිබඳව කතාකරනු දකින්නට ලැබිණ. ඒ රටේ ජනතාවගේ දුක බඩගින්නට වඩා ඇයගේ ගනුදෙනුකරුවන් වූ දේශපාලුවන්ගේ හා හිතවතුන්ගේ සබඳතා හේතුවෙන් බව නම් පැහැදිලිය.
කුප්‍රකට මූල්‍ය වංචාකාරියක් ලෙස චෝදනා ලද තිළිණි ප්‍රියමාලි කළු සල්ලි සුදු කිරීමේ පෙරමුණ ගත් ව්‍යාපාරිකාවකි. මෙරට මහා පරිමාණ ව්‍යාපාර හා ජාවාරම් හොබවන ආර්ථිකයේ ඔස්තාර්ලා සතු රුපියල් කෝටි ගණනක කළු සල්ලි තිළිණි ප්‍රියමාලි හරහා සුදු සල්ලි කරගන්නට ක්‍රියාකර ඇතැයි සැක කෙරේ. හොරුන්ගෙත් හොරු කම්බ හොරු යැයි කියමන තිළිණි ප්‍රියමාලිට කොටුවූවන්ට මෙන්ම තිළිණිටත් මනාව ගැලපේ.
කොළඹ කොටුවේ WTC හෙවත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 34 වැනි මහලේ නවීන පහසුකම් සහිත කාර්යාලයක් පවත්වාගෙන යමින් ප්‍රසිද්ධියේ මැය කෝටි ගණනක මූල්‍ය වංචාව සිදුකර තිබේ. තිකෝ සමූහ ව්‍යාපාරය නමින් සමාගමක් පවත්වාගෙන යමින් ඒ ඔස්සේ ආයෝජනය කරන මුදලට වැඩි පොලියක් ලබාදෙන බව කියමින් ප්‍රධාන වශයෙන් ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ රුපියල් කෝටි ගණනින් වංචාකර තිබෙන මැයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට තිබිණ.
තිළිණි ප්‍රියමාලිට එරෙහි පළමු පැමිණිල්ල යොමුකර තිබුණේ රුපියල් මිලියන 226කට අදාළවය. ඒ කොළඹ ගාලු මුවදොර පදිංචි අබ්දුල් සත්තාර් නැමැත්තකු විසිනි. දෙවැනි පැමිණිල්ල සිදුකර තිබුණේ අබ්දුල් හසන් කමල් හසන් නැමැති අය විසිනි. ඒ ඇමෙරිකානු ඩොලර් 60,000ක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් හා කිලෝවක් බර රන් ආභරණ තොගයක් සම්බන්ධයෙනි.
මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් ආරම්භ කර තිබුණි. විමර්ශනයේදී අනාවරණය වූයේ වසා දමන ලද ගිණුමක් හරහා තිළිණි ප්‍රියමාලි ඇතැම් අයට අගරු චෙක්පත් නිකුත් කර ඇති බවය. ඒ අනුව තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට පත්වූයේ දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 403 යන වගන්ති යටතේ වරදවල් සිදුකර තිබීම හේතුවෙනි.
අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුවද විමර්ශන සිදු කෙරෙමින් තිබියදී ඇයට මුදල් ලබාදුන්නා යැයි කියන පුද්ගලයන් 12 දෙනකුගෙන් ලැබුණු පැමිණිලිවලට අදාළව රුපියල් කෝටි 128කට අධික මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
විමර්ශනය අතරතුර තිළිණි ප්‍රියමාලිට අයත් බව කියන රන් පවුම් 30ක් සමග රුපියල් ලක්ෂ 30ක් සොයාගන තිබුණේ ගම්පහ ප්‍රදේශයේ නිවසක තිබියදීය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ කාර්යාලය පවත්වාගන යමින් එම ස්ථානයට හා සේවක පිරිසේ වැටුප් සඳහා මාසයකට රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් ගෙවා තිබෙන බවද වාර්තාවේ.
මේ අතර තිළිණි ප්‍රියමාලිට එරෙහි විමර්ශන සිදුකෙරෙන අතරතුර එම පරීක්ෂණවලට පොලීසියට දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම කූඨ ව්‍යාපාරික කාන්තාව රටේ ප්‍රබල දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාති හිතවතුන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ධනවතුන් හා ඔවුන්ගේ සමීපතමයන් මෙන්ම කලාකරුවන් රුසක් සමඟ ළඟින් ඇසුරු කර ඇත. ඒ බවට සාක්ෂි දරන ඡායාරෑප හා වීඩියෝ දර්ශන රුසක්ද දකින්නට හැකිය.
ඇය ඇසුරු කළ බලවතුන්ට අමතරව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන්ද සිටින බව නොරහසකි. මේ හේතුවෙන් රටේ ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක සිටින හා පොලීසියේ ඉහළ පුටුවල සිටින නිලධාරීන් කිහිප දෙනකු මගින්ද විමර්ශන සඳහා බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක්, ආණ්ඩුකාරවරු හා රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කිහිප පොළක්ද තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ජාවාරමට හසුව සිටිති. මොවුන් අතරින් ඇතැමුන් තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සබඳතා පවත්වා ඇති නිසා විමර්ශන සඳහා බාධා කරන බව දැනගන්නට තිබේ. එසේ විමර්ශන අඩාල කිරීමට සූදානමක් ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ දුරකතනය හා විද්‍යාත්මක සාක්ෂි සාධක පදනම් කොටගෙන සිදුකළ විමර්ශනවලදී ඉහත කී ප්‍රධානීන් ගණනාවකගේ හඬපට සහ නම් හෙළිදරව් වී ඇති බැවිනි.
මෙම විමර්ශන සඳහා වැඩිදුර උපදෙස් ලබාගැනීමට පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කොට ඇත. මේ අයුරින් විමර්ශන සිදුවූ පසුව ඉහත කී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් හා ඉහළ නිලධාරීන්ගේ නම් වතගොත හෙළිදරව් වන නිසා එය වළක්වනු පිණිස මොවුන් උත්සාහ දරමින් සිටිති. මේ සඳහා ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂක අංශයේ ප්‍රබලම සාමාජිකයකු වෙතින් දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවද වාර්තා වේ. මේ අතර එම දේශපාලනඥයන් තිළිණි ප්‍රියමාලි හමුවේ ආයෝජනය කළ මුදල් නිසා මුදල් විශුද්ධිකරණ චෝදනාවට ලක්වෙතැයි බියෙන් පසුවන බවත් ඒ නිසා සිදුවීම පැමිණිලි කර නැතැයිද කියති. මේ ආකාරයට ප්‍රබල දේශපාලනඥයන් හා ආරක්ෂක අංශයේ ප්‍රබලයන් විසින් පරීක්ෂණ කටයුතුවලට බලපෑම් කොට විමර්ශන අඩාල කරනු ඇතැයි යන සැකය නිසා අගතියට පත්ව සිටින පැමිණිලිකරුවන් වැඩිදුර නීතිමය සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල්ද තිළිණි ප්‍රියමාලි සන්තකයේ ආයෝජනය කර ඇත. ඒ අතර ඩුබායි හා එංගලන්තයේ රුඳී සිටින ජාවාරම්කරුවන් සිටින බවද හෙළි වී ඇත. කුඩු ජාවාරමුන් සතු මුදල් උණඩියල් ක්‍රමයට මෙරටින් පිටකර ඇත්තේ කොළඹ අවට රන්බඩු සාප්පු හිමියන් කිහිප දෙනකු විසින් බවට තහවුරු වී තිබේ. ඔවුන් හරහා ජාවාරම්කරුවන්ගේ මුදල් තිළිණි ප්‍රියමාලිට ලබාදී තිබෙන බවද විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නැතත් කුඩු ජාවාරම්කරුවන් දැන් රන්බඩු සාප්පු හිමියන්ට තර්ජනය කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.
මේ අතර පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ තිළිණි ප්‍රියමාලි හමුවේ පුද්ගලයන් 100 දෙනකු හෝ ඊට වැඩියෙන් රුපියල් කෝටි ගණනක් තැන්පත් කර තිබෙන බවය. එවැනි පිරිසක් හඳුනාගෙන ඇතත් ඔවුන් කිසිවකු පැමිණිලි යොමුකර නැත්තේ එම මුදල් උපයාගත් ආකාරය සනාථ කිරීමට සාක්ෂි නොමැති නිසාය. ඔවුන් අතර ජනප්‍රිය නිළියන් දෙදෙනකු හා ඉහළ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බවටද වාර්තා වේ.
තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරන ලද පැමිණිලි 12 අතර අවසන් වරට පැමිණිල්ල සිදුකර තිබුණේ පසුගිය 27 වැනිදාය. ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකි. වෙළෙඳපොළේ පවතින විනිමය අනුපාතයට වඩා අඩු මුදලට ඩොලර් ලබාදෙන බව පවසා තිළිණි විසින් ඔහුව මුලාකර රුපියල් කෝටි 4ක් වංචාකර ඇති බව පැවසේ.
එහෙත් ඔහුම නැවත රුපියල් හෝ ඩොලර් පොරොන්දු වූ පරිදි ලබාදී නැත. ව්‍යාපාරිකයාගේ බලකිරීම මත තිළිණි ප්‍රියමාලි චෙක්පත් කිහිපයක් ලබාදී තිබෙන අතර ඒවා අගරු වී ඇත. මෙසේ ලබාදුන් රුපියල් කෝටි 7ක් වටිනා අගරු චෙක්පත් කිහිපයක් ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව වාර්තා වේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරන්නේ තිළිණි ප්‍රියමාලි වංචා සහගතව ලබාගත් මුදල් තුන්වැනි පාර්ශ්වයක සඟවා හෝ ආයෝජනය කර ඇති බවකි. ඒ පිළිබඳව සොයා විමර්ශන සිදුකරමින් පවතින මොහොතක ඊට බාධාකරන දේශපාලනඥයන්ගේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ බලපෑම් දිගින් දිගටම එල්ලවන බව දැන් රටට රහසක් නොවේ.
■ සමන්ත ප්‍රදීප් විල්තෙර