2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අයවැය ගැන ජනතා අපේක්ෂා

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 44

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයේ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 8 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතය. නොවැම්බර් 09 දින සිට දෙසැම්බර් 10 දින දක්වා අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ නුදුරු දිනවල රටේ ඇතිවූ දේශපාලන විචල්‍යභාවය අනුව අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමද එක්තරා අභියෝගයක් වනු ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩු පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායම් සහ ආණ්ඩුව ඇතුළේම ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂය හා එක්ව අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය භාවිත කරනු ඇතැයි සැකයක් පවතී. මෙම බෙදීම තුළ අයවැය ලේඛනය පිළිබඳ යම් අවිනිශ්චිතභාවයක් උද්ගතව තිබේ.

කෙසේ වුවද 8දා සභාගත කරන අයවැය ලේඛනය මගින් දැනට රටේ උද්ගතව ඇති ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වෙයි. එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස්වලට නතු වී ඉදිරිපත් කරන මෙම අයවැය තුළින් ජනතාවට සහනයක් සැලසේ යැයි සිතිය නොහැකි බවද පැවසේ. වගකිව යුත්තන් පුන පුනා පවසන්නේ ඉදිරියේදී ජනතාවට තවත් කැපකිරීම් කිරීමට සිදුවන බවය. අනාගතය වර්තමානයට වඩා කටුක බව ඔවුහු කියති. එම අනාවැකි මත ජනතාවට තවත් දුක් විඳින්නට සිදුවන අයවැයක් පාර්ලිමේන්තුවේ කියවනු ඇති බවට සැක පහළ වේ.

අයවැය ලේඛනයට පෙර විවිධ බදු ඉහළ නැංවීම් සහ අලුත් බදු පැනවීම් සිදු කර ඇති අතර ඉදිරියේදී අයවැය මගින් තවදුරටත් ජනතා පීඩනය වැඩි වනවා මිස ඔවුනට සහනයක් ලැබේ යැයි යම්තම්වත් සිතිය නොහැකි බව මැදහත් ආර්ථික විශ්ල්ෂකයන්ගේ මතය වෙයි.

දුප්පතුන් ගලවාගන්න වැඩපිළිවෙළක් ඕනෑ

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:

"2019 වසරේ අපේ රටේ දුප්පතුන් හිටියේ මිලියන තුනක් පමණයි. මේ වනවිට එම ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිවෙලා තිබෙන බව පේරාදෙණිය සරසවියේ සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. මේ වනවිට රටේ ආහාර උද්ධමනය 95% සහ සාමාන්‍ය උද්ධමනය 70% ඉක්මවා ඉහළ ගිහින්. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ආදායම දෙගුණයකින්වත් ඉහළ නැංවිය යුතුයි. අද වනවිට රටේ මධ්‍යම පාන්තිකයන් නැතිවෙලා සුපිරි ධනවතුන් සහ අන්ත දිළින්ඳන් තමා ඉදිරිවෙලා තියෙන්නේ. රටක් සංවර්ධනය වීමට මධ්‍යම පාන්තිකයන්ගෙන් ලැබෙන සහාය විශාලයි. මධ්‍යම පාන්තිකයන් සහ දුප්පතුන් නැතිවුණොත් රටට විශාල හානියක් වෙනවා. ඒ නිසා අලුත් අයවැයෙන් මේ මධ්‍යම පාන්තිකයන් සහ දුප්පතුන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළක් නිර්මාණය විය යුතුයි.

මෙවර කොහොමවත් සංවර්ධන අයවැයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අයවැය විසර්ජන පනතේ වියදම් අනුව සංවර්ධන වැඩට විශාල මුදලක් වෙන්කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් වැඩි කරලා. එහෙත් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ ප්‍රාග්ධන වියදම් වැඩි කිරීම නොව වර්තන වියදම් වැඩි කිරීමයි. මුදල් වෙන් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීමට මිස සංවර්ධන වැඩ කිරීමට නොවෙයි. දැනට ආහාර අහේනියෙන් පීඩා විඳින ජනතාවට අවම වශයෙන් ආහාරවේලක් දෙන්න, ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ඇති කරන්න වගේ හදිසි අවශ්‍යතාවලට තමා මුදල් වෙන් කළ යුත්තේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දැමූ කොන්දේසි අතර එක කොන්දේසියක් වන්නේ දුප්පතුන්ට සහන සැලසීමයි. ඒ බවට ඔවුන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අයවැය ලේඛනයෙන් දුප්පත් අයට සහන සැලසීමට මුදල් වෙන්කිරීම ගැන මුල්‍ය අරමුදල එරෙහි වන්නේ නැහැ. එසේම අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කර ඇති බව පෙනෙනවා. එහෙත් අද රටේ තත්ත්වය අනුව යුද්ධ කාලයේ මෙන් විශාල මුදලක් ආරක්ෂක කටයුතුවලට වෙන් කළ යුතුද යන්න සිතා බැලිය යුතු වෙනවා. ලබන අයවැයේදී සිදුවිය යුත්තේ ආරක්ෂක වැය කපා හැර සෞඛ්‍ය සහ අධ්‍යාපනයට මෙන්ම දුප්පතුන්ට සහන සැලසීමට විශාල මුදලක් වැය කිරීමයි. එසේම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට බලාපොරොත්තු වන නිසා ඒවා සඳහා වෙන්කර ඇති මුදල් අවම කිරීම වැදගත්. එලෙස විකිණීමට හෝ වෙනස් කිරීමට බලාපොරොත්තු වන ආයතන සඳහා වෙන්කර ඇති වියදම් අඩු කළ යුතුයි.

මේ වනවිට ගත් තීරණ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳවැටෙමින් පවතිනවා. මෙම ආයතනවලින් 52%කට පොලිය වැඩි කිරීම නිසා හිරිහැරයට ලක්වුණා. මෙම තත්ත්වය බැංකු ක්ෂේත්‍රයට ද අහිතකර ලෙස බලපා තිබෙනවා. බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ණය දී ඇති බැවින් බැංකුවල කොටස් නිකුත් කිරීමෙන් වැළකී ණයකර නිකුත් කිරීමෙන් ඒවා ආරක්ෂා කළ යුතුයි. රටේ බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් බව කියනවා.
දැනට පවතින ව්‍යාකූල බදු ක්‍රමය සමාලෝචනය කර ස්ථිර සරල බදු ක්‍රමයක් ඇතිකළ යුතුයි. එක් භාණ්ඩයක් හෝ සේවයක් සඳහා විවිධ බදු අයකිරීමෙන් වැළකීම වැදගත්. දැනට දුෂ්කර ලෙස පවත්වාගෙන යන ව්‍යාපාර රැකගෙන 2018 වසරේ තිබූ තැනට යාමට අයවැය පරිසරය සකස් කළ යුතු වෙයි. අපේ රට සිංගප්පූරුවක් කරන බවට අනාවැකි කියන අය එම සංකල්පයෙන් බැහැරවීමට කටයුතු කළ යුතු වෙනවා. අපේ රටේ අද පවතින -7.8% වර්ධන වේගය ලබන වසර වනවිට -4% වේ යැයි බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය 2018 දී පැවැති තත්ත්වය දක්වා හෝ ඉහළ නැංවීමට කටයුතු කිරීමට මේ අයවැය තුළින් ප්‍රමුඛත්වය දිය යුතුයි."

අඩු ආදායම්ලාභීන්ට සහන දිය යුතුයි

මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යාම නිසා ශ්‍රී ලංකාවේ දිළිඳු හා අඩු ආදායම්ලාභී පවුල්වලට සිදුවූ හානිය අවම කිරීම සඳහා අලුත් අයවැයෙන් යම් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යාම අවශ්‍ය බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා පවසයි.

"ඉහළ ආර්ථික තත්ත්වයක් හිමි අයට ඇතැම් වෙලාවට මෙම බර නොදැනෙන්න පුළුවන්. එහෙත් අඩු ආදායම් ලබන දිළිඳු පවුල්වල අයට විතරක් නොව, මධ්‍යම පාන්තිකයාටත් එම තත්ත්වය තදින්ම දැනෙනවා. දැනටමත් මේ අලුත් බදු ක්‍රමය අනුව බැලුවත් රුපියල් ලක්ෂයේ ආදායමටත් බදු ගෙවිය යුතු වෙනවා. මේ ඍජු බද්දට අමතරව 15% ක වැට් බද්දක්ද ගෙවන්න වෙනවා. මේ නිසා මා අදහස් කරනවා අඩු ආදායම් ලබන අයට යම් සහනයක් දිය යුතු බව. ඔවුන්ට කියා බිහිවිය හැකි වැඩිපුර ආදායම් ලැබිය හැකි ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. ආධාර දීමට වඩා හම්බකරගෙන කන්න ක්‍රමයක් හැදිය යුතුයි. එහෙම නැතිව ආධාර දීමෙන් ඔවුන්ට සහන සැලසීම නොකළ යුතුයි. සියල්ල නොමිලයේ දෙන්න ගිය විට ජනතාව කම්මැලි වෙනවා. අයවැයෙන් මේ පිළිබඳ සහන දෙන්න අවශ්‍යයි.

දේශපාලනඥයන්ගේ වගකීම විය යුත්තේ ආධාර දීම නොව ආදායම් ලබන මාර්ග ඇති කිරීමයි. ආර්ථික සංවර්ධනයට ඔවුන් කොටස්කරුවන් කරගත් විට එය ඔවුන්ට මෙන්ම රටටම හොඳයි. ගොවියන්ට තෙල්, පොහොර නිසි වෙලාවට දෙනවා නම් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව සපයනවා නම් කර්මාන්ත ප්‍රවර්ධනයට රුකුල් දෙනවා නම් සමාජ ආරක්ෂණය නිකම්ම සිදුවෙනවා."

ගොවියාට සාධාරණයක් ඉටුවිය යුතුයි

ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති තිලක් ගොඩමාන්න:

"ආදායම වැඩිකර ගැනීම අලුත් අයවැයේ ප්‍රධාන ඉලක්කය වෙනවා. අයවැය පරතරය අවම කළ යුතුයි. හැමදාමත් අයවැයවල මේ ගැන පැවසුවත් එය යථාර්ථයක් වෙලා නැහැ. කෙසේ වුවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් බදු අයකිරීම අඩු කළ යුතු වෙනවා. අයවැයෙන් කළ යුත්තේ ඒ අයට සහන සැලසීමයි. මේ වනවිට බොහෝ ව්‍යාපාරිකයන් බදුවලින් බේරීම සඳහා ස්වකීය ව්‍යාපාරවල නම් පවා මාරු කිරීමට පෙළඹී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට යම් ස්ථාවරත්වයක් ගොඩනැගිය යුතුයි. අධික බදු බර නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දළ දේශීය නිෂ්පාදනයට හානි සිදුවෙනවා.

එසේම අපේ කෘෂිකර්මාන්තය නිතරම පාඩු පිටයි පවත්වාගෙන යන්නේ. වී නිෂ්පාදනය කොතරම් වැඩි වුණත් ගොවියා කියන්නේ තමන් පාඩු ලබන බවයි. ඔහුගේ නිෂ්පාදනයට සාධාරණ වෙළෙඳපොළක් කිසි දිනක ලැබෙන්නේ නැහැ. ගොවියා නිසා පොහොසත් වන්නේ වෙනත් අයයි. ඒ නිසා මෙම අයවැය ලේඛනයෙන් හෝ ගොවියාට සාධාරණයක් ඉටුවෙන්නට කටයුතු කළ යුතුයි. මේ වනවිට ගොවියා විශාල වශයෙන් හානියට ලක්ව තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා.

මෙතෙක් නොතිබූ අපනයන බද්ද ක්‍රියාත්මක කිරීම වැදගත්. අපනයනය නිසා විදේශ විනිමය ලැබෙන අතර එයට අමතරව යම් සාධාරණ බද්දක් අපනයන ක්ෂේත්‍රයට අය කළ යුතුයි. එහෙත් අලුතෙන් බදු පැනවීම ගැන අපට සතුටු වෙන්න බැහැ. අලුත් බදු හඳුන්වා දීමට වඩා දැනට පවතින බදු නිසි පරිදි අයකර ගැනීම විධිමත් කළ යුතු වෙනවා. බදු එකතු කිරීම සඳහා දැනට ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත්. එහෙත් සිදුවිය යුත්තේ පනවා ඇති බදු එකතු කිරීමට ප්‍රමුඛතාව දීමයි. අපේ බදු ක්ෂේත්‍රය ව්‍යාකූලයි. ආණ්ඩු මාරුවන විට බද්ද ද මාරු වෙනවා. එසේම ආණ්ඩුව පනවන බදු ද සුළු කාලයකදී වෙනස් කරනවා. දැන් මෙම වසරක දෙකක කාලයක් තුළ කොපමණ බදු ප්‍රමාණයක් පනවා යළි වෙනස් කළාද යන්න සිතා බැලිය යුතුයි. ඒ නිසා මනා විමර්ශනයකින් පසු බදු පැනවිය යුතු අතර කිසිදු බලපෑමකින් යළි එය සංශෝධනය කළ යුතු නොවෙයි. ගෝඨාභය සමයේ කිසිදු විමර්ශනයකින් තොරව විශාල ලෙස බදු කපා හැරීම නිසා ජාතික ආදායමට විශාල පහරක් එල්ල වුණා. අවම වශයෙන් වසර පහක් හෝ ගෙන යන්නට බැරි බදු ප්‍රතිපත්තියකින් වැඩක් සිදුවන්නේ නැහැ."

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා පවසන්නේ තම සංවිධානයේ සාමාජිකයන්ට අපහසුවෙන් හෝ දැනට පනවා ඇති විවිධ බදු ගෙවන්නට සිදුව ඇති බවය. ජාතික ආදායම ඉහළ නංවා අයවැය පරතරය පියවීම සඳහා බදු මගින් ආදායම උත්පාදනය කළ යුතු බව ඔහු කියයි.

"මෙම අසීරු අවස්ථාවේ රජයේ අලුත් බදු අමාරුවෙන් හෝ ගෙවන්න ව්‍යාපාරිකයන්ට සිදුව තිබෙනවා. ඒ සඳහා වෙනත් විකල්පයක් නැහැ. කෙසේ වුණත් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ කළහොත් යළිත් අපේ ව්‍යාපාරිකයන් හිරිහැරයට ලක්වෙනවා.

මෙම අයවැය ලේඛනය සඳහා අපේ වාණිජ මණ්ඩලය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එයින් සමහරක් ගැන රජයේ අවධානය යොමුව ඇති බවද දැනගන්නට තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අයවැය තුළින් සහනයක් ලැබේ යැයි අප බලාපොරොත්තු වෙනවා."

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04