2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

හතු පිපෙනවා වගේ බිහිවෙන සන්ධාන

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 227

ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ දේශපාලන බලය මාරුවීම් සිදුවන්නේ ප්‍රධාන පක්ෂ වටා ගොඩනැගෙන දේශපාලන සන්ධාන හරහාය. ඉතිහාසය පුරා පැවැති සියලු මැතිවරණ ඒ සඳහා සාක්ෂි සපයයි. එම නිසාම මෙරට තුළ අර්බුදකාරී දේශපාලන වටපිටාවක් තුළ දේශපාලන සන්ධාන පිළිබඳ කතිකාවක් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් අර්බුද සමය යනු, ඉදිරියේ දී ගොඩනැගෙන සන්ධාන පිළිබඳව පූර්ව කතිකාවට සුදුසුම කාලයයි.

මේ වන විටත් රට තුළ නව දේශපාලන කඳවුරු කිහිපයක් දලුලා වැඩෙන්නට පටන්ගෙන තිබේ. අප පළමුව 2/3 බහුතරයක් සහිතව ගොඩනැගුණු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් වෙන්වුණු පාර්ශ්ව පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
කඳවුරුගත සන්ධාන කිහිපයක් ඔවුහු මේ වන විටත් නිර්මාණය කොටගෙන සිටිති. එසේම පොදුවේ විපක්ෂය තුළ ද ඇතැම් කරුණු සම්බන්ධව එකඟතාව පාදක සන්ධාන වැඩපිළිවෙළ කිහිපයක් නිරීක්ෂණය වේ. කෙසේ නමුත් එකඟතා පාදක සන්ධානය දීර්ඝ දේශපාලන ගමනක් සඳහා ගොඩනොනැගෙන බව පැහැදිලිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් මාර්තු 9 වැනිදා පෙර බිදී ගිය ස්වාධීන පක්ෂ එකමුතුව මේ වන විටත් නව සන්ධානයක් නිර්මාණය කොටගෙන හමාරය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ දහයේ නායකයෝ එක්ව මෙම සන්ධානය ගොඩනැගූහ. ඊට නම් ලබා දී ඇත්තේ "උත්තර ලංකා සභාගය" ලෙසයි.

මෙහි නායකත්වය විමල් වීරවංශ වෙත ලැබී ඇති අතර, නායකත්ව මණ්ඩලයක් විසින් සන්ධානයේ කටයුතු මෙහෙයවනු ලබති. මෙම සන්ධානය පැරණි වාමාංශික සහ නව ජාතිකවාදී ව්‍යාපාරවල එකතුවක් ලෙස හැඳින්විය හැකිය.

එම සන්ධානයට අමතරව ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමද මේ වන විට දේශපාලන කඳවුරක් නිර්මාණය කරගෙන සිටිති. ඊට නම් ලබා දී අත්තේ "නිදහස් ජාතික සභාව" ලෙසයි. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් පමණ මෙම දේශපාලන ව්‍යාපාරය තුළ රුඳී සිටිති.

ඩලස්, ඩිලාන්, ජී.එල්. පීරීස් හැරුණුකොට මෙම කඳවුර තුළ ගොනුවී සිටින බහුතරය මෑතකාලීනව ගොඩනැගුණු "වියත් දේශපාලනය" නම් වූ ජනප්‍රිය ධාරාවේ ඉදිරියට පැමිණි පිරිස් වෙති. එසේම ඔවුන් අතරෙන් සැලකිය යුතු පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අය වීමද සුවිශේෂීය. පොහොට්ටු දේශපාලන භාවිතය තුළ කොන්වීම සහ අභ්‍යන්තර මත ගැටුම් මෙම කඳවුර නිර්මාණය වීමට මූලික හේතු ලෙස දැක්විය හැකිය.

මීට අමතරව "අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම" නමින් තවත් කඳවුරක් පැහැදිලිව හඳුනාගත හැක. එම පිරිස ද දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සැලසුමක සිටිති. කෙසේ වෙතත් ඔවුන් තුළ ආණ්ඩු විරෝධය හීන වන බවක් ඇතැම් තීරණ අනුව පෙනී යයි. එහෙත් ඔවුහු පොහොට්ටු දේශපාලන නායකත්ව විරෝධීහු වෙති.

මෙම කඳවුරු ත්‍රිත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් සමපාත මත දරන දේශපාලන කඳවුරුය. එම නිසාම අනාගත සන්ධාන ක්‍රියාවලියකදී මෙම පිරිස් එකිනෙකා වෙත ආකර්ශනයවීමට ඇත්තේ වඩාත් වැඩි ඉඩකි.

පසුගිය දිනක ඩලස්, විමල්, අනුර යාපා කඳවුරු නියෝජන කරන පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අගමික කටයුත්තකට පවා සහභාගී වූහ. මෙම සිදුවීම් දේශපාලන සන්ධාන ක්‍රියාවලියේ අනාගත සංකේත ලෙස ද හැඳින්විය හැකිය.

මීට අමතරව පොහොට්ටුවේ වර්තමාන ශේෂය ද නිසැක වශයෙන්ම ඉදිරි දේශපාලන ක්‍රියාවලිය උදෙසා නව සන්ධානයක් නිර්මාණය කරගත යුතුය. "රනිල් සමඟ ඉදිරියට යමු" මෙය පොහොට්ටුවේ අභ්‍යන්තරය තුළ මේ මොහොතේ නිර්මාණය වී ඇති දේශපාලන අදහසකි. එහි දිගුවක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයක් බිහිකර ගැනීමට යම් අවකාශයක් තිබේ. කෙසේ වෙතත් එය අතිශය සංකීර්ණ දේශපාලන තත්ත්වයකි.

රෝහිත, ජෝන්ස්ටන් ආදී පොහොට්ටුවේ ඉදිරි පෙළ දේශපාලන චරිත සහ සාගර, කැටගොඩ, එදිරිමාන්න වැනි බැසිල් හිතෛශීන් තුළ එජාප දීගය පිළිබඳ පහන් හැඟුම් නොමැති බව පෙනී යයි. රාජපක්ෂවරුන්ගේ අනාගතය ද එජාප හවුලක දී අවදානමට ලක්විය හැකි බවට ඇතැමකුගේ විශ්වාසයයි.

එහෙත් මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ වැනි චරිත දරන මතවාදය ඊට වෙනස් බව පෙනී යයි. පසුගිය දිනෙක ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩදී සිදු කළ මත විමසුම ඊට කදිම සාක්ෂියකි. රනිල් සමඟ ඉදිරියට යා යුතුය යන මතය එහිදී තහවුරු කර පෙන්වීමට ඔහු උත්සුක විය.

කෙසේ වෙතත් පොහොට්ටු - එජාප හවුලක් ගොඩනොනගන්නේ නම් පොහොට්ටුවේ පිරිසක් පැහැදිලිවම එජාපය සමඟ එකතුවීමට ඉඩ තිබේ. එය ආණ්ඩුවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනු ඇත. දැනටමත් මෙම කරුණ හා බැඳුණු දේශපාලන ආරංචි ලැබෙමින් පවතියි.

එහෙත් පොහොට්ටු - එජාප සන්ධානයක පැවැත්ම ගැටලුසහගතය. මෙම දෙපාර්ශ්වයම පරස්පර ආර්ථික දේශපාලන මතවාද දරයි. වඩාත් තාක්ෂණිකව ගැලපීම ඇත්තේ සජබ - එජාප සන්ධානයක් තුළයි. දේශපාලන විරසකයන් ඇතත් මතවාදී සමානකම් දෙපිරිස අතර බහුලය.

සජබ - එජාප සන්ධානයක් නිර්මාණය වුවහොත් පොහොට්ටුවෙන් ගැලවී පැමිණි පිරිස් එය ශක්තිමත් දේශපාලන නිවහනක් ලෙස සලකනු ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ නායකත්වය අතර ගැටුමක් ඇතිවීම එවන් සන්ධානයක් නිර්මාණය වීමට අත්‍යවශ්‍ය සාධකයකි. සුළු සුළු මත ගැටුම් ඇතත් එවන් වූ බරපතළ විරසකයක් තවමත් දක්නට නොලැබේ. 22 වැනි සංශෝධනය එවන් විරසකයකට අවස්ථාවක් වීමට ඉඩ තිබුණු නමුත් එය යම් පමණකට වැළකී ගියේය.

තවත් පසෙකින් එජාප - සජබ සන්ධානයක නායකත්ව ගැටලු විසදා ගැනීම සුපුරුදු ලෙසම පහසු නොවෙනු ඇත. එවන් සන්ධානයකදී ජනාධිපතිවරණ අපේක්ෂක තත්ත්වය පිළිබඳ එකඟතාවක් ගොඩනගා ගැනීමට ද පැහැදිලිවම අපහසු වේ. එහෙත් ගොඩනැගීමට හැකි වුවත් එය වඩාත් ශක්තිමත් දේශපාලන සන්ධානයක් වීමට ඉඩ ඇත. ඒ වටා සුළු පක්ෂ රුසක් කඳවුරු බඳිනු නිසැකය.

මේ අතර ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය අමතක කළ නොහැක. සන්ධානගත වීමට සමපාත කඳවුරු නොමැති වුවද ඔවුන් නාමික හෝ දේශපාලන සන්ධානයක් ඉදිරි මැතිවරණය සඳහා නිර්මාණය කර ගැනීමට ඉඩ තිබේ. එහිදී පෙරටුගාමීන් සමඟ යම් එකඟතාවකට පැමිණීමට ඔවුනට අවැසි නම් හැකිය. එහෙත් එය ජවිපෙ දේශපාලන බල මණ්ඩලය ගත යුතු තීරණයකි. සන්ධාන ක්‍රියාවලියක දී පෙරටුගාමීන්ට සිවිල් බලයට එහා ගිය දේශපාලන බලයක් නිර්මාණය වීම පෙරළා ජවිපෙයට අහිතකර වීමට ඉඩ තිබේ.

කෙසේ නමුත් සන්ධානයක් ගොඩනැගීමට නම් ජවිපෙ, පෙරටුගාමී සහ අරගලයේ දේශපාලන කඳවුරු කිහිපයක් එක් තැනකට ගොනුවිය යුතුය. ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ වූ කඳවුරු සමඟ තමන් සන්ධාන ගොඩනොනගන බව මේ වන විටත් ජාතික ජන බලවේගය තහවුරු කොට හමාරය. කෙසේ වෙතත් අවසානයේදී දේශපාලන බලය ගමන් කරන ධාරාව මත ඔවුන්ට ද තීරණ ගැනීමට සිදුවේ.

වතුකරයේ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සුපුරුදු ලෙස වැඩි වාසි සහිත දේශපාලන ධාරාව සමඟ සන්ධාන ගතවනු ඇත. කෙසේ වෙතත් ඔවුන්ගෙන් බහුතරය සමගි ජන බලවේගය වටා දැනටමත් කඳවුරු බැඳ සිටිති. එම නිසා පැහැදිලිවම ඉදිරියේදී සජබ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා එම පිරිස් වෙහෙසෙනු ඇත.

මෙම දේශපාලන බලවේග වෙත ද ඉදිරියේ දී ජනපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. තවමත් මැතිවරණ ඉලක්කගත දේශපාලනයට ජනාධිපති වික්‍රමසිංහ අවතීර්ණ නොවීම එවන් කටයුතු පමාවීමට හේතුවයි.
උතුරේ සන්ධාන තුළ ඇත්තේ බෙදී යාමේ ප්‍රවණතාවයකි. උතුරේ දේශපාලන කඳවුරු එක්සේසත් කරගෙන සිටින ආර්. සම්පන්දන් චරිතයේ අනාගතය මත බොහෝ දෑ රූඳී පවතියි. කෙසේ වෙතත් උතුර දකුණ සමඟ දේශපාලන දීගයකට අවතීර්ණ වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. එහෙත් උතුරේ ප්‍රධාන දේශපාලන සන්ධානයේ බිඳවැටීමක් සිදුවුවහොත් තත්ත්වය වෙනස් විය හැකිය.

අවසානයේ සඳහන් කළ යුත්තේ අර්බුද සමයන්හිදී දේශපාලන සන්ධාන කතිකාවන් ඇතිවුවද, මෙරට දේශපාලන සන්ධාන බිහිවෙන්නේ මැතිවරණ සමයන්හිදී බවයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙරට දේශපාලන සන්ධානය බිහිවෙයි. එම නිසාම මේ මොහොතේ අප එළැඹී සිටින නිගමන මත රබර් මුද්‍රාවක් තැබීමට අපි ඉක්මන් නොවෙමු.

■ චමිඳු නිසල් ද සිල්වා