2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

බදු ගෙවන ජනතාවම තවත් සූරා කෑම

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 04:00 82

බදු වැඩිකිරීම සතිපතා ලැබෙන ප‍්‍රවෘත්තියක් බවට පත්ව ඇත. අතුරු අයවැය මගින් උපයනවිට ගෙවන, වැට් සහ තවත් බදු ගණනාවක් නංවන ලද ආණ්ඩුව නැවතත් විදුලිය බිල්පතටද සමාජ ආරක්ෂණ බද්ද පනවා ඇත. 2023 වසර සඳහා ඉදිරිපත් කරන්නට නියමිත අය වැය බදු තවත් වැඩිකරන බව කියැවේ. අලුත් බදු හඳුන්වා දෙන බව නිල නොවන වාර්තා දක්වයි. ඉසුරුමත් පුද්ගලයන් එනම් ඉඩම් හිමියන් සඳහාද වාර්ෂික තක්සේරුව මත බද්ද අය කරන්නට සිදුවිය හැකි බවට ඉඟි පළවේ. සමෘද්ධිමත් රටක් කරන්නට කලින් ජනතාව බදු ගෙවිය හැකි තැනට පත් කරන්නට උත්සාහ කරන බවට සැක කළ හැක.

රටක් දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශවල ප‍්‍රගතියක් අවශ්‍යය. පවතින පරිමාව නංවන පියවරකට යා යුතුය. මහජනතාව අත ගැවසෙන මුදලින් ආණ්ඩුව අය කරගන්නා ප‍්‍රමාණය වැඩි කිරීම සංවර්ධනයේ ප‍්‍රතිලාභ නොවේ. වක‍්‍ර බදු අඩු කරන අතර සෘජු බදු වැඩි කරන බව නැවත වතාවක් පළවෙන අදහසකි. පැරණි රබන් පදයක් උපමා කළ හැක. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියාමය. බදු ගෙවන්නේ මෙරට ජනතාව හැර වෙනත් කිසිවකු නොවේ. ආර්ථිකය ප‍්‍රසාරණය කර, ආයතන ශක්තිමත් කිරීම වෙනුවට අනුගමනය කරන ක‍්‍රියාපටිපාටිය කිසිසේත් ගැලපෙන්නේ නැත.

• ණය නොගෙවන ආණ්ඩුවක් බදු ගෙවන්නට බලකිරීම

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ණය හා පොලිය ගෙවීමෙන් වැළකී සිටී. දරුණු ආර්ථික අර්බුදයක බව දක්වන අතර ණය නැවත ප‍්‍රතිව්‍යුහගත කරන සේ යෝජනා කර ඇත. ණය ගෙවන්නට අසමත් වූ ආසියානු පැසිපික් කලාපයේ පළමු රට බවට ශ‍්‍රී ලංකාව නම් කර තිබීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අදාළ කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥ ආයතන දෙකක් ක‍්‍රියාකරන නමුත් තවමත් තිරණයක් නැත. චීනය, ඉන්දියාව හා යුරෝපා රටවල් අතර එකඟතාවයක් ඇති කරගන්නට අසමත් බව අනාවරණයවන කරුණකි. කිසිම රටක් තමන්ගේ වත්කම් අමතක කරන්නට සූදානම් නැත. සහන ප‍්‍රකාශයට පත් කළ හැකි නමුත් ඒ සඳහා ශ‍්‍රී ලංකාව ප‍්‍රමාණවත් ශක්තියකින් වැඩ කරන බව අඟවන්නට අවශ්‍යය. 

මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාව විශාල වශයෙන් වාණිජ ණය ලබාගත් අතර ඒවා විනිමය ප‍්‍රශ්නවලදී උත්තරයක් කරගෙන සිටියේය. ණය ලබාගෙන එදිනෙදා පරිභෝජන අවශ්‍යතා සපුරාගත් රටක් අද ඉතාම පරෙස්සමෙන් තීරණ ගනිමින් සිටී. විදේශ ණය නොගෙවීම හේතුවෙන් ආයෝජන පවා දුර්වලය. මහත්  අපේක්ෂා පෙරදැරිව ගොඩනගන ලද කොළඹ වරාය නගරයට තවමත් ආයෝජන ලබාගත නොහැකි වී තිබේ. රට තුළ පවතින ආර්ථික අස්ථාවර බව එයට හේතුව බව පැහැදිලිය. පසුගියදා වරාය නගරය නිකුත් කරන ලද නිවේදන අනුව එහි තෝරාගත් කොටසක බොජුන් සල් අරඹන්නට දේශීය ව්‍යවසායකයන්ට ඇරයුම් කර තිබුණි. එය මෙහි අනතුරුදායක පැත්ත දක්වයි. 

ලෝක ප‍්‍රජාවට ණය නොගෙවීම හේතුකොටගෙන සංකීර්ණ ව්‍යුහයකට කොටු වී සිටින ආණ්ඩුව එහි වාසිය ජනතාවගෙන් අත්පත් කරගන්නට අවධානය යොමුකර තිබෙන බව පෙනේ. ඇතැම් දේශපාලන පක්ෂ බදු නොගෙවන බලහත්කාරයක් යොජනා කර ඇත. එය සුදුසු තත්ත්වයක් නොවේ. මහජන සේවා සැපයීම වෙනුවෙන් සාධාරණ බද්දක් අය කිරීමට ආණ්ඩුවට අයිතියක් තිබේ. සීමාව ඉක්මවන මොහොතේ අලුත් ආදායම් මාර්ග කරා ආණ්ඩුව තල්ලු කර ජනතාව ගලවාගැනීම යුක්ති සහගත කටයුත්තකි.

• ණය නතර කරන්නට නම් බදු වැඩි කරන්නට මග

ජනාධිපතිවරයා මෑතක දී සඳහන් කරන ලද පරිදි පසුගිය කාලය තුළ රුපියල් බිලියන 2600 කින් ණය ලබා ගැනීම වැඩිකර ඇත. එයද ප‍්‍රමාණවත් නැත. සති තුනකට කලින් රජයේ ණය ලබාගැනීමේ සීමාව බිලියන 663 කින් නංවා ඇත. ණය නොගෙන රජයේ වියදම් කළමණාකරනය කරගත නොහැකි බව ප‍්‍රකාශ වේ. මහජනතාව ඉතාම දුෂ්කර තත්ත්වයක පසුවන අතරතුර රජයේ ආයතන තවත් වියපැහැදම් කිරීම අනුචිතය. වාර්තා අනාවරණය කරන පරිදි රජයේ ආයතන අත දිගහැර වියදම් කරමින් සිටී. සම්මන්ත‍්‍රණ වැඩ මුළු පවත්වන්නේ දුර බැහැර හෝටල්වලය. ජනතාව රුපියලක් පවා වියදම් කරන අතර දෙවරක් සිතා බලන බව සඳහන් කළ යුතුය. එවැනි පරෙස්සමකින් උපයන, සකසුරුවමෙහි නිරත ජනතාවගෙන් ගන්නා බදු සාහසික ලෙස වැය කිරීම අපරාධයකි.

ආණ්ඩුවේ වියදම් සඳහා රට ඇතුළතින් ණය ගන්නා අතර විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කරමින් සිටී.  භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය සියයට 31.85ක දක්වා වැඩිවී තිබේ. ආණ්ඩුව ණයට ගන්නා මුදල් වසර තුනක් ඇතුළත දෙගුණයකට ආසන්න වේ.  කිසිවකු මෙවැනි ගිනි පොලියකට ණය ගන්නේ නැත. ඉතාම භයානක තත්ත්වයකි. මෙම ණය සැපැයීම සඳහා වාණිජ බැංකු තැන්පත් භාරගනිමින් සිටින අතර තැන්පත් පොලිය සියයට විසි පහ ඉක්මවයි. මෙය ඉතා විකෘති අවස්ථාවකි. සමාගම්, ව්‍යාපාර සඳහා බදු පනවන රටක ව්‍යවසායකයෝ යමක් කළ යුතු ඇයි? එම මුදල් බැංකුවක තැන්පත් කළහොත් කිසිම හිරිහැරයක් රහිතව වැඩිම ප‍්‍රතිලාභ ලබාගත හැකිය. 

2005 වසරේ රුපියල් බිලියන එකක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමකට තිබුණ පොලී අනුපාතකිය සියයට 9.5 කි. එය තුන් ගුණයකින් ඉහළයෑම ආර්ථිකයේ පවතින විෂම තත්ත්වය අපට හුවා දක්වයි. දරුණු පොලියකට ජනතාවගෙන් ණය ගැනීම වෙනුවට ජනතාවට බදු පැනැවීම වෙත හැරෙන ආණ්ඩුව එකී තීරණය ගන්නේ තැලෙන පෑගෙන ජනතාව ගැන අවධානයට නොගෙන බව පෙනේ. බදු දැලට හසු කරගත යුතු පිරිස පසෙක සිටිය දී වක‍්‍ර බදු තවත් වැඩි කරමින් සිටී. එම අනුපාතිකය පාලනය කෙරෙන තෙක් සෘජු බදු වැඩි කිරීමද නරක තීන්දුවකි. ජාත්‍යන්තර මුලය අරමුදල මැදි ආදායම් රටක තිබිය යුතු බදු අනුපාතිකය දක්වා එතෙක් ගෙල සිර කරන සේ බල කරන තෙක් විනිමය සංචිතය අනුමත නොකරන බව පෙනෙන්නට තිබේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මහජන නියෝජිතයන් ආණ්ඩුවේ ආදායම් මාර්ග වැඩිකරන අලුත් නිෂ්පාදන ක‍්‍රියාවලියක් කෙරෙහි යෝජනා ඉදිරිපත් කළ යුතුය.

• රට කරවන්න නම් මොනවා හෝ විකිණිය යුතුය

ආදායම සොයා ගැනීම ආණ්ඩුවේ ප‍්‍රයත්නය විය යුතුව තිබේ. අයවැය පරතරය පියවාගැනීම අවශ්‍යය. මහජනතාවට පනවන බදු වෙනුවට වෙනත් පැති ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? ඉන්දියාව කොවිඩ් වසංගතයෙන් බැට කෑ රටකි. මෙම අවුරුද්දේ සංවර්ධන වේගය සියයට දශම පහ දක්වා පහත වැටෙනු ඇති බවට අනාවැකි පළවිය. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් මහත්මිය 2022 අය වැය ඉදිරිපත් කරමින් ව්‍යුහාත්මක සංශෝධන ගණනාවක් යෝජනා කළාය. කිසිසේත් රාජ්‍ය දේපළ විකූණා ජීවත්වීමක් නොවන බව අවධාරණය කළ අතර ආර්ථික ප‍්‍රතිසංස්කරණ වශයෙන් ජාතික ගුවන් සේවාව, ගුවන් තොටුපොළ, ජාතික රක්ෂණ ව්‍යාපාර, විදුලිය බෙදාහැරීම, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග ඇතුළු විශාල පරිමාවක රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය තීන්දුව ගත් බව මතක් කළ යුතුය. මේවායෙන් බිලියන ගණනක් උපයා ගත් ඉන්දීය ආණ්ඩුව ඒවා අලුත් ව්‍යාපෘතිවලට යෙදවූ අතර අද එහි ප‍්‍රතිඵල ඇත. දශම ගණනක් ඇස්තමේන්තු කළ සංවර්ධනය සියයට හයට නැග තිබේ. ශ‍්‍රී ලංකාව ලබන වසරේදී ද ඍණ 4.2ක තැනකට ගමන් කරණු ඇති බවට පුරෝකථනය වී තිබේ.

ප‍්‍රතිසංස්කරණ වලින් රාජ්‍ය ආදායම ලැබීම පමණක් නොව ඒවා නාස්ති කරමින් කිබුණ ධනය ද රුකගත හැකිවේ. විදුලිය, ඛනිජ තෙල්, ගුවන් යනාදී අංශවලින් ලබන අලාභය අති විශාලය. අනෙක මෙකී අංශ තරගකාරී අලුත් අංශ වලට ඇතුළු කළහොත් නව ව්‍යවසාය බිහිවේ. අලුතින් ධනය ආයෝජනය කරන අතර තාක්ෂණය යෙදවෙනු ඇත. එය මෙම අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් වැදගත්ය. 1969 ඉදිවූ පැරණි තෙල් පිරිපහදුව අදට කිසිම ගැලපීමක් නැත. එහි තාක්ෂණය යල් පැනගිය එකකි.දවසකට බැරල් තිස් අට දහසක් පිරිපහදුව සඳහා තනන ලද එහි අද දවසකට බැරල් දස දහසක් පවිත‍්‍ර කළ නොහැක. යන්ත‍්‍ර අබලන්ය. මේවා ජාතික සම්පත් සේ ආරක්ෂා කරන වෘත්තීය සමිති රටට උගන්වන පාඩම කුමක්ද? ලෝකයේ අනෙක් රටවල මෙරට ධාවනය වන දුම්රිය එන්ජින්, තෙල් පිරිපහදු යන්ත‍්‍ර, විදුලි ජනක යනාදිය විශේෂ කෞතුකාගාර තනවා ආරක්ෂා කරන බව පෙන්වා දිය හැකිය.

රටට අලුත් ගමනක් සඳහා අලුත් දේශපාලන ක‍්‍රමයක්, සිස්ටම් චේන්ජ් හා සමානව ආර්ථිකයට ද අලුත් ක‍්‍රමයක් අවශ්‍යය. ජනතාව සූරාකන බදු ක‍්‍රම සුදුසු නැත. ආර්ථික උත්පාදනය කරන ව්‍යුහ තෝරා සැලැස්මකට අනුව තීරණ ගත යුතු අතර ඒවායේ ප‍්‍රතිඵල අපගේ දරුවන්ට ලැබෙන බව විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණකි.

I සාරා කන්දෙගොඩ