අවුරුදු 72ක් වූ ජීවිතයෙන් හරි අඩකටත් වඩා කාලයක් ගෙවා දමමින් ඔහු සේවය කොට තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. නාවික විදුලි ඉංජිනේරුවකු වශයෙන් සේවය කළ ඔහු විශ්‍රාම ලබා 2019 වසරේදී මෙරට පැමිණෙන විට එරට පුරවැසිභාවය ලබා සිටියේය. එදා පටන් කුරුණෑගල, මැල්සිරිපුර, රේස්වත්ත ප්‍රදේශයේ සිය මහගෙදර කල්ගෙවූ චිත්‍රානන්ද ජයරත්නගේ ඝාතනය තවමත් අභිරහසකි.
තනිකඩ ජීවිතයක් ගත කළ චිත්‍රානන්ද සිය ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඔහුගේ නිවෙස ආසන්නයේ කිසිදු ඥාතියකු නොසිටි අතර ඔවුන් සිටියේ දුර බැහැර ප්‍රදේශවලය. තනිවම නිවෙසේ සිටි මොහු අත්උදව්වට මිලින්ද නැමැත්තා ගෙන්වාගෙන තිබුණේ වැල්ලව ප්‍රදේශයෙනි.
චිත්‍රානන්දගේ ලොකු අම්මාගේ පුතා පදිංචිව සිටියේ මාලබේ ප්‍රදේශයේය. දුරකතන ඔස්සේ නිරතුරුවම සබඳතා පැවැත්වූ නමුත් ඔක්තෝබර් පළමුවැනිදා පටන් චිත්‍රානන්ද පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය. මේ නිසාම මැල්සිරිපුර රේස්වත්ත නිවෙසට ගොස් සිදු කළ සොයා බැලීමේදී චිත්‍රානන්ද නිවෙසේ සිටියේ නැත. ඔහුගේ අත්උදව්වට සිටි මෙහෙකරු කියා තිබුණේ ගිය පළමුවැනිදා සංචාරයකට අනුරාධපුරයේ යන බව කියා නිවෙසින් පිටවූ බවකි. ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් නොවූ ඥාතිවරයා මැල්සිරිපුර පොලීසිය වෙත ගොස් සිය ඥාති සොහොයුරා අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් සිදු කර තිබුණි. එම අවස්ථාවට නිවෙසේ මෙහෙකරු ද කැටුව යාමට ඔහු ක්‍රියා කළේය. එම පැමිණිල්ල සිදු කර තිබුණේ චිත්‍රානන්ද අතුරුදන් වී දින 13ක් ගතවූ පසුවය.
පැමිණිල්ල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට විමර්ශන ආරම්භ කිරීමේදී අදාළ පුද්ගලයාගේ නිවෙස සෝදිසි කිරීමට පොලීසිය ක්‍රියා කර තිබුණි. ඒ අනුව පසුගිය 23 වැනිදා පොලීසිය රේස්වත්ත පිහිටි නිවෙසට ගොස් තිබුණේ සේවකයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය. එහිදී සේවකයා නිවෙසේ පෙනෙන්නට සිට නැත. වැඩිදුර සොයා බැලීමේදී එම සේවකයා නිවෙසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් සිටින ආකාරය දැකගත හැකි විය. මේ සිදුවීම සේවකයා හා ස්වාමියා අතර වූ ගැටුමක් නිසා ස්වාමියා ඝාතනය කොට පසුව සේවකයා සියදිවි නසාගත්තාද? නැතිනම් බාහිර සබඳතාවක් මත ඝාතනය සිදු කර පොලීසිය නොමග යැවීමට හා තොරතුරු වසන් කිරීමේ උපායක්ද? යන්න පොලීසිය සැක කළේය. මේ අතර සිදුවීම පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුම්වත් කොට කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මැල්සිරිපුර පොලීසිය එක්ව විමර්ශන කඩිනම් කරමින් පොලිස් නිල සුනඛයකුගේ සහාය ද ලබාගෙන තිබුණි. සුනඛයාගේ ඉව අනුව කළ සොයා බැලීමේදී නාවික ඉංජිනේරුවරයාගේ මළසිරුර ගෙවත්තේ කෙසෙල් කොට දමා තිබූ වළක දමා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත් විය.
අනතුරුව සිදු කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හා පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ නාවික සිවිල් ඉංජිනේරුවරයා ඝාතනය කොට වළදමා ඇති බවකි. ඒ අනුව හිසට හා මුහුණට පහර දී ගෙල කපා ඝාතනය කර ඇති බව තහවුරු කර ගැනිණ. එම ඝාතනය නිදා සිටි අවස්ථාවක සිදු කර තිබෙන බවට සැකයක් පවතී. මළසිරුර ඉටි කවරයක ඔතා ඔක්තෝබර් 1 වැනිදා හෝ ආසන්න දිනක වළ දමන්නට ඇති බවටද සැක කෙරේ. නිවෙසේ සිටි මෙහෙකාර පුද්ගලයා ද සියදිවි නසාගෙන තිබූ නිසා විමර්ශන පැවතියේ අසීරු මට්ටමකය. මෙහිදී ඝාතනයට ලක්වූ නාවික ඉංජිනේරුවරයාගේ දුරකථන හා බැංකු ගිණුම් ආශ්‍රිත විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය කටයුතු කළේය.
මේ අතර ඝාතනය වූ අයගේ ඥාති සහෝදරයා පොලීසියට දන්වා තිබුණේ සිය මියගිය ඥාතියාගේ බැංකු ගිණුම්වලින් යම් අයකු මුදල් ලබාගෙන ඇති බවකි. අදාළ විමර්ශනයේදී ඔහුට අයත් දුරකථන දත්ත අනුව ඒ බව සනාථ වී තිබිණ. එහිදී හඳුනාගෙන තිබුණේ ඝාතනය වූ අයගේ ATM කාඩ්පත්වල රහස් අංක වෙනත් පාර්ශ්වයක් විසින් දැනගෙන තිබෙන බවය. ඒ අනුව රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික වාණිජ බැංකුවක ඔහුට අයත් ගිණුම් දෙකක් ඇති බවද තහවුරු කර ගැනිණ. ඒවායෙන් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන තිබුණේ ATM යන්ත්‍ර මගිනි. මේ අතර අධිකරණ නියෝගයක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයේදී මොහුට "බෑන්ක් ඔෆ් අමෙරිකා" හි ගිණුමක් ඇති බවත් එහි ඩොලර්වලින් මුදල් තැන්පත් කර තිබෙන බවත් හඳුනාගෙන තිබිණ. යම් අයකු විසින් මෙම ගිණුම් හරහා ඩොලර් 1280ක් ලබාගෙන ඇති බව තහවුරු වී ඇති අතර විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙරට බැංකු දෙකක ගිණුම් දෙකක් අගෝස්තු 17 වැනිදා හා සැප්තැම්බර් 30 වැනිදා හිමිකරු විසින්ම අවසන් කර ඇති බවය.
නාවික ඉංජිනේරුවරයාගේ නිවෙසේදී දිවි නසාගෙන සිටි මෙහෙකරුගේ සිරුර ඉකුත් 23දා හමුවිය. ඔහු ඊට දින දෙකකට පෙර දිවි නසාගන්නට ඇති බවට විශ්වාස කෙරේ. ප්‍රදේශවාසීන්ගේ තොරතුරු අනුව එම පුද්ගලයා මත්කුඩුවලට ඇබ්බැහි වූවකු බවට හඳුනා ගැනිණ. එමෙන්ම සොරකම්වලට හා මංකොල්ලකෑම්වලටද සම්බන්ධ වූවෙකි. එම චෝදනාවලට අදාළව අධිකරණය මගහැර සිටි නිසා වරෙන්තුවක් නිකුත් කොට ඇති බවද හෙළිව තිබිණ. ඔහු හා තවත් තරුණ පිරිසක් එක්ව ඝාතනයට ලක්වූ නාවික ඉංජිනේරුවරයා සමඟ මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි බව කියැවේ.
තවදුරටත් වාර්තා වන පරිදි අවිවාහක ඉංජිනේරුවරයා සල්ලාල ජීවිතයක් ගත කළ අයකු බවට තොරතුරු ලැබී තිබේ. කලින් කලට ලංකාවට පැමිණ ගිය මොහු එක් කාන්තාවක සමඟ සමීප ඇසුරක් පවත්වා තිබූ අතර මොහුට දාව ඇයට දරුවෙක් ද සිටින බව කියයි. ඇය දැරියක වන අතර දැනට 20 වැනි වියේ පසුවන බව වාර්තා වේ. ඇය ගලගෙදර ප්‍රදේශයේ ජීවත් වන අතර ඇගේ මව චිත්‍රානන්ද හමුවට පැමිණ ඉකුත් මාසයේ දියණිය රට යැවීම සඳහා උපකාර කරන ලෙස ඉල්ලා ඇති බවත් එහිදී දැරිය පිළිබඳ අනිසි කතාවක් වී චිත්‍රානන්දට සාප කරමින් කාන්තාව පිටව ගොස් ඇතැයි ද වාර්තා වේ.
නාවික ඉංජිනේරුවරයා පදිංචි නිවෙසට නිතර තරුණ පිරිසක් පැමිණ ගොස් තිබිණ. ඔවුන් මත්කුඩු භාවිතයට හුරු වූ පිරිසකි. ඔවුන් නිවෙසේ මෙහෙකරු විසින් ගෙන්වාගෙන ඇති බවද කියැවේ. මත්කුඩු සඳහා නාවික ඉංජිනේරුවරයා මුදල් වියදම් කොට ඇති බවද පැවසේ. විටින් විට පිටස්තර කාන්තාවන් මෙම නිවෙසට ගෙන්වාගෙන තිබූ බවද විමර්ශනවලදී අනාවරණය විය. එම කාන්තාවන් මුදල් ගෙවා ගෙන්වාගෙන තිබෙන බවද තහවුරු වේ.
වරෙක මෙම ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයා මත්කුඩු චෝදනාවක් මත ගොකරුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙළිව තිබේ. විමර්ශන අතරතුර ඝාතනය පිළිබඳ සැකපිට නිවෙසේ මෙහෙකරුගේ හිතවතුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. තවත් එවැනි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ චිත්‍රානන්ද මහතාගේ දියණියක බව කියන තරුණ දැරිය හා ඇගේ මව එම ස්ථානයට පැමිණ මළසිරුර ඉල්ලා ඇතත් එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණ. අනතුරුව චිත්‍රානන්දගේ ඥාති සහෝදරයකු වෙත මළසිරුර බාර කර ඇත. බැංකු ශාඛා දෙකක සී.සී.ටී.වී දර්ශන අනුව හෙළිව ඇත්තේ නිවෙසේ මෙහෙකරු විසින් ඉබ්බාගමුව නගරයේ බැංකු දෙකකින් මුදල් රැගෙන යන ආකාරය දකින්නට ඇති බවය. මේ අනුව දැනට ඉංජිනේරුවරයා ඝාතනයේ සැකය නිවෙසේ මෙහෙකරු දෙසට එල්ල වී තිබේ.
වයඹ පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ත යන මහත්වරුගේ අධීක්ෂණය මත කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීම මත කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායම් දෙක විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.
I සමන්ත ප්‍රදීප් විල්තෙර