2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

බඩු මිල අඩුයිලු: ඒ වුණාට ගන්න ගියාම වැඩියි!

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 87

රටේ ජනතාව මේ ගෙවන්නේ ජීවිතේ අමාරු කාල පරිච්ඡේදයකි. භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යාමත් සමඟ ජනතාවගේ ආර්ථිකය බිඳ වැටෙමින් පවතී. ගිනි පෙට්ටියේ සිට සෑම භාණ්ඩයකම මිල දෙගුණයකින් ඉහළ යාමත් සමඟ ජනතාවගේ ජීවිතය එක තැනක නතර වූවා වැනිය.

මෙවන් කාලයක යම් යම් භාණ්ඩ හා සේවාවල මිලෙහි යම් අඩුවක් පෙන්නුම් කළද තවමත් ඒ වාසිය සාමාන්‍ය ජනතාවට ලැබුණේ නැත. පාන් පිටිවල මිලෙහි අසාමාන්‍ය ලෙස ඉහළ යද්දී එක රැයකින් පාන් ඇතුළු සියලුම පිටි සහිත ආහාරවල මිල ඉහළ ගියද පසුගියදා දිනෙක පාන්පිටි වල මිලෙහි යම් අඩුවක් සිදුවිය. එහෙත් තවමත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලෙහි අඩුවක් සිදුවූයේ නැත.

එළවළු හා පළතුරුවල තත්ත්වයද එසේමය. මේ දිනවල එළවළු හා පළතුරුවල තොග මිලෙහි යම් අඩුවක් වුවද සිල්ලර මිලෙහි අඩුවක් නැත. ඒ අනුව තොග වෙළෙඳාමේ සිදුවන ලාභය සිල්ලර වෙළෙඳාමේ සිදු නොවීමෙන් ජනතාවට සිදුව ඇත්තේ පෙර ඉහළ මිලටම භාණ්ඩ මිලදී ගැනීමටය.

• හිතේ ආසාවට මාළු කෑල්ලක් කන්න නෑ

''බඩුවල මිල ගැන නම් කතා කරල වැඩක් නැහැ. හැමදේටම පාඩු වෙන්නේ මේ සාමාන්‍ය මිනිසුන්ටම තමයි. පාන් ගෙඩියක් තාමත් රුපියල් එකසිය අනූවයි. ඒකත් දැන් බරෙන් අඩුයිලු. පාන් ගෙඩියක් සල්ලි දීලා අරගෙන අපි ඒක කිර කිරා ඉන්න ඕනෙද? තොග මුදලාලිලා, හොර මුදලාලිලා එකතු වෙලා පොඩි මිනිසුන්ගේ සල්ලිවලට තමයි මේ තට්ටු කරන්නේ. ඇත්තටම මේක හොරකමක් වගේ වැඩක්. මාළු කෑල්ලක් කන්න විදිහක් නැහැ. ටී.වී. එකෙන්, පත්තරවලින් පහුගිය දවස්වල මාළුවල මිල අඩුවුණා කියලා කිව්වා. හැබැයි ගෙවල් ළඟ මාළු කඩේ එහෙම අඩුවක් නැහැ. සුපිරි වෙළෙඳ සැල්වල පවා සාලයෝ ග්‍රෑම් සියයක් රුපියල් පනහක් විතර වෙනවා. ලින්නෝ ග්‍රෑම් සියයක් රුපියල් එකසිය විස්සයි. බිත්තරවල පාලන මිලක් තියෙනව කිව්වට ඔය සාමාන්‍ය කඩවල එහෙම පාලන මිලක් නැහැ. පහුගිය කාලවලදී නම් බොහෝ කඩවල බිත්තර විකිණුවේ නැහැ. හැබැයි දැන් නම් වැඩි ගාණටත් බිත්තර බොහෝ කඩවල්වල තියෙනවා. ඇත්තටම මෙහෙම තව ටික කාලයක් ගියොත් තුන්වේල කනව කෙසේ වෙතත් අපිට එක වේලක් කාලා අනිත් වේල් දෙක වතුර බීල බඩ පුරෝගන්න තමයි සිද්ධ වෙන්නේ. ඉස්සර නම් බඩගින්නට ප්ලේන්ටියක් බිව්වා. දැන් ඒකත් ගිනි ගණන්. සීනිවල මිල පහළ දැම්මට ප්ලේන්ටිවලට දාන සීනිවල නම් මිල පහළ දැමුණේ නැහැ.'' යැයි වැල්ලම්පිටිය පියල් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඉන්ධනවල මිල පහළ ගියද තවමත් බස් රථ මෙන්ම ත්‍රිරෝද රථවල ධාවන මිලෙහි අඩුවක් සිදුවූයේ නැත. සෑම දිනකම බොහෝ ප්‍රදේශවලින් උදේ සිට කොළඹ මහ රෝහලට ප්‍රතිකාර ලබාගැනීම මෙන්ම නේවාසික රෝගීන් බලන්නට එන පිරිස බොහෝය. රෝගීන් සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධවල හිඟය හේතුවෙන් බොහෝ රෝගීහු විවිධ අපහසුතාවලට මුහුණ දෙති. ගමන් ගාස්තු පමණක් අතැතිව කොළඹ නගරයට පිවිසෙන මෙම රෝගීන්ගෙන් ඇතැමුන්ට වෛද්‍යවරුන් ලබාදෙනු ලබන ඖෂධ රිසිට්පත තම ගමන් බෑගයේ දමා හිස් අතින් නිවෙස්වලට යාමට සිදුවූ අවස්ථා වරක් දෙවරක් නොවේ. මේ අතරින් ඇතැමුන් කෑමට වෙන්කළ මුදලින් ඖෂධ මිලදී ගෙන කුසගින්නේ නිවෙස් බලා යති. සැබැවින්ම මේ ගෙවන්නේ ජනතාවගේ ඉතා අවාසනාවන්ත කාල වකවානුවකි.

• දැන් අපි එක වේලක් කන්නේ අමාරුවෙන්

''මම කොළඹ ඉසිරිපිතාලෙට බෙහෙත් ගන්න ආවේ. උදේ පාන්දර ගෙදරින් ආපු ගමන දැන් තමයි බෙහෙත් අරගෙන ඉවර වුණේ. බෙහෙත් වර්ග දෙකක් පිටින් ගන්න ඕනේ. දැන්නම් ජීවත් වෙනවා කියන්නේ හරිම අමාරු දෙයක්. දැන් අපේ කාලේ ඉවරයි. මට දුක මේ දරුවන් ගැනයි. ඉස්සර අපේ ගෙවල්වල තුන්වේලට කෑම කෑවා. දැන් වේලක් කන්නේ බොහෝම අමාරුවෙන්. දැන් ඔය බඩුවල මිල අඩුකරලා දෙන්න පුළුවන්කම තිබෙද්දීත් වෙළෙන්දෝ ඒ අයට හිතෙන හිතෙන විදිහට තමයි මිල තීරණය කරන්නේ. එම දෙයකට දැන් ස්ථීර මිලක් නැහැනේ. දැන් භාණ්ඩවල මිල තීරණය කරන්නේ වෙළෙන්දෝයි. කොච්චර කතා කළත් වැඩක් නැති තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ.'' යැයි හඳුගොඩ සීලවතී මහත්මිය දේශයට පැවසීය.
මේ අතර ලංකා සතොස මගින් සහන මිලට ආහාර ද්‍රව්‍යයන් මිලදී ගත හැකි යැයි පැවසුවද සතොසින් හිතේ සතුටින් මිලදී ගැනීමට එම භාණ්ඩ නැත. සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් කිහිපයක්ම සතොස මගින් සහනදායී මිලකට ලබාදෙන බවට රජය පැවසුවද බොහෝ සතොස මධ්‍යස්ථානවල එම රාක්ක ඇත්තේ හිස්වය.

• අපේ ආර්ථිකේ බිංදුවට වැටිලා

''සතොසින් බඩු අඩුවට දෙනව කිව්වට, ගිහින් ගන්න බලද්දී තමයි සතොස බඩු නැහැ කියලා තේරෙන්නේ. හැමදාම ඒ වැඩකරන අය කියන්නේ ''දැන් ඉවර වුණා'' කියලා. හැබැයි ඔය සමහර සතොසවල්වලින් සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. හැමදාමත් පොදු ජනතාව රුවැට්ටුවා වගේ මේකත් එක්තරා විදිහකින් රුවැට්ටීමක්. මිනිසුන්ගේ ආර්ථිකය බිංදුවටම වැටිලා. හැම සාමාන්‍ය මනුස්සයෙක්ම දහඅතේ ණයවෙලා. මාසයේ පඩිය අතට ගත්තහම ණය ගෙවලා ඉවර වෙද්දී අතේ ඉතිරිවන මුදලක් නැහැ. සමහරු ගෙවල් දොරවල්, ඉඩම් ගත්තු ණයවලට පඩිය කැපෙනවා. ඇත්තටම මේ විදියට ගියොත් මැරෙන හැම මනුස්සයාම ණය කාරයෙක් වෙලා තමයි මැරෙන්නට සිදුවෙන්නේ. බඩුවල මිල අඩුවෙනවා කියලා කොච්චර කිව්වත් දැන්නම් එහෙම අඩුවක් සිදුවෙන්නේ නැහැ.'' යැයි ඉංගිරියේ මල්කාන්ති මහත්මිය දේශයට පැවසීය.

• ළමයෙකුට බත් එකක්, බනිස් එකක් අරන් දෙන එක ප්‍රශ්නයක්

''මම ඉන්නේ නුගේගොඩ. සතියේ හැම දවසකම මම කොළඹට පාසල් ප්‍රවාහන සේවයක් කරනවා. මේ රජයේ ආයතනයක කියන ආපනශාලාවල ප්ලේන්ටියක් රුපියල් පනහයි. පසුගිය කාලේදී සීනි මිල අඩුකළා කියලා රුපියල් තිහක් කරලා මිලත් අඩුකළා. හැබැයි දැන් දවස් කීපයකට පෙර අලුතින් ටෙන්ඩර් කරපු අය එකපාරටම ප්ලේන්ටිය රුපියල් පනහක් කළා. මේ දවස්වල කොළඹ බලන්න දුර පළාත්වල දරුවන් අධ්‍යාපන චාරිකා එනවා. ඒ බොහෝ දරුවන්ට අද ආසාවට මේ අවට කඩේකින් අයිස්ක්‍රීම් එකක්, බත් එකක්, බනිස් ගෙඩියක් තියා ටොෆියක් කන්නටත් බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ දවස්වල කොළඹ තොග එළවළුවල මිල අඩුවෙලා කියල කියනවා. හැබැයි මේ කිසිම කඩේක බත් එකක මිලත් රුපියලක් අඩුවෙලා නැහැ. පහුගිය කාලයට සාපේක්ෂව ගෑස්වල මිල අඩුවුණා. හැබැයි එක හොද්දක මිලක් අඩුවෙලා නැහැ. පිටිවල මිල අඩුවුණා කියලා කියනවා. ඒත්... මේ කිසිම කඩයක ඉඳිආප්පයක මිල සත පනහකින් අඩුවෙලා නැහැ. මේ හැමදේම වැඩිවෙද්දී අපේ මානසික තත්ත්වය නම් අඩුවෙලා තියෙනවා. මිනිසුන්ගේ ආයුකාලය දැන් අඩුවේගෙනයි යන්නේ.'' යැයි නුගේගෙඩ උපාලි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

■ දිශානි ජයමාලි කරුණාරත්න
■ සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04