වනෝද්‍යානවලට ඇතුළු වී පිස්සු කෙළින පිරිස් ගැන කලින් කල අපට අසන්නට ලැබේ. ඒ අතරින් වැඩි පිරිසක් බලයෙන් හිස උදුම්මාගත් දේශපාලනඥයන්ගේ පුතුන් සහ ගජමිතුරෝ වෙති. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට 2021 දී ඇතුළු වූ එවැනි පිරිසක් ගැන වාර්තා විය. එහිදී වාහන අත්අඩංගුවට ගෙන සැකකරුවන්ට නඩු පැවරීමට වනජිවී නිලධාරිහු කටයුතු කළහ. යාල ජාතික වනෝද්‍යානයට ජීප් රථ 35කින් පසුගිය 23දා ඇතුළු වී වනජීවී නීති බල්ලට දමා කටයුතු කළ ඇමැතිවරයකුගේ පුතකු සහ ඔහුගේ මිතුරන් බව කියන 80ක පමණ පිරිසකට වනජීවීයෙන් දෙන බව කියන්නේ පාසල් ශිෂ්‍යයන් හිතුවක්කාරකමක් කළ විට දෙන ආකාරයේ දඬුවමකි.
ඒ අපූරු දඬුවම නම් වනසතුන්ට හිංසා වන පරිදි පරිසරය වනසමින් වාහනවල පහන් දල්වමින් ඒවායෙන් පිටතට බැස රූපගත කරමින් වාහනවලින් වැඩ පෙන්වීමට ගිය පිරිසට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමයි. ඒ බව පසුගිය 25දා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසීය. මෙම තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ නියෝගය පරිදිය. මින් ඉදිරියට ජාතික වනෝද්‍යානවල වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධව ද මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව පැවසේ. ඒත් මෙම අකටයුත්ත කර ඇත්තේ අජීවී වාහන නොව ඒවා පැදවූ හිමිකරුවන් බව කාටත් වැටහේ. වාහන අසාදුලේඛනගත කළහොත් ඒවා විකුණූ පසුව එම අයිතිකරුවන්ටද දඬුවම මාරු වේ.
යාල වනෝද්‍යානයට පසුගිය 23දා කණ්ඩායම් දෙකක් වශයෙන් 80ක පමණ පිරිසක් ජීප් රථවලින් කලාප අංක 1ට සහ කලාප අංක 2ට පිටත්ව ගොස් තිබේ. ඔවුන්ට මඟපෙන්වීමට ගොස් ඇත්තේ වනජීවී නිලධාරින් නොව ස්වේච්ඡා මඟපෙන්වන්නන්ය. ඔවුන් අවට ගම්වලින් තෝරාගෙන පුහුණුවක් දුන් පිරිසක් මිස වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයෝ නොවෙති. කලාප අංක 1ට ගිය පිරිස මගපෙන්වන්නන්ගේ උපදෙස් නොපිළිගෙන ශබ්ද නංවමින් වාහන ඒ මේ අත පදවමින් විදුලි පහන් දල්වමින් එම ක්‍රියා රූපගත කර තිබේ. උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25ක වේග සීමාවක් පනවා ඇත. නමුත් මේ ජීප් රථ එම වේග සීමාව ඉක්මවා ඇති බව වීඩියෝවෙන් පැහැදිලි වේ. වනජීවී නිලධාරීන් පවසන්නේ සංචාරකයන් රැගත් වාහන ඇතැම් අවස්ථාවලදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මීට පෙරත් වන සතුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවුණු බවයි. වැල්ලවාය මෝටර් රථ සංගමයේ සහ නිකවැරටිය කුකුළු ගොවිපොළ හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් මෙම රථවලින් පැමිණි බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම රථ සියල්ල කෝටි ගණනින් වටිනාකම් සහිත වාහන වේ. ඒවා පදවන හිමිකරුවන් ද අධි සුපිරි ජීවිතගතකරන පිරිසක් බව පැහැදිලි වේ. මේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමෙන් පසුව වනජීවී දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එයට පෙර එම සිද්ධිය ගැන වනජීවියට දැනුම්දීමක් සිදුකර නොමැති බව ද පැවසේ.
රටම කතා කරන යාල සිද්ධිය ගැන දැන් ලෝකෙම අවධානය යොමුවී තිබේ. ඉදිරි නොවැම්බර් - මාර්තු කාලය සංචාරක සමයයි. රටට හතේ හත වැදී ඇති කාලයේ සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමට සංචාරක මණ්ඩලය සැලසුම් සකස් කර තිබේ. නමුත් මෙවැනි විනයකින් තොර සහ නීතිවිරෝධී හැසිරීම් සිදුවන වනෝද්‍යානවලට පැමිණීමට සංචාරකයෝ කැමති නොවෙති.
මේ අතර තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා පසුගිය 25දා වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළේ වන සතුන්ට හිංසාවන පරිදි නීති විරෝධීව හැසිරුණ බව පැවසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ පට අන්තර්ජාලයේ සැරිසරන අතර ඒවා ඕනෑම කෙනකුට නැරඹිය හැකිය. වනෝද්‍යානයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු අදාළ වාහන අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා විමර්ශනය කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා වනජීවී දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ මෙම සංචාරක පිරිස සංචාරක මගපෙන්වන්නන්ගේ අවවාද නොතකා වනෝද්‍යානය තුළ වේග සීමා ඉක්මවින් වාහන ධාවනය කර ඇති බවයි. එමගින් සතුන්ට හිංසාවක් වන අයුරින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙම විශාල පිරිස පාලනය කර ගැනීමට හත්දෙනකු පමණ වූ මඟපෙන්වන්නන්ට නොහැකි වී තිබේ. සැබවින්ම එතරම් සුළු පිරිසකට ජීප් රථ 35කින් පැමිණි පිරිසක් පාලනය කිරීමට සිතීමත් විහිළුවකි. මගපෙන්වන හත්දෙනා නියමිත වේලාවටත් කලින්, එදින පස්වරු 5.30ට පමණ තම රාජකාරියෙන් ඉවත්වීමට කටයුතු කර ඇති බවට යාල උද්‍යාන භාරකරු සදහන් කළ බවද වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේය. පරිසරවේදී නයනක රංවැල්ල සඳහන් කළේ එසේ වනජීවී නීති මායිම් නොකරමින් කටයුතු කළේ නම් පලටුපාන පිවිසුමෙන් වාහන පිටවන විට එම පුද්ගලයන් සහ වාහනවල කටයුතු ගැන වනජීවී නිලධාරින් දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පැවති බවයි. වැඩිදුරටත් ඒ ගැන පැවසූ නයනක මෙසේ ද කීවේය:
"මඟපෙන්වන්නන්ගේ සේවය නවත්වා තිබෙනවා. ඒක ඉතින් පහත් තැනින් යයි ගලා ජලේ වගේ වැඩක්. සුළු සේවකයන්ට වැරුද්ද පාස් කළත් මෙහි වගකීම යාල උද්‍යාන පාලක සහ නියෝජ්‍ය උද්‍යාන පාලක ඇතුළු දකුණු පළාත භාර වනජීවී අධ්‍යක්ෂටත් තිබෙනවා.
මේ ගැන අප වනජීවී නීති අංශයෙන් විමසූ විට පැවසුවේ ඒක ඔවුන්ට අදාළ කාරණයක් නොවන බවයි. එහෙනම් කාට අදාළ කාරණයක් ද කියලා අහන්න වෙනවා. මෙවැනි වැරුද්දක් කළ විට වසර හතක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩයක් හෝ ඒ දෙකම නියම කළ හැකියි. මේක යටගැසීමේ සූක්ෂ්ම සැලැස්මක් තිබෙන බවත් අපට ආරංචියි. ජීප් රථ කිහිපයක් වනජීවී භාරයට ගෙන තිබෙනවා. එම රථ සමඟ ඉදිරිපත් වූයේ ඒවායේ එදා ගොස් සිටි හිමිකරුවන් ද නැත්නම් රියැදුරන් ද යන්න විමසා බැලීම අවශ්‍යයි."
වනජීවී මඟපෙන්වන්නන්ගේ සේවය අත්හිටුවීමෙන් පසු එම සේවකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වන චන්ද්‍රා හේරත් සංචාරකයන් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් සිදුවන විට නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබෙන බව පවසන්නීය. මෙම සිද්ධියේ දී මඟපෙන්වන්නන් එවැනි දැනුම් දීමක් කර නැතැයි ද ඇය පැවසුවාය.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම සංචාරක පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. අදාළ පිරිස සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට මීට පෙර උපදෙස් දී තිබිණි.
ජීප් රථවල පැමිණි පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපින හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අමාත්‍යාංශය පවසා සිටී.
ඒ අනුව අදාළ පුද්ගලයන් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය. සමාජයේ කතාබහක් පවතින්නේ මෙම පිරිස ප්‍රභූ නාමය දඩමීමා කරගෙන විශේෂ අනුග්‍රහයක් ලත් පිරිසක් බවයි. නමුත් ඔවුන් එවැනි පිරිසක් නොව සාමාන්‍ය සංචාරකයන් පිරිසක් බවයි වනජීවී දෙපාර්තමේන්තුව නම් කියන්නේ.
යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න 26දා සඳහන් කළේ ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බවය. එදින පැදවූ බව කියන ජීප් රථ හතක් මේ වන විට වනජීවී බාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
ඔවුන් 26 දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳව අප ඒකාබද්ධ වනජීවී නියාමක සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලකගෙන් විමසුවෙමු: "මෙතනදී මගපෙන්වන්නන්ට පිරිස පාලනය කර ගැනීමේ ගැටලුවක් ඇති වී තිබෙනවා. වනජීවී උද්‍යානවල හැසිරිය යුතු ආකාරය ගැන නීති මාලාවක් තිබෙනවා. සෆාරි ජීප් රථ රියදුරන් වගේම මගපෙන්වන්නන් ද ඒ ගැන දැනුවත්. උද්‍යානයේ දී වාහනයෙන් පිටතට බහින්න ඉඩ තිබෙන්නේ අවසර දී ඇති ස්ථානවලදී පමණයි. මෙතන බලපුළුවන්කාරකම යොදා රාජකාරියට බාධා කිරීමක් සිදුව තිබෙන බව පේනවා. අපි මේ සිද්ධිය ගැන අධ්‍යක්ෂ ජනරාල්තුමාත් දැනුවත් කර තිබෙනවා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට. නැත්නම් අනාගතයේදී මේ වගේ දේවල්වලට වඩා නරක සිද්ධි ඇතිවන්න ඉඩ තිබෙනවා. අපි හැමෝටම අවශ්‍ය වනෝද්‍යාන ආරක්ෂා කර ගැනීමටනේ. එවිටයි අනාගත පරපුරට මේවා ඉතිරි වන්නේ."
යාල යනු ලංකාවේ දෙවැනි විශාලතම වනෝද්‍යානයයි. එය වැඩිම සංචාරකයන් පිරිසක් නරඹන විදෙස් රටවල පවා ප්‍රකට වනාන්තරයකි. කොටියා මෙන්ම අලියා ද යාල සුලබය. පාරිසරික සුන්දරත්වය ද ඉහළය. මේ නිසා සංචාරකයන් වැඩිදෙනෙක් යාලට ප්‍රිය කරති. සංචාරකයන් වෙනුවෙන් සෆාරි ජීප් රඨ සහ ට්‍රක් රථ 800ක් පමණ යාල අවට සේවයේ නිරතව පවතී. මෙතරම් රථ සංඛ්‍යාවක් තිබුණ ද ඔවුන් අතින් විශාල විනය කඩකිරීම් වාර්තා නොවේ. පසුගිය 2015 දී වේගයෙන් ධාවනය වුණු ජීප් රථයක හැපී මියගිය කොටියකු ගැන වාර්තා විය.
I කුසුම්සිරි විජයවර්ධන