2022 නොවැම්බර් 06 වන ඉරිදා

තැඹිලි, වඩේ කඩේටත් බද්දක් වදියිද?

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 136

මාර්ග දෙපස වෙළෙඳාමේ නිරත වන තැඹිලි, වඩේ, බඩඉරිඟු වෙළෙඳුන් සඳහා ද නව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවට සැලවීමත් සමඟ එම වෙළෙඳාමේ නිරත වන වෙළෙන්දෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

''බද්දක් නිසා අපිට ජීවත් වෙන්නත් බැරි තත්ත්වයක් දැන් තියෙන්නෙ. මම දරුවන් තුන්දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්. තැඹිලි විකුණලා තමයි පස්දෙනෙක් ජීවත් වෙන්නෙ. බාලයා පුංචි පුතා. තවම වයස අවුරුද්දයි. දරුවන් නිසා බිරිඳට රස්සාවකට යන්න විදිහක් නැහැ. පිටකොටුවට එන මිනිසුන්ට තැඹිලි ගෙඩියක් විකුණලා තමයි අපි ජීවත් වෙන්නෙ. පාර අයිනෙ තැඹිලි ගෙඩි ටිකක් තියාගෙන ඉන්න අපෙනුත් බද්දක් ගහන්න යනවා නම් ඒක මොන තරම් අසාධාරණයක්ද?

මේ දවස්වල එකදිගට වැස්ස. ඒකෙන් බේරෙන්නයි මේ ඉටි කවරයක් උඩට දාලා ආවරණය කරගෙන ඉන්නෙ. නැත්නම් මේ වැස්සට තෙමිලාම අපි ලෙඩ වෙලා මැරෙනවා. එහෙම වුණොත් මගේ දරුවන්ට කන්න දෙන්නෙ කවුද? අපි හැමෝම මැරෙන මිනිස්සු. ඒක අපි දන්නවා. හැබැයි නිස්කාරණේ මැරෙන්න බැහැනෙ. පිටකොටුව පාරේ හැමතැනම තැඹිලි විකුණනවා. මේක එහෙම ආදායමක් ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් කරන්න වෙන දෙයකුත් නැහැ. ඔය කියන විදිහට අපිටත් බදු ගහනවා නම් වෙන කරන්න දෙයක් නැහැ. ගෙදර හැමෝටම මැරෙන්න තමයි වෙන්නෙ.'' පිටකොටුවේ මහේෂ් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වැසි කාලයයි. වැසි කාලයට බොහෝ අය තැඹිලි පානය කිරීමට කැමැත්තක් නොදක්වති. එයින් අපහසුතාවට පත්වන්නේද මේ අහිංසක අසරණ වෙළෙඳුන්ය. තැඹිලි ගෙඩියක් විකුණා ගැනීමට උගුරේ ලේ රහ දැනෙන තුරු කෑගැසීමට ද මොවුන්ට සිදුවේ. නගරාසන්න ප්‍රදේශවල තැඹිලිවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. එය කලින් කලට වෙනස් වේ. එලෙසම වෙළෙන්ඳන් ද බහුලය. නමුත් ඔවුන්ට වෙළෙඳාමට සරිලන ලාභයක් ලැබෙන්නේ ද නැත.

''කාලෙන් කාලෙට බඩඉරිඟු අස්වැන්න අඩු වැඩි වෙනවා. බඩඉරිඟු කරලක් තම්බලා විකුණගෙන කන අපිටත් බද්දක් ගහන්න හදනවා නම් ඇත්තටම ඒක මොන තරම් අසාධාරණද? අපි බඩඉරිඟු තම්බන්නේ ලොකු බැරල් එකකයි. සමහර කාලවලදී අපි ලී කුඩු බැරල් එකට දාලා (කුඩු ලිපෙන්) බඩඉරිඟු තැම්බුවා. සමහර දවස්වලට දරවලින් තම්බනවා. දැන් ඒවාත් හරි ගණන්. ලී මඩුවලින් ඉස්සර ලී කුඩු නිකම් ගත්තෙ. දැන් සමහරු ඒකට සල්ලි ගන්නවා. මේ වැහි කාලේ ලිපක් පත්තු කරගෙන බඩඉරිඟු තම්බනවා කියන්නෙ පුදුම දුකක්. ඒක ඔය බදු ගහන්න හදන්න ටයි කෝට් දාගෙන ඉන්න මිනිසුන්ට තේරෙන්නෙ නැහැ. මේක හැමෝටම අමාරු කාලයක්. ඒ අමාරු කාලෙ අපි කොහොම ජීවත් වෙනවද කියලා බලන්න ඒ කවුරුත් නැහැ.'' මාලනී මහත්මිය එලෙස පැවසුවාය.

මේ වනවිට සෑම දෙයකම මිල ඉහළ යමින් පවතී. මීට පෙර මඟ දෙපස තාවකාලිකව ඉදිකර ඇති කෑම කඩවලින් බොහෝ අය ප්ලේන්ටියක්, කිරි තේ එකක් පානය ද කළ ද අද එලෙස කිරීමට ඔවුන්ට වත්කමක් නැත. එමෙන්ම කලකට ඉහතදී (උම්බලකඩ වඩේ) සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණි. මාර්ගවල අයිනට වන්නට ඉදිකළ තාවකාලික කොටසක ලිපක් දල්වා ගනිමින් තෙල් තාච්චියක බැදෙන උම්බලකඩ වඩේ, ඉස්සෝ වඩේ කමින් ප්ලේන්ටියක් බොන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කළහ. පසු කාලයේදී උම්බලකඩ කැබැල්ල ඉවත් වී එය කුඩා වඩයක් බවට පත්වූ අතර, වෙනදා තිබූ විශාල ඉස්සකු යෙදූ ඉස්සෝ වඩේ කුඩා ඉස්සකු යොදාගත් (ඉස්සෝ වඩේ) බවට පත් විය. එහෙත් ඒ සඳහා තිබූ ඉල්ලුමට ද අඩුවක් නොවීය. නමුත් ගෑස් ඇතුළු සෑම දෙයකම මිල ඉහළ යන විට වඩේ මිලද ඉහළ ගියේය. ඒ සමඟ වඩේ කෑමට ප්‍රිය කළ ද එම රසයෙන් ඈත්වීමට බොහෝ දෙනකුට සිදුවිය. මෙවන් වටපිටාවක වඩේ වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට නව බද්දක් අය කිරීමට යන බවට ලැබුණු ආරංචියත් සමඟ ඔවුහු තවත් අසරණ වූහ.

''අපිටත් ආරංචි වුණා වඩේ කඩවලටත් බද්දක් ගහන්න යනවා කියලා. බද්දක් වෙනුවෙන් සල්ලි දෙනවා තියා ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. බදු ගහන්න ඉන්න අය ඕන තරම්. මේ රටේ ඉන්න අපිම තමයි මේ නිලධාරීන්ව තෝරාගන්නෙ. මේ හැමදේම දාලා මේ රටෙන් යන්න පුළුවන් නම් ඇත්තටම යනවා. රට ගැන දුකයි. හැබැයි මේ නිලධාරීන් ගැන තියෙන්නෙ කනගාටුවක්. අපි වැස්සට අව්වට බේරෙන්න ඉටි රෙද්දක් ගැහුවත් ඒකටත් ප්‍රශ්න. අපි මැරෙන්න ආපු මිනිස්සු. ඒ ටික කාලෙදි මේ පොඩි බිම් අඟලකට නඩු කියන්න අපිට ඕනෙ නැහැ. බදු ගෙවනවා තියා අපි එදාවේල හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.'' ආමර් වීදියේ රාමචන්ද්‍රන් පැවසීය.

පසුගිය කාලයේ මාධ්‍ය හරහා ප්‍රකාශ වූයේ මග දෙපස මාර්ගවල වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ගෙන් මාර්ග සංවර්ධන අධිකාරිය බදු ගැසීමට තීරණය කර ඇති බවය. මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද අපි විමසීමක් කළෙමු.
''මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සීමාවේ තමයි ඒ අය වෙළෙඳාම් කරන්නෙ. බඩඉරිඟු විකුණන අය සම්බන්ධයෙන් අපි එහෙම තීරණයක් අරගෙන නැහැ. මේ වෙද්දි මග දෙපස අනවසර ඉදිකිරීම් කරමින් කඩ ඉදි කරලා තියෙනවා. එයාල මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමිය පාවිච්චි කරන නිසා අපි ඒ අයගෙන් යම්කිසි මුදලක් අයකර ගැනීමට අදහස් කරගෙන ඉන්නවා. හැබැයි බඩඉරිඟු, තැඹිලි, වඩේ වෙළෙඳුන්ගෙන් අයකර ගන්න අපි තාම තීරණය කරලා නැහැ. ඒ ගැන වැරදි අදහසක් තමයි සමාජගතවෙලා තියෙන්නෙ. ඒ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරන්නේ අධිකාරියේ අනුමැතියත් සමඟයි. බඩඉරිඟු, වඩේ, තැඹිලි වෙළෙඳුන් තාවකාලික වෙළෙඳුන්. ඒ අය උදේ වෙළෙඳාමට ඇවිත් හවස ගෙදර යනවා. නමුත් ඊට වඩා අනවසර ඉදිකිරීම් කරමින් මහා මාර්ගය අවහිර කරමින් වෙළෙඳාමේ යෙදෙන වෙනත් පිරිසක් ඉන්නවා. අද හැමෝම ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා. අනවසර ඉදිකිරීම් කරමින් වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් වෙනුවෙන් අය කරන බද්ද ඒ වෙළෙඳාමේ තත්ත්වය අනුව තීරණය කරනවා. ඒක කමිටුවකින් තමයි තීරණය කරන්නෙ. හැබැයි දවසේ වෙළෙඳාමේ යෙදෙන තැඹිලි, වඩේ, බඩඉරිඟු වෙළෙඳුන් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය බද්දක් අය කිරීමට තීරණය කරල නැහැ.'' මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් කළමනාකරණ හා ආදායම් ඒකකයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙය බඩඉරිඟු, වඩේ සහ තැඹිලි වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට සතුටුදායක පුවතක් ලෙස හැඳින්විය හැකිය.


I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04