ඩොලර් මිලියන ගණන් වටිනා ගුවන් යානාත්, මිල කළ නොහැකි ගුවන් මගී ජීවිතත් ආරක්ෂිතව ශ්‍රී ලාංකික ගුවන් අවකාශය තුළ එහා මෙහා රැගෙන යාම සඳහා අවශ්‍ය හැසිරවීම් කිරීම, උපදෙස් ලබාදීම සහ එම කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රාජ්‍යය වෙත පැවරී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) (International Civil Aviation Organization) හරහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් අධිකාරිය වෙත මෙම වගකීම නීත්‍යානුකූලව පවරා ඇති අතර ඔවුන් එම වගකීම සහ ඊට අදාළ සේවා සැපයීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත භාර දී තිබේ.
මෙම ශ්‍රී ලාංකික ගුවන් අවකාශය උතුරින් ඉන්දියාවත්, දකුණෙන් ඔස්ට්‍රේලියාවත්, නැගෙනහිරින් ඉන්දුනීසියාවත් සහ බටහිරින් මාලදිවයිනත් යන රටවලට මායිම් වූ නාවික සැතපුම් 519,000ක් විශාල වූ එකකි. මෙම ශ්‍රී ලාංකික ගුවන් අවකාශය වෙත ඔස්ට්‍රේලියාවේ හෝ ඉන්දුනීසියාවේ සිට පිවිසෙන ගුවන් යානා ඉන්දියාව වෙත භාර දෙන තෙක් එම ගුවන් යානා, ගුවන් මගීන් සහ ඔවුන් රගෙන යන භාණ්ඩවල වගකීම අපගේ ගුවන් ගමන් පාලකවරුන් විසින් සුරක්ෂිත කළ යුතුය.
තත්ත්වය එසේ පවතිද්දී ශ්‍රී ලංකාව කොවිඩ් උවදුරට ලක්වීමත් සමගම බරපතළ ආර්ථික අර්බුදයකට ගොදුරු වූ අතර, එයට මුහුණදීම සඳහා රජය විසින් වසර 03 ක කාලයක් සඳහා රාජ්‍ය සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අත්හිටුවීමට තීරණය කර තිබුණි. මීට අමතරව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය IS - 096 නැමැති නීති නිර්දේශයක් ගුවන් ගමන් පාලකවරුන් වෙනුවෙන් 2022.01.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබුණි. ඒ අනුව ගුවන් ගමන් පාලකවරුන් රාත්‍රී සේවා මුරය සඳහා පැය 10කට අඩු කාලයක් සඳහා සේවා සඳහා නිරත කළ යුතු වූ අතර, එවැනි රාත්‍රී සේවා මුරයකින් පසු එම ගුවන් ගමන් පාලකවරුන් පැය 54ක කාලයක් විවේක ගන්වා තැබීමෙන් පසු යළි සේවා සඳහා කැඳවීම සිදුකළ යුතු බවට එහි නිර්දේශ කර තිබුණි.
මේ සියල්ල ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශ මත ගුවන් මගීන්ගේ සහ ගුවන් යානාවල ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද තීරණයන් සහ ක්‍රියාමාර්ග වේ. මෙම පසුබිම යටතේ ශ්‍රී ලාංකික ගුවන් ගමන් පාලකවරුන් 50 දෙනකුගේ පමණ හිඟයක් නිර්මාණය වී තිබේ. සත්‍ය වශයෙන්ම ගණනය කරනු ලැබූ මෙම හිඟ සේවක සංඛ්‍යාව අනුව, ගුවන් ගමන් පාලකවරුන් 138ක සංඛ්‍යාවක් සිටිය යුතු වුවත් මේ වනවිට සේවය සඳහා සැබෑ ලෙසම සිටින්නේ 83 දෙනකු වැනි පිරිසක් පමණි.
මේ තත්ත්වය මැනවින් පසක් කරගත් ගුවන් සංතරණ සේවා ප්‍රධානී මෙන්ම ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් අබේවර්ධන මහතා මෙම ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය රටට මෙන්ම තම සමාගමටද ඉතා අයහපත් ආකාරයට බලපෑම් ඇති කිරීමට සමත් වන බවද අවබෝධ කරගෙන තිබුණි. මෙම ප්රශ්නය තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලනය අඩාල වී දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් අඩපණ වීමත් සමග අප රට දෙපසින් සිටින ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව මෙම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාවලිය ඔවුන් අතට ගැනීමට ඉඩකඩක් ඇතිවිය හැකිවීමයි. මේ සඳහා එම දෙරටටම අවශ්‍ය මූල්‍ය ශක්තිය මෙන්ම තාක්ෂණික දැනුමද මේ වනවිටත් ඔවුන් සතුව පවතී.
මේ නිසා ප්‍රධාන ගුවන් ගමන් පාලකවරයා වහාම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සහ එම සමාගමේ අධ්යක්ෂ කපිතාන් මිලින්ද රත්නායක මහතා දැනුවත් කර ඔවුන් මගින් කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරය ආදී අවශ්‍ය බලලත් ආයතනවල නිසි අවසරය මත නවක ගුවන් ගමන් පාලකවරුන් 50 දෙනෙකු කණ්ඩායම් 02ක් වශයෙන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරුණි. ගුවන් ගමන් පාලකවරුන්, නීතීඥවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් මෙන් රටේ සාමාන්‍ය ශ්‍රම වෙළෙඳපොළන් සොයා ගැනීම සිදුකළ නොහැකි අතර, ඔවුන් බදවා ගැනීම දීර්ඝ කාලයක් වැය වන, අති දුෂ්කර ක්‍රියාවලියකින් සමන්විත වූවකි.
ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීම පිළිබඳව විවෘත, ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව ඒ සඳහා විද්‍යා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම සිදුකරයි. ඉන්පසුව ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව සොයාබලා ඔවුන් ශ්‍රේණිගත කිරීම සිදුකරයි. මීට අමතරව කටහඬ පරීක්ෂාවකට යොමු කරන්නේ පැහැදිලි ලෙස වචන උච්චාරණය කරමින් ගුවන් යානා තුළ සිටින ගුවන් නියමුවන් සමග ගුවන් ගමන් පිළිබඳව අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහාය. එසේම මෙම ගුවන් ගමන් පාලකවරුන් සතු කෙටිකාලීන මතකය මෙන්ම මනෝමයෙන් ගණිත ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳවද මෙහිදී දැඩි ලෙස ඇගැයීමකට ලක් කෙරේ. එමෙන්ම අවකාශමය බුද්ධිය එනම් ගුවන් අවකාශය තුළ පවතින ඉඩකඩ පිළිබඳ වැටහීම සහ එකවර කාර්යයන් කිහිපයක් කිරීමේ හැකියාව (Multi-Tasking) හෙවත් ඇස්වලින් රේඩාර් තීරය දකිමින්, කන්වලින් ගුවන් නියමුවන් ප්‍රකාශ කරන දෑ සවන් දෙමින්, අත්වලින් අවශ්‍ය ගණනය කිරීම් සහ සටහන් යොදමින් ක්‍රියා කිරීමේ හැකියාව පිළිබඳවද එක් ක්ෂේත්රයක් ලෙස ඇගැයීමකට ලක් කෙරේ. මෙම සියලු කඩයිම් පරීක්ෂණවලින් සමත්වන ආධුනික ගුවන් ගමන් පාලකවරුන් මීළඟට ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානයේ නිර්දේශ මත (Class iii) තුන්වැනි ශ්‍රේණියේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී එයින් සමත් විය යුතුය. මෙම පරීක්ෂණය මෙසේ බඳවා ගත් සෑම ගුවන් ගමන් පාලකවරයෙකුම සෑම වසරකම සහභාගී වී එය සමත් විය යුතුය. එසේ නොවුනහොත් හෝ වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඔවුන් වහාම සේවයෙන් ඉවත් කිරීම කරනු ලබයි.
මෙම සියලු පරීක්ෂණයන් සමත්වන ආධුනික ගුවන් ගමන් පාලකවරයා ගුවන් ගමන් පුහුණු පාසල වෙත ඇතුළත් කර අවශ්‍ය න්‍යායන් හදාරමින් Simulator පුහුණුව සඳහා යොමු කරයි. මෙම පාඨමාලාවද සාර්ථකව හදාරා අවසන් කරන සිසුන් බලපත්‍රලාභි ගුවන් ගමන් පාලකවරයකුගේ අධීක්ෂණය යටතේ ගුවන් යානා මෙහෙයුම් කුලුනේ පුහුණු වීම සඳහා යොමු කරයි. මෙම පුහුණුවද පැය 180ක කාලයක් සපුරාලීම සිදුකළ යුතුය. මෙම සියල්ල සපුරා ඇති අභ්‍යාසලාභී ගුවන් ගමන් පාලකවරුන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධීක්ෂණ මණ්ඩලයක් ඉදිරිපිටදී ඇගැයීමකට ලක්කර වසරක කාලයක් සඳහා ගුවන් ගමන් පාලකවරයෙක් ලෙස කටයුතු කිරීමට බලපත්‍රය ලබාගනී.
මෙම ක්‍රියාවලියේ පවතින සංකීර්ණ ස්වභාවය කොතෙක්දයත් මෙම බඳවා ගැනීම සඳහා පුවත්පත් නිවේදනයට අනුව 700ක් විද්‍යා උපාධිධාරීන් ඉදිරිපත් වුවහොත් මෙම සියලු පරීක්ෂණ අවසානයේ ඉතිරි වන්නේ 20 දෙනෙකු පමණක් බව ප්‍රධාන ගුවන් ගමන් පාලකවරයා සඳහන් කළේය. මෙසේ පත්වීම ලබන ගුවන් ගමන් පාලකවරුන් සෑම වසරකම ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය, වෛද්‍ය පරීක්ෂණය ඇතුළු පරීක්ෂණවලින් සමත් වී සිය බලපත්‍රය අලුත් කරගත යුතුය. මෙම ගුවන් ගමන් පාලකවරුන්ගේ සේවය ගුවන් ගමන් පාලක කුලුන, රේඩාර් නොමැතිව ගුවන් තොටුපළ තුළ සහ ගුවන් ගතවන ගුවන් ගමන් පාලනය කිරීම, රේඩාර් නොමැතිව අහසේ ගුවන් ගන්නා ගුවන් ගමන් පාලනය මෙන්ම රේඩාර් භාවිතයෙන් ගුවන් තොටුපළ සහ ගුවන් ගතවන ගුවන් යානා මෙන්ම ඉහළ අහසේ ගුවන් ගන්නා ගුවන් යානා මෙහෙයුම් කටයුතු වශයෙන් කොටස් කීපයකට වර්ග කර තිබේ.
මෙම ශ්‍රේණිගත වර්ග කිරීම් ශ්‍රී ලංකාව ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළ 5 වන, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ යන ගුවන් තොටුපළ තුළද ක්‍රියාත්මක වේ. මේ එකිනෙක ගුවන් තොටුපළ තුළ මෙම ශ්‍රේණිගත වර්ග කිරීම්වලට අනුකූල ගුවන් ගමන් පාලකවරුන් සිටින අතර ඔවුන් ඒ සඳහා වසරක කාලයක් සඳහා බලපත්‍රය ලබාගත යුතුය. නිදසුනක් ලෙස කටුනායක රේඩාර් කුලුනේ සේවයේ නියුතු ගුවන් ගමන් පාලකවරයකුට එම පුහුණුවෙන් මත්තල ගුවන් තොටුපළ රේඩාර් කුලුනේ සේවය කළ නොහැකි අතර ඒ සඳහා ඔහු පෙර සඳහන් කළ පරීක්ෂණ සියල්ල සමත් කර මත්තල රේඩාර් කුලුනේ පැය 180ක සේවා කාලයද සපුරා බලපත්‍රය ලබාගෙන තිබිය යුතුය.
මේ සියලු දුෂ්කර පරීක්ෂණ සිදුකරනු ලබන්නේ මිල කළ නොහැකි ගුවන් මගී ජීවිත සහ ගුවන් යානා සුරක්ෂිත කිරීම සඳහාය. එහෙත් ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කර ඇති විශ්‍රාම යෑම් පිළිබඳ චක්‍රලේඛ නිසා මෙතෙක් අවුරුදු 62 තෙක් සේවය කිරීමට සූදානම් වී සිටි ගුවන් ගමන් පාලකවරුන් පිරිසක් වර්තමානයේ විශ්‍රාම ගැනීමට අයදුම් කර තිබේ. මෙතරම් විශාල මුදලක් සහ කාලයක් කැපකර ගොඩනංවන මෙම ගුවන් ගමන් පාලකවරුන්ට, ඔවුන් විසින් ඉටු කරන සේවයට සාපේක්ෂව නොව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අනෙකුත් සේවකයන්ට හිමි වන සමගාමී වැටුපක් හිමිවන අතර, එය ජාත්‍යන්තර වශයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව අනුව ලෝකයේ සෑම රටකම වැටුප් සමාන විය යුතු අතර එසේ නොවුවහොත් බුද්ධි හා ශ්‍රම ගලනය සිදුවේ. කටාර්, සෞදි අරාබිය, ඔස්ට්‍රේලියාව, ඩුබායි වැනි රාජ්‍යයන් මෙවැනි පුහුණු, පළපුරුදු ගුවන් ගමන් පාලකවරයකුට මාසිකව ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 50ක පමණ වැටුපක් හිමි වන අතර, මීට අමතරව නිවාස පහසුකම්, වෛද්‍ය රක්ෂණ, ඔවුන්ගේ දරුවන්හට අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහ වසරකට වරක් තම මව්රටට පැමිණ ආපසු යෑම සඳහා සිය පවුලටම ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලේ පිරිනැමීමද සිදු කෙරේ. මෙම ප්‍රදානයන් නිසා එරට සේවයට යන ගුවන් ගමන් පාලකවරුන්ට තම වැටුප සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.
කෙසේ වෙතත් මෙම ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය මැඬලීම සඳහා යම් සාධනීය පියවර ඉදිරි කාලය තුළ නොගතහොත් ශ්‍රී ලංකාවට ඉහළ ගුවන් අවකාශය තුළ සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් ශ්‍රී ලංකාවට අහිමි වී යා හැකිය. එයින් රට උපදවා ගන්නා ප්‍රකෝටි සංඛාත විදේශ විනිමයද අහිමි වී යාමේ අවදානමක් මතු වෙමින් තිබේ. මෙම ගැටලුවට ශ්‍රී ලංකාව තුළින් යම් විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ගුවන් සේවා බලධාරීන් අපොහොසත් වුවහොත් අපි දිනකට රුපියල් ලක්ෂ 50ක් සහ අනෙකුත් වරප්‍රසාද නොමිලේ ලබාදෙමින් පුහුණු ගුවන් ගමන් පාලකවරුන් අවම වශයෙන් 20 දෙනකුවත් විදේශවලින් ආනයනය කිරීම සිදු කළ යුතුය.
I කටුනායක ටී.කේ.ජී. කපිල