2022 නොවැම්බර් 06 වන ඉරිදා

අලුත් ඇසකින් බැලිය යුතු ගොවි විශ්‍රාම වැටුප

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 103


ගොවියන් සඳහා නව විශ‍්‍රාම වැටුපක් යෝජනා කරන බව මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත. රටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් කැක්කුමක් තිබිය යුතුය. බලයට පත්වන ආණ්ඩු ගොවියන්ට නොයෙක් සහන යෝජනා කරති. සමහර ඒවා දේශපාලන ව්‍යාපෘති පමණකි. ඡන්දය ගැනීමට ගොවියන්ට යම් යම් යෝජනා කරන අතර කාලයත් සමඟ ඒවා වියැකී යයි. පොහොර සහනාධාරය එවැනි වරින්වර එහා මෙහා වෙන අංශයකි. සහනාධාර දෙන බව ප‍්‍රකාශ වන නමුත් ගොවියාට පොහොර මිටියක් ගැනීම ද ප‍්‍රශ්නයක් වී තිබේ.  

විශ‍්‍රාම වැටුප, රක්ෂණය, ඉඩම්වලට ඔප්පු, සහතික මිල, ගොවි ණය කපාහැරීම යනාදී වශයෙන් ගොවිතැන් කරන ජන කොටස් හමුවේ විසුරුවා හරින ලද කරුණු අතර ඇත. ආණ්ඩුවේ ආදායම අඩුවන පසු අය වැය මගින් ගෙවන සහන ක‍්‍රම අඩු කෙරේ. ආයෙත් එවැනි යොජනා ගැන කල්පනා කරන්නේ ඡන්දයක් ඉදිරිපත්වන කාලයේය. කරුණු වාර්තා වන පරිදි ගොවියන්ට විශ‍්‍රාම වැටුප් ගෙවන යෝජනාවට අරමුදලක් බිහි කෙරේ. වෘත්තීය වශයෙන් ගොවිතැන්කරන පුරවැසියන්ට එහි ප‍්‍රතිලාභ ලබාගත හැක.

• විශ‍්‍රාම වැටුපක් අවශ්‍ය කරන පසුබිම

වැව් බැඳි රාජ්‍්‍ය යනුවෙන් ඉතිහාසයක් ඇත. ගොවිතැන රජකමට පවා සුදුසු කර්මාන්තයක් බව රොබට් නොක්ස් ලියා තිබේ. එයට හේතුව කිසිවකුගෙන් යැපෙන්නේ නැති ස්වාධීන ආර්ථික වටපිටාවකට හිමිකම් ප‍්‍රකාශ කිරීම බව නොරහසකි. තමන්ගේ ඉඩම්, ගොවිතැන්, ඒවා අස්වද්දන්නට අවශ්‍ය ගව සම්පත තිබුණ, එහෙයින්ම පිරිස් බලය සහිත ගොවියෝ තමන්ගේ අස්වැන්න ලංකාව ඉහළින්ම ඔසවා තැබූහ. ආහාර සුරක්ෂිතතාවයක් සහිත දේශයක් බවට පත්කර තිබුණ බව මතක් කළ යුතුය. ගොවියෝ වගාකටයුතු පමණක් නොව අස්වැන්න ඉදිරි කන්නය තෙක් ආරක්ෂා කරගැනීමට ප‍්‍රමාණවත් ගබඩා තාක්ෂණයද හඳුනාගෙන සිටියහ. අස්වැන්න ගමට බෙදන ක‍්‍රමවේදයක් ද ඉතිහාසයේ පැවැති බවට සාක්ෂි තිබේ. කාලයකට පසු එහි නෂ්ඨාවශේෂ ඉතිරිවී ඇත. වී බිස්ස ප‍්‍රදර්ශන භාණ්ඩයකි. ගොවිතැන් කරන ගොවියා ඊළඟ කන්නයට හෝ සහල් ඉතිරි කරගන්නේ නැත. ගොවිතැනට අවශ්‍ය මෙවලම් ඔහු සතුව නැති අතර ටැක්ටර් කුලියට ගන්නට සිදුවේ. පසුගිය කාලයේදී ටැක්ටර් හිමියෝ කුඹුරට ගෙන එන ලද ට‍්‍රුක්ටරයට ඉන්ධන ඉල්ලා ගොවියෝ තෙල් පෝලිමට යවන්නට තරම් නිර්භීත වූහ. ගොවිතැනට වඩා ගොවිපොළේ වැඩකරන මෙවලම් වඩාත් අවස්ථාවාදී වටිනාකමක් අත්පත් කරගෙන ඇති බව පැහැදිලිය.

අද පවතින ආර්ථිකය අනුව සහතික මිලට විකුණන වී කිලෝවකින් සබන් කෑල්ලක් මිල දී ගන්නට නොහැකි බව දක්වා තිබේ. සබන් කැටයකටද වී කිලෝ දෙක තුනක් විකුණන්නට සිදුවේ. තමන්ගේ වපරිසය වගාකරගන්නා ගොවියාට එහි අස්වැන්න ලබාගත් පසු කන්නයේ වගා කටයුතුවලට ගත් ණය හා පොලිය ගෙවූ පසු ඉතිරියක් නැත. ගොවීන් දුක් මහන්සියෙන් උපයන නමුත් වී එකතු කරන්නෝ සහ වී මෝල් හිමියෝ ඉසුරුමත් පුද්ගලයෝ බවට පත්ව සිටිති. ඔවුහු ආණ්ඩුවට බදු ගෙවන්නෝය. වී වගාකරන ගොවීන් තමන්ගේ පැවැත්මට සහනාධාර ඉල්ලන තැනට පත්ව සිටියදී වී ආශ‍්‍රිත කර්මාන්ත හා අලෙවි අංශ පත්ව ඇති දියුණුව අසමතුලිත බව මැනැවින් දක්වයි. එවැනි පසුබිමක් තුළ ගොවියන්ගේ අනාගතය අවිනිශ්විතය. ගොවිතැනට වාරු නැතිවන විට අසරණභාවයට පත්වේ. හොඳ විශ‍්‍රාමික ජීවිතයක් ගත කරන අයිතිය ගොවියාට ද ඇත. ගොවි විශ‍්‍රාම වැටුප එම අභිමතාර්ථ සාක්ෂාත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

• දායකත්වය ලබාගැනීම 

ගොවි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් දැනට ප‍්‍රකාශයට පත්කර ඇති කරුණු අනුව ගොවියන්ගේ දායකත්වය ඉතාම අවශ්‍යය. වයස හා වාරික ගෙවන කාලය අනුව චක‍්‍රයක් ගොඩනගා ඇත. ගෙවන දායක මුදල හා ගෙවිය හැකි කාලය සමග ඉහළ ප‍්‍රතිලාභවලට අයිතියක් ඇත. අවුරුදු බැංකුවක මෙම මුදල තැන්පත් කළත් ආසන්න ගණනක් පොලිය වශයෙන් ලබාගත හැකිවේ. ගොවියකුට මාස් පතා රුපියල් තුන් දහසකට ආසන්න මුදලක් තැන්පත් කරන්නට තරම් විනයක් ඇති ආර්ථිකයක් නැත. අනෙක අවුරුදු දහඅටක තරුණයෙක් අද කාලයේ හැටියට ගොවිතැන වෘත්තියක් වශයෙන් තෝරාගන්නේ නැත. මෙම කරුණු දෙක මත පමණක් පදනම්ව මෙම විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයේ සාර්ථක අසාර්ථක භාවය සලකා බැලීම සුදුසුය.

කෘෂි රක්ෂණ මණ්ඩලයේ හා ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මෙකී නව ගොවි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ගැන වැඩි විස්තර ලබාගැනීමට අවස්ථාවක් ඇත. ගොවියකු බැංකුවක මුදලක් ක‍්‍රමානුකූලව හෝ අක‍්‍රමවත්ව තැන්පත් කළහොත් එයට පොලියක් ලැබේ. අවශ්‍ය නම් මාසික වාරික වශයෙන් පොලිය ලබාගත හැක. දැන් කාලයේ වාර්ෂික පොලිය සියයට විසි හතර දක්වා ඉහළය. වී අලෙවියෙන් වාසි ඇතොත් ගොවියෝ ඒවා ඉතිරි කරන බව නොරහසකි. තැන්පත් කරන මුදල ඕනෑම අවස්ථාවක ආපසු ලබාගත හැක. නව ගොවි විශ‍්‍රාම වැටුප අනුව ගොවියාට, එයින් පසු ඔවුන්ගේ යැපෙන්නන්ට මාසිකව දීමනාව ලැබෙන නමුත් පසුව සම්පූර්ණ මුදලම ආපසු ලබාගත හැකිද යන්න පැහැදිලි කරගෙන ගිවිසුමක් අත්සන් කිරීමට ගොවි ජනතාව පරෙස්සම්විය යුතුය. විශ‍්‍රාම වැටුප ලබන අතරතුර අවශ්‍යවුවහොත් මාසිකව ගෙවන ලද දායක මුදල ඉල්ලා සිටිය හැකිද? මුලින් දක්වන ලද ගොවි තරුණයා වියපත්වන විට ලක්ෂ දහ හතරකට ආසන්න දායක මුදලක් ගෙවා ඇත. මේවා ලබාගැනීමට පසුබිම කුමක්ද යන්න දැනගැනීමද වැදගත් පැත්තකි

.• අනෙක් අංශවලටත් විශ‍්‍රාම වැටුපකට අයිතියක්

පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ‍්‍රාම වැටුපක් 2011 වසරේ අය වැයෙන් යෝජනා කෙරිණි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් අරමුදලේ පළමු කොටස ලෙස වෙන් කරන්නට මහා භාණ්ඩාගාරය සූදානම් විය. නමුත් පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එය තදබල ලෙස ප‍්‍රතික්ෂේප කරන ලද බව මතක් කළ යුතුය. එය වැඩවර්ජන සහ කෝලාහල දක්වා වර්ධනය විය. බියගම වෙළඳ කලාපයේ වෘත්තිකයකුට ජීවිතය අහිමි වූ අතර එවකට සිටි කම්කරු අමාත්‍යවරයා පසුව මෙම යෝජිත විශ‍්‍රාම වැටුප අත්හිටුවා ඉල්ලා අස්කරගන්නා බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කරන ලදී. මෙම විරෝධයට පදනම් වූයේ වැඩකරන ජනතාවගේ දායකත්වයෙන් නොඑසේ නම් පඩිපතින් අයකර විශ‍්‍රාම වැටුප් අවශ්‍ය නැති බවට මතු වූ මතවාදයයි.

ගොවි ජනතාව මෙම යෝජිත විශ‍්‍රාම වැටුප ගැන වෙනස් මත දරන පිරිසක් වීමට ඉඩ තිබේ. කණ්ඩායම් සමග පාරට බැස විරෝධතාවයෙන් පලක් නැත. ගොවි ජනතාව පසුගිය කාලය තුළ නොයෙක් විරෝධතා රුළිවලට මුහුණ දී තිබේ. ඒවායේ පිටුවහල ලැබ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව දක්වා ගමන් කර ඇත. ආණ්ඩු බලය ලබාගත් අතර අවුලවන ලද විරෝධතාවල නිරතවූවන් ගැන සිහිපත් කළේ නැති බව පෙන්වා දිය යුතුය. 

ගොවියන්ට පමණක් නොව, ඇඟලුම් කම්හල් කාර්ය මණ්ඩලය, ධීවරයන් සහ සුළු වෙළඳුන්ටද විශ‍්‍රාම ජීවිතය සතුටින් ගතකරන පසුබිමක් අවශ්‍යය. දුප්පත් රටක සිට නැගෙනවිට ජනතාවගේ අනාගතය ගැන අවධානය යොමු කිරීම පාලකයන්ගේ වගකීමකි. රක්ෂණය, විශ‍්‍රාම වැටුප අනාගත ජීවිතයට ඉතාම ප‍්‍රයෝජනවත් අංශ අතර ඇත. නිසි ක‍්‍රමවේදයක් අනුව සමාජයට හඳුන්වාදීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. විශ‍්‍රාම වැටුපක් හඳුන්වා දී දායක වන සේ යොජනා කරන අතරවාරයේ එහි වාසි අවාසි සාකච්ඡා කිරීම අවශ්‍යය.

ගොවියන්ට පමණක් නොව ජනගහනයෙන් අති විශාල ප‍්‍රතිශතයකට වයස්ගත වීමෙන් පසු කිසිදු සමාජ රුකවරණයක් නැත. ඔවුන්ට සිදුවන්නේ අසරණව වෙසෙන්නටය. රට දියුණු වනවිට ජාත්‍යන්තර සමාජයේ ඇති අලුත් සංකල්ප සමාජ ප‍්‍රගමනය උදෙසා ප‍්‍රයෝජනයට ගැනීම අවශ්‍යය. ඉදිරි වසර විස්ස ඇතුළත මෙරට ජනගහනයෙන් සියයට විස්සකට වැඩි ප‍්‍රතිශතයක් වැඩි වයස්ගත පිරිස අතර සිටිනු ඇතැයි පර් යේෂණ වාර්තා පෙන්වයි. ජනගහන වර්ධනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ නිරීක්ෂණ අනුව වසර 2025 වනවිට වයස්ගත ජනගහන ප‍්‍රතිශතය 1980 පැවති තත්ත්වයට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩිවිය හැකි බව දැක්වේ. ගොවි විශ‍්‍රාම වැටුප සුදුසුය. එය තවත් පෝෂණය කළ යුතුවේ. අලුත් දේ එකතු කර සාමාන්‍ය ජනතාවට ද සම්බන්ධවිය හැකි ආකාරයට මෙම යෝජනා ක‍්‍රම පුළුල් කළ යුතුය. මහජන නියෝජිතයන්, ජනතා නායකයන් හා සිවිල් සංවිධාන ප‍්‍රධානීන් එවැනි ප‍්‍රායෝගික ව්‍යායාමයකට ආණ්ඩුව පෙළඹවිය යුතුය.

I සාරා කන්දෙගොඩ