2022 නොවැම්බර් 06 වන ඉරිදා

මවට ගැසූ පිහි පහරින් මරුට බිලිවූ පුංචි පුතා

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 134

මවුපියන් අතර වන පවුල් ආරවුල්වලට සිය දරුවන් වගකිව යුතු නැත. එවැනි ගැටලුවක් ඇත්නම් අඹු සැමියන් එක්ව විසඳාගත යුතුය. නමුත් ප්‍රශ්නය මැදට දරුවන් මැදිකර ගැනීම බරපතළ කරුණකි. මේ එවැනි අවස්ථාවක වූ ඛේදනීය සිදුවීමක් ගැන කතාවකි.

දකුණු පළාතේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ඔක්ටෆෑඩ් වාදන ශිල්පියකු මෙන්ම ගායකයකු වශයෙන් කටයුතු කළ ප්‍රසන්න වික්‍රමගේ පසුකලෙක ඉන් ඉවත්ව තිබුණි. අනතුරුව එම පළාතෙන්ම බිහිවූ තවත් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයා ලෙසත් වාදන ශිල්පියෙක් ලෙසත් කටයුතු කළේය. ඒ වනවිටත් විවාහ දෙකක් සිදුකරගෙන පවුල් ජීවිතය අඩාල කොටගෙන සිටි ඔහු නැවත කාන්තාවක හා ඇසුරක් ගොඩනගා ගෙන සිටියේය.

ප්‍රසන්න මෙවර ඇයි හොඳැයියක් ඇතිකොටගෙන තිබුණේ ගාල්ල වරල්ල බොරළුහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟිනි. ඇය දිනේෂි සඳරුවනි නැමැත්තියකි. ඇය මීට පෙර විවාහයක් සිදුකරගෙන තිබුණද පසුකලෙක එම විවාහයෙන් නිත්‍යානුකූලව ඉවත්ව සිටියාය. එම විවාහයෙන් ඇයට පිරිමි දරුවන් දෙදෙනකු සිටි අතර තමාගේත් දරු දෙදෙනාගේත් අනාගත සුරක්ෂිතතාව පිළිබඳව සිතා ප්‍රසන්න වික්‍රමගේ හා විවාහවීමට තීරණය කළාය. ඒ අනුව දෙදෙනා අතර විවාහය සිදුකරගෙන තිබුණේ මේ වසරේ පසුගිය ජනවාරි මාසයේදීය. එදා පටන් දිනේෂි - ප්‍රසන්න යුවළ පදිංචිව සිට තිබුණේ මොරවක ප්‍රදේශයේ පිහිටි ප්‍රසන්නගේ මහගෙදරය.

විවාහයට පෙර දෙදෙනා අතර පැවති සතුට සෙනෙහස වැඩි දවසක් තිබුණේ නැත. බහින් බස්වීම්, අඬදබර, පහරදීම් දක්වා තත්ත්වය වර්ධනය වී තිබුණේ මාස හය හතක් ඇතුළතය. මේ කාලය තුළ ප්‍රසන්නගේ අතීතයත් දිනේෂිගේ අතීතයත් දෙදෙනා විසින්ම විවේචනය කොටගෙන තිබුණි. කෙසේ හෝ එකඟතාවකට පැමිණි යුවළ මීට මාස දෙකකට පමණ පෙර ප්‍රසන්නගේ මහගෙදර අත්හැර ගාල්ල, වරල්ල, බොරළුහේන ප්‍රදේශයේ පිහිටි දිනේෂිගේ නිවසේ පදිංචියට පැමිණියහ. එසේ පැමිණ ගතවූ මාස දෙකක කාලයේදීත් අඹුසැමි ආරවුල් ඇති නොවුණා නොවේ. එවැනි සිදුවීම් කිහිපයක් අතර ඉකුත් 27 වැනිදා දෙපළ අතර බහින් බස්වීමක් සිදුව ඇත. දුරදිග ගිය බහින් බස්වීම අවසානයේ ප්‍රසන්නගෙන් පහරකෑමට ලක්ව තිබුණේ දරු දෙදෙනකුගේ මවක වූ දිනේෂි සඳරුවනිය.

ඒ සමඟ මහත් සිත්තැවුලකට පත්වූ දිනේෂි කෑ ගසමින් කියා තිබුණේ තමා පොලීසියට යන බවකි. ඒ සඳහා සූදානම් වනවාත් සමඟම ප්‍රසන්න කඩිමුඩියේ නිවසින් බැහැරට ගොස් තිබුණි. ඔහු ආගිය අතක් දිනේෂිගේ දරු දෙදෙනා හෝ දැක නැත. ඒ තරමට දරු දෙදෙනා සිට තිබුණේද භීතියට පත්වය. මොහොතකින් සූදානම් වූ දිනේෂි ඇගේ දරු දෙදෙනා සමඟ ස්කූටි යතුරුපැදියට නැගුණේ මොරවක පොලීසිය වෙත යන අදහසිනි. වෙලාව රාත්‍රී 9ට ආසන්න වෙමින් තිබියදී දරු දෙදෙනා සමඟ යතුරුපැදියේ ගිය දිනේෂි නිවසේ සිට තරමක දුරින් පිහිටි ඉලුක්කැටිය පාලම පසු කරන්නට සූදානම් වූවාය. දැඩි සිත් වේදනාවකින් පසුවූ දිනේෂි අන්ධකාරය මැද යතුරුපැදියේ විදුලි ලාම්පු ආලෝකය දෙස එක එල්ලේම බලාගෙන ඉදිරියට ගියාය. ඉලුක්කැටිය පාලම අසළ තේවත්ත තුළ සැඟවී සිටි අවාසනාවකට එම පිහි පහර වැදී තිබුණේ සිය යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන ගිය ඇගේ දරු පැටියාටය.

බියට පත් දිනේෂි ප්‍රසන්නගේ මරු පහර නොතකමින් වේගයෙන් යතුරුපැදිය ධාවනය කළාය. දරුවාගේ සිරුරෙන් ගලන ලේ දිනේෂිගේ පාදයක් තෙත් කරමින් හැලෙන්නට පටන් ගත්තේය. පිහි පහරට සිදුවූ තුවාලයෙන් වූ හිරිවැටීම නිසා දරුවාට වගක් නොවුණත් මොහොතක් ගතවූ පසුව දරු පැටියා විලාප නගන්නට විය. ඔහු අස්වසමින් ඇය නොනවත්වාම වේගයෙන් ධාවනය කළ යතුරුපැදිය මොරවක රෝහල වෙත පදවාගෙන ගියාය.

දරුවා සුවකර ගැනීමේ අදහසින් කඩිනම් ප්‍රතිකාර ඉල්ලා රෝහල් ගත කෙරුණු පසුව ක්ෂණික ප්‍රතිකාරයක් සිදුකර වහාම දරු පැටියා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යවන්නට කටයුතු කෙරිණ. ඒ යනවිටත් දිනේෂිගේ දස හැවිරිදි දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් සිටියේය. එසේ මියගොස් තිබුණේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නැමැති මොරවක වැලිව බෞද්ධ මහා විද්‍යාලයේ 5 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියේය.
බිරිය හා වූ ආරවුල දුරදිග යාමෙන් නිවසෙන් පලාගොස් අතරමග සැඟවී සිටි දරුවන්ගේ සුළු පියා එල්ල කළ පිහි පහරක් නිසා මියගිය දරුවාගේ සිදුවීමෙන් ගම්මුන් පමණක් නොව රටම කම්පාවට පත්ව සිටිති. ඝාතනයට ලක්වූ දරුවා මොරවක වැලිව බෞද්ධ පාසලේ ඉගෙනුම ලබන්නට පෙර වසර හතරක් අධ්‍යාපනය ලබා තිබුණේ වෙනත් පාසලකය. ඔහු ඉගෙනුමට දක්ෂ දරුවකු වූ බව කියැවේ. දරුවා හා මව පිළිබඳව පාසලේ ගුරුභවතුන් පවා දැනුවත්ව සිට ඇති අතර දරුවා වෙනුවෙන් ඇවැසි උපකාර එම පාසල වෙතින්ද සිදුකර තිබෙන බව වාර්තා වේ. එහෙත් මවගේ දෙවැනි විවාහයෙන් පසුව දරුවාට මෙවන් අපරාධයක් වීම ඛේදජනකය. මවුපියන්ගේ වැරදි නිසා දරුවාට අකල් මරණයක් සිදුවී තිබෙන බව පැහැදිලිය.

ඝාතනය සිදුවූ පසුදිනම සැකකාර සුළුපියා වන ප්‍රසන්න වික්‍රමගේ (44) නැමැත්තා කොස්මෝදර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පවුල් ආරවුල පැවති නිවෙස මොරවක පොලිස් වසමේ වුවද ඝාතනය සිදුවූ ඉලුක්කැටිය ප්‍රදේශය කොස්මෝදර පොලිස් වසමට අයත් බැවින් අදාළ විමර්ශන එම පොලීසිය විසින් සිදුකරනු ලබයි. 

මෙම සැකකරු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් දෙකකට සම්බන්ධ වී සිටි අයෙකි. එක සංගීත කණඩායමකින් ඉවත් වූ ඔහු වෙනත් කණ්ඩායමක නිත්‍ය ගායකයා ලෙසත් වාදන ශිල්පියකු ලෙසත් කටයුතු කරමින් සිට ඇත. ඒ අතර දෑරංගල ප්‍රදේශයේ පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මුරකරුවකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. මීට පෙර විවාහයන් දෙකක් සිදුකරගෙන එම කාන්තාවන් දෙදෙනාගෙන්ම ඉවත්ව දිනේෂි සමඟ විවාහ වී තිබෙන මොහු එසේ මාස දහයක් ගතකරන අතරතුරදී මෙම ඝාතනය සිදුකර ඇත.

මවුපියන් අතර වන ගැටුම් ඔවුන් දෙදෙනා විසින්ම විසඳා ගත යුතුය. ඒ සඳහා දෙපාර්ශ්වය වඩාත් උනන්දු විය යුතුය. එවැනි ගැටුම් හෝ අඬදබර සඳහා දරුවන් මැදිකර ගැනීම නොකළ යුතුය. එය මවුපියන්ගේ චරිතය පිළිබඳව වැරදි වැටහීමක් ඇති කිරීමකි. දෙදෙනා අතර විසඳා ගත නොහැකි ගැටලුවක් නම් එය වගකිවයුතු වැඩිහිටියන්ට, පොලීසියට හෝ අදාළ නීතිමය පියවර ගැනීම සඳහා වන පාර්ශ්වයක් වෙත පැමිණවීමට කටයුතු කළයුතු බව පොලීසිය පෙන්වා දෙයි.
වැඩිදුර විමර්ශන කොස්මෝදර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකරයි.

■ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04