2022 නොවැම්බර් 13 වන ඉරිදා

හම්බන්තොට මුහුදේ කෝටි දාහේ කුඩු බෝට්ටුව

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 168

ලංකාවට මත්ද්‍රව්‍ය සැපයෙන ප්‍රධාන ක්‍රමය මුහුදු මාර්ගයයි. ගුවන් මගින් ඊට කිසිදු අවසරයක් නොමැති හෙයින් විදෙස්ගත ජාවාරම්කරුවෝ ජාත්‍යන්තර මුහුද හරහා මෙරට මුහුදු සීමාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කොට දීමට ක්‍රියා කරති. එතැන් සිට ක්‍රියාත්මක වන අතරමැදි ජාවාරම්කරුවෝ ඒවා මෙරටට රැගෙන ඒමට උත්සාහ ගනිති. අනතුරුව ලංකාවේ ජාවාරමුන් හා පාතාල ක්‍රියාකාරීන් හරහා රට පුරා අලෙවි කිරීම සිදු කරති.

ශ්‍රී ලංකාවට නිරිතදිග හා දකුණුදිගට වන ගැඹුරු ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම බහුලව සිදුකෙරෙන්නේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගය ඒ හරහා වැටී තිබෙන බැවින් සහ අරාබි මුහුද හරහා ගමන් ගන්නා යාත්‍රා බහුලව මේ ඔස්සේ යනෙන බැවිනි. එමෙන්ම ඉන්දියාව, සෝමාලියාව, ඉරානය, පාකිස්ථානය, ඕමානය, යේමනය, ජිබුටි හා මාලදිවයින යන රටවල වෙරළට අරාබි මුහුද මායිම්ව තිබෙන නිසා ඇෆ්ගනිස්ථානය හා මෙකී රටවල් හරහා මත්කුඩු ජාවාරම බහුලව ක්‍රියාත්මක වෙයි. 

මේ නිසා මත්කුඩු ජාවාරමේ අවදානම ශ්‍රී ලංකාවට බරපතළ ලෙස එල්ලව පවතී. එකී අවදානම අතරතුර මෙරට බුද්ධි අංශ වෙත ලැබෙන රහස් තොරතුරු ගණනාවකි. ඒ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව පෙරමුණේ සිටිති. එකී බුද්ධි අංශ වෙතින් ලැබෙන රහස් තොරතුරු සනාථ කර ගැනීම සඳහා සිදු කරන විශ්ලේෂණ අතරතුර රට වට බැඳි රන් වැට වූ නාවික හමුදාව පෙරමුණ ගනියි. ඔවුහු රහස් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රහසිගතව විශේෂ නිරීක්ෂණ හා අවේක්ෂණ මෙහෙයුම්වල නිරත වෙති. ඒ සඳහා දිවා රූ නොතකා අඩු වැසි කුණාටු මැද මහ මුහුදේ රාජකාරි කිරීමට නාවික සෙබළු පසුබට නොවෙති.

එසේ රැස්කරගත් බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වික්‍රම II නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ ආවේක්ෂණය කරමින් සිට රුපියල් මිලියන 9000ක් වටිනා හෙරොයින්, මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. හම්බන්තොට මහා රාවණා ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ හම්බන්තොට වෙරළට නාවික සැතපුම් 10ක් හෙවත් කිලෝමීටර් 18 ක පමණ දුරකදී මෙම වැටලීම සිදු විය.

IMULA – 0879MTR අංක දරණ (කවිඳු පුතා) නැමැති බහුදින යාත්‍රාව දින කිහිපයක් දෙවුන්දර ධීවර වරායේ නවතා තිබිණ. පසුව එය දියඹට ගොස් තිබුණේ ඔක්තෝබර් 11 වැනිදාය. මෙදින යාත්‍රාවේ හිමිකරු ද මුහුදු ගමනට එක් විය. ඔහු සමඟ ගිය පිරිස මාතර කෝට්ටේගොඩ හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙවර (කවිඳු පුතා) බහුදින යාත්‍රාව දියඹට ගොස් තිබුණේ තරමක් වෙනස් ලෙසය. එහි හිමිකරු ගමනට එක්වීමත් බොහෝ විට ඔහුම යාත්‍රාව පැදවීමත් විශේෂය. ඒ අතරතුර ඔහුට ලැබුණු දුරකථන ඇමතුම් හා තොරතුරු ගණනාවකි. එකින් එකට ඔහු හැසිරී තිබුණේ විවිධාකාරයෙනි.

(කවිඳු පුතා) බහුදින යාත්‍රාව දින 13ක් මුහුද මැද කල් ගෙවීය. ඒ අතර කාලයේ තරමක මාළු අස්වැන්නක් ලබාගන්නට පිරිස කටයුතු කළහ. මේ අතර ගෙවී ගිය ඔක්තෝබර් 24 වැනිදා පාකිස්ථානයේ සිට පැමිණි බහුදින යාත්‍රාවක් (කවිඳු පුතා) බහුදින යාත්‍රාව වෙත ළං වී තිබුණි. කඩිමුඩියේ ක්‍රියාත්මක වූ යාත්‍රාවේ පැමිණි පිරිස පාර්සල් කිහිපයක් (කවිඳු පුතා) යාත්‍රාව වෙත බාරකොට වහා පිටව ගියේය. ඉන් අනතුරුවද ධීවර රුකියාවේ නිරත වන්නට (කවිඳු පුතා) යාත්‍රාවේ පිරිස ක්‍රියා කර තිබුණි.
මේ අතරතුර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ඇස ගසා සිටියදී ලැබුණු තොරතුරකි. එයින් දන්වා ඇත්තේ දකුණු වෙරළට ඈත ගැඹුරු මුහුදේදී මත්කුඩු ජාවාරමක් සිදුවන බවත් විදෙස් රටක යාත්‍රාවකින් මෙරට බහුදින යාත්‍රාවකට ලබා දුන් හෙරොයින් තොගයක් ඔවුන් විසින් ගොඩබිමට රුගෙන ඒමේ සූදානමක් පවතින බවත්ය. මේ තොරතුර අනුව ක්‍රියාත්මක වූ අදාළ බුද්ධි අංශ කණ්ඩායම් විසින් සනාථ කොටගෙන තිබුණේ එම මත්ද්‍රව්‍ය තොගය බහුදින යාත්‍රාවක් විසින් බාරගෙන කුඩා යාත්‍රා හරහා ගොඩබිමට රුගෙන ඒමේ සූදානමක් පවතින බවය.

මේ අනුව ක්‍රියාත්මක වූ එම බුද්ධි අංශ නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම්වත් කොට තිබුණි. එම ඔත්තුව අනුව ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාව ශ්‍රී ලංකාවට දකුණුදිග මුහුදේ දැඩි ආවේක්ෂණයක නිරත විය. එහිදී සැක කටයුතු බහුදින යාත්‍රාවක් හඳුනාගෙන එය නිරතුරුවම නිරීක්ෂණයට ලක් කරමින් සිට තිබිණ. එසේ දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව IMULA - 0879MTR (කවිඳු පුතා) යාත්‍රාව දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව නාවික සෙබළු කිහිප දෙනකු එම යාත්‍රාව වෙත ගොඩවී තිබුණේ දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි. ඒ සඳහා සුදුසු අවස්ථාව එළඹෙන තෙක් නිරීක්ෂණය කළ නාවික සෙබළු ගොඩබිමට තරමක් ආසන්න වන තෙක් සිට පරීක්ෂා කිරීමේ මෙහෙයුම අරඹා තිබිණ.

මේ සඳහා කටයුතු කර තිබුණේ ඉකුත් නොවැම්බර් 5 වැනිදාය. එහිදී අල්ලාගත් මාළු බහා තබන ටැංකිය පිරික්සීමට සෙබළු කටයුතු කළහ. එම මාළු තොගය පිටතට ගෙන පරීක්ෂා කිරීමේ ඒ යට සඟවා තිබූ විශාල උර 12ක් සොයාගෙන තිබිණ. මේවා රුගෙන පරීක්ෂා කිරීමේදී ඔත්තුව ලැබුණු ආකාරයට එහි හෙරොයින් අඩංගු බව සනාථ කොටගෙන අදාළ යාත්‍රාව සමඟ එහි රැඳී සිටි සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීම අතරතුර සනාථ කරගෙන තිබුණේ බහුදින යාත්‍රාවට පැටවූ කුඩු තොගය ගොඩබිම ආසන්නයට රැගෙන ආ පසුව කුඩා බෝට්ටු මගින් වෙරළට ගෙන යන බවකි. එසේ ලබාගෙන තිබූ ඔත්තු අනුව එම හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන යාමට සූදානම්ව සිටි කාන්තාවක හා පුරුෂයන් සිව් දෙනකු ඩිංගි බෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

මේ අනුව මාතර නිල්වැල්ලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුව සමඟ පුද්ගලයන් දෙදෙනෙක් හා නිල්වැල්ල වෙරළේදී කාන්තාව සහ තවත් පුරුෂයකු වශයෙන් ගොඩබිමේ සිටියදී අත්අඩංගුවට පත් වූහ. මෙම කාන්තාව දික්වැල්ල නිල්වැල්ල පදිංචිකාරියකි. මත්කුඩු ජාවාරම්කාරියක වන ඇය 30 හැවිරිදිය. මොවුන් අතර අයකු හම්බන්තොට පදිංචිකරුවකු වන අතර අනෙක් දෙදෙනා දික්වැල්ල පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට පත් කුඩු තොගය කිලෝග්‍රෑම් 331 යි ග්‍රෑම් 110 කින් යුක්ත බව අනාවරණය කර ගැනිණ. මෙහි වටිනාකම රුපියල් මිලියන 6622.2 ත් රුපියල් මිලියන 13244.4 ත් අතර වන බවට නාවික හමුදාව වාර්තා කරයි. සැකකරුවන් හා කුඩු තොගය අත්අඩංගුවට ගෙන ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රුගෙන ආ පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර කර තිබුණේ පසුගිය 7 වැනිදා පෙරවරු 6ට පමණය. 

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබුණේ ඩුබායි රුඳී සිටින (හරක් කටා)ගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියා වන සඳකැළුම් නොහොත් (රන් මල්ලි) නැමැත්තා විසින් මත්කුඩු තොගය ලංකාවට එවා ඇති බවය. මොහුගේ මෙහෙයවීම මත කුඩු තොගය ජාත්‍යන්තර මුහුදේදී (කවිඳු පුතා) යාත්‍රාවට ලබාගෙන තිබූ අතර ඒවා ගොඩබිමට රුගෙන ඒම සම්බන්ධීකරණය කර ඇත්තේ සුදා නොහොත් (ලූනා) නැමැත්තකු විසිනි. (කවිඳු පුතා) බහුදින යාත්‍රාවේ ලූනා යන අයගේ ගෝලයකු ද සිට ඇති බව හෙළිව තිබිණ. ඔහු කෝට්ටේගොඩ ලුණු කලපුවේ පදිංචිකරුවෙකි.

මේ ආකාරයට නාවික හමුදාව 2022 වසරේදී අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 23.12 කට අධික බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. මේ වනවිට රටේ හෙරොයින් හිඟතාවක් පවතී. ඒ නිසා හෙරොයින් ග්‍රෑම් එකක මිල රු. 10,000 සිට 30,000 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව වර්තමානයේ හෙරොයින් කිලෝ එකක් රුපියල් කෝටි 3ක් වන බවද පැවසේ. මේ ආකාරයට අත්අඩංගුවට පත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 900 ඉක්මවන බව කිව යුතුය. මෙසේ ලංකාවේ හෙරොයින් හිඟවීම සඳහා බලපාන සාධක අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම්, ඉන්දීය නාවික හමුදා මෙහෙයුම් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් හරහා අරාබි මුහුද දැඩිව නිරීක්ෂණය කිරීම කැපී පෙනෙයි.

මෙම මත්කුඩු තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නාශාන්ත උළුගේතැන්න මහතා විසින් නිරීක්ෂණයට ලක් කළ අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - නාවික හමුදා මාධ්‍ය ඒකකය

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04