ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල 2023 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම විශ්වවිද්‍යාල 500-600 අතරට අඛණ්ඩව සිවුවැනි වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෑතකදී අබිසෙස් ලැබුවේය. එකී අභිෂේක මැද වැජඹෙද්දී කිරි කළයට ගොම දමන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම සීමිත සිසු පිරිසක් මෑතකදී ක්‍රියා කළහ.
ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාටත් තර්ජන සිදුකරමින් සිදුවූ නවක වද සිදුවීමේ උණුසුම යාමටත් මත්තෙන් තවත් සිදුවීමක් වාර්තා වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයෙනි. විශ්වවිද්‍යාලයකට පිවිසෙන නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ සම්ප්‍රදාය හා විශ්වවිද්‍යාලයේ පවතින සම්මත පිළිබඳ දැනුම ලබාදීමක් පැවතියද මෙවැනි අමුතු පාඩම් කියාදීම් පිළිබඳ මෙයට පෙර අසා තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයෙනි. මෙයත් ස්මාර්ට් නොවූ “ස්මාර්ට්” පාඩමකි.
එනම් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවල ලිපින නවක සිසුන්ට යොමු කරමින් ඒවා නරඹා ප්‍රතිචාර දක්වන ලෙස බලපෑම් කළ බව කියන නවකවද සිද්ධියක් මෑතකදී අනාවරණය විය. නවක සිසුවකු විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා දුන් තොරතුරක් අනුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලකවරයා විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසු පිරිසකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර නවක සිසුන්ගේ දුරකතන අංකවලට මෙසේ අසභ්‍ය වෙබ් අඩවිවල ලිපින සහ ඡායාරූප යොමු කරමින් ඒවා නරඹා වෙන වෙනම ප්‍රතිචාර දක්වන ලෙස බලකර ඇති බවටද පැමිණිල්ලේ සඳහන් වෙයි. මෙම නවක සිසු පිරිස මේ වනවිට අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පිරිසක් වන අතර ඔවුහු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නිවෙස්වල සිට අධ්‍යයන කටයුතු සිදුකරති. මෙම නවක වදයට ගොදුරු වූ බව කියන සිසුවකු මධ්‍යම පළාතේ කඳුරට ප්‍රදේශයක පදිංචි බව වාර්තා වෙයි.
සබකෝලය නැති කිරීමට සභාවක් මැද ගීත ගායනා කිරීම කතා පැවැත්වීම, පැක් කිරීම ආදී ක්‍රියා මගින් හැඟීම් පාලනය පුහුණු කිරීම ආදිය වෙනුවට මෙවැනි දුරාචාර නවක වද මගින් එහි සුන්දර කාලය විනාශ කර දමයි. නවක වද සමය අවසන් කරන සෝෂල් උත්සවය පැවතියත් ඉන්පසුවත් නවක වදයෙන් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට ඇතැම් සිසුන්ට සිදු වී ඇත.
නවක වදය පිටුදකින සිසුන්ට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර, ආපන ශාලා, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, පුස්තකාල ආදී පොදු ස්ථාන ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තහනම් කලාප කරනු ලැබ ඇත්තේය. කළු සුදු ඇඳුම් ඇඳීමට බල කිරීම, පාවහන් දැමීමට බල කිරීම ආදියට අමතරව විශ්වවිද්‍යාලයේ නවක වදයට විරුද්ධ වන්නන්ට බලපෑම් තර්ජන එල්ල වීමද සිදුවන බවටත් වාර්තා වෙයි.
නවකවදයට විරුද්ධව සැමවිටම ගන්නා ක්‍රියාමාර්ගවලටත් සිසු පිරිස් පරිපාලනයට බලපෑම් එල්ල කරති. එසේම පරිපාලනයට එරෙහිව නැගී සිටින බවටත් වාර්තා වෙයි. මේ ආකාරයට නවක වදය සමග සරසවි පාතාලයකුත් බිහිවී ඇත්දැයි සැකසහිතය.
“සම සෞඛ්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු බව කියන මධුසංක චන්ද්‍රජිත් නමැති සිසුවකු මීට මාසයකට පමණ ඉහතදී විශ්වවිද්‍යාල පරිපාලනයට ඉතා තදින් විවේචනය කර අසභ්‍ය වචනවලින් බැණ වැදීමක් කළා. මේ සම්බන්ධයෙන් උපකුලපති නියමයෙන් මෙම සිසුවාගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව තහනම් කළා. ඒ ආකාරයේ නොමනා හැසිරීම් නිසා ලැබුණු දඬුවම ඉවත් කරන්න කියා තවත් සිසු පිරිසක් උද්ඝෝෂණය කරන්න යනවා."
මේ බව “දේශයට” අනාවරණය කළේ විශ්වවිද්‍යාලයේම සිසු පිරිසකි. වත්මන් සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මනුජිත් මහතාගෙන් අප කළ විමසීමේදී මෙසේ පැවසුවේය.
“මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබන සම සෞඛ්‍ය පීඨයේ නවක සිසුන් පිරිසකට සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. මේ වනවිට එහි විමර්ශන සිදුකෙරෙනවා. උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතාගේ නියමයෙන් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විනය පරික්ෂණයකුත් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. සීමිත සිසු පිරිසක් මෙයට සම්බන්ධ බවට වාර්තා වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණ මගින් තහවුරු වුවහොත් අදාළ සිසුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලය පරිපාලනය සූදානම්” යැයි මනුජිත් මහතා පැවසුවේය.
පේරාදෙණිය සරසවියේ නවක වදයට තිත තැබීමට මහා ශිෂ්‍ය සංගමයට හයියක් නැද්ද? යැයි අප නැගූ පැනයට පිළිතුරු දෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ මෙසේ පැවසුවේය.
“මහා ශිෂ්‍ය සංගමය විදිහට මේ සිද්ධිය අපි අනුමත කරන්නේ නෑ. මෙම සිද්ධියට භාජනය වුණු සිසුන් තවම විශ්වවිද්‍යාලයට ඇවිත්වත් නෑ. ඔන්ලයින් ක්‍රමයට තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. විකල්ප කණ්ඩායම්වල සිසුන් නවක සිසුන්ට විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කරනවා. මෙය එවන් අවස්ථාවක සිදුවූ දෙයක්. අපි දැනට ඒ ළමයි එක්කත් කතා කරලා තියෙනවා. ඔවුන්ට විශ්වවිද්‍යාලය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවත්වෙනවා. හරි වැරැද්ද පරීක්ෂණ අවසානයේ තීරණය වේවි. ඒත් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිදුවූ දෙයක් නිසා මෙය සරසවි සිසුන්ම කළා කියලා තවම ඔප්පු වී නෑ. බාහිරින් සිදුවුණා වෙන්නත් පුළුවන්” යැයි සංගම් සභාපතිවරයා කීය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විනය පාලකවරයා විසින් පැමිණිල්ලක් කර තිබුණා. මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන කටයුතු පොලිස්පති නියමයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. එහි විමර්ශන නිලධාරීන් විසින් මේ වනවිට වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරනවා.” පැමිණිල්ලේ වර්තමාන විමර්ශන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසූයේ එවැන්නකි.
සරසවි සිසුවකුට නිදහසේ ඉගෙනුම් අවස්ථාවක් උදාකරදීමේ අවශ්‍යතාව, නවකවදයේ බරපතළකම සහ නවකවදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් කරලීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම ගොස් පසුගිය දිනක විශේෂ දේශනයක් පවත්වා ඇත. දිගින් දිගටම සිදුවූ නවක වද සිදුවීම් හේතුවෙන් යළි එවැන්නක් නොවීම උදෙසා පැවැත්වුණු එම විශේෂ දේශනය සඳහා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ විද්‍යාර්ථීන් පිරිසක්ද සහභාගී වී ඇත. එවන් පසුබිමක බලධාරීන්ගේ කැපකිරීම්, දැනුවත් කිරීම් පසෙකලා දිගින් දිගටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය හා සම්බන්ධ මෙවැනි සිදුවීම් ඇති වීම කනගාටුවට කරුණකි. බහුතරය යහමග ගියද ඇතැම් සිසුන්ට මෙය බීරි අලින්ට වීනා වැයීමක් වී ඇති බව පෙනෙයි.
විශ්වවිද්‍යාලයේ මේ වනවිට 13000 ක් පමණ ශිෂ්‍ය පිරිසක් ලියාපදිංචි වී සිටිති. ලංකාවේ වැඩිම නේවාසිකාගාර ප්‍රමාණයක් හිමි විශ්වවිද්‍යාලය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එය නේවාසිකාගාර 24කින් සමන්විතය. ක්‍රීඩා වර්ග 26කට අදාළ නවීන උපකරණවලින් සපිරි ක්‍රීඩා පහසුකම්වලින් සමන්විතය. ආගමික ඇතුළු සමිති සමාගම් 160 ක් පමණ ක්‍රියාත්මක වෙයි. වෘත්තීය මනෝ විශේෂඥවරුන්ගෙන් සමන්විත ස්ථිර මානසික උපදේශන සේවයක් ක්‍රියාත්මකය. සුබසාධන සේවා ආදී මෙවැනි පහසුකම් මැද නිදහස් අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යය තමන්ට අහිමි කරගැනීම සහ අනුන්ට අහිමි කරවීම ඛේදජනකය.
සයිමන් අයියාගේ පාටිය යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතීතයේ පැවති සිසුන්ගෙන්ම සමන්විත මැදහත් අධිකරණයක් බඳුය. එම අතීත සම්ප්‍රදායේ පැවති සයිමන් අයියාගේ පාටිය අද නැත. එසේ වූවා නම් මෙවැනි ගැටලු ඇති නොවනු ඇත. 1992 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ රත්නසිරි බණ්ඩාර නමැති සිසුවෙක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම අමුතු සතුටක් සොයා ගත්තේය. ඒ අයුරින් පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන්ම ඇරඹුණු නවක වදය වෙනුවට “නවක සතුට” වැඩසටහන ලත් තැනම ලොප් නොකර ක්‍රියාත්මක වූවා නම් මෙවැනි නවක වද සිදුවීම් නැවත නැවත ඇති නොවනු ඇත්තේය. එසේම වෛද්‍ය පීඨයෙන්ම මෙවැනි සිදුවීම් වාර්තා නොවනු ඇත්තේය.
1974 දී සරසවි නවක වද ඉතිහාසයේ කළු පැල්ලමක් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රූපා රත්නශීලි සිසුවියට වූ දේ යළි ඇති නොවීමට නම් විශ්වවිද්‍යාල බලධාරීන් මෙන්ම රජයේ මැදිහත්වීමෙන් විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍යය. මෙය එක රුයින් කළ හැකි විස්මිතයක් නොවන බවද අවසාන වශයෙන් නොකියාම බැරිය.
■ සසංක චලන ගිම්හාන