2022 නොවැම්බර් 27 වන ඉරිදා

සමාගමකට යට කරන්න හදන ගල්බොක්කයාය කන්ද

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 111

''වැඩිය කවුරුත් දන්නේ නැති, යන්නේ නැති එත් පට්ටම ලස්සන තැනක්. කට්ටිය දන්නේ නැතිනිසාම ප්ලාස්ටික් පොලිතින් නැති තැනක්. දවල්ට පට්ටම ලස්සනයි. උදේ හරි හවස හරි මීට වඩා ගොඩක්ම ලස්සනට තියෙයි. කෑම්පින් නම් කවුරුත් කරලා නෑ. මීට කලින්. ඒත් කෑම්පින් කරන්න සුදුසු තැන් කීපයක්ම තියෙනවා... වතුර උල්පතක් තියෙනවා සැඟවුණු තැනක. ඈතින් පේනවා උඩවලව ජලාශය.''

මේ දිනවල කතාබහට ලක්වන ගල්බොක්කයාය ගැන විස්තර අන්තර්ජාලයේ හොයන විට හමුවුණු මුහුණු පොතට 2020දී දැමූ පෝස්ටුවක් තමයි ඉහත සඳහන් කළේ. වර්තමානයේ කඳුවැටියේ ස්වරෑපය වෙනස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමක් සිදුවෙමින් පවති. උඩවලව, සංඛපාල විහාරයට නුදුරින් පිහිටි  ගල්බොක්කයාය කඳුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීමට සමාගමකට බදුදීමට එරෙහිව ප‍්‍රදේශවාසීහුද මාස කිහිපයකට පෙර විරෝධතාවක්ද පැවැත්වූහ. ඒ කොළඹ ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමිනි. එම විරෝධතාවය සංඛපාල ගල්බොක්කයාය කඳුවැටිය සුරුකීමේ ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනහඩුව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත සිමෙන්ති පෞද්ගලික සමාගමක් මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති විරෝධී උත්සාහයක නිරත වීම දැකගත හැකිය. ගල්බොක්කයාය කඳුවැටිය සංඛපාල කඳුවැටිය හා සම්බන්ධ සුවිශේෂී වනාන්තර පද්ධතියකි. මෙය ප‍්‍රධාන කඳු 4 කින් සමන්විත පරිසර පද්ධතියකි. පහන්වැටිය ගල, මිනීමරුයාය, පෙට්ටිගල කන්ද හා නයිගල එම කඳු වේ. කඳුවැටියෙන් ගලා යන දියදහරාවන් සියල්ල වලවේ ගඟේ ජල පෝෂක අතු ගංගාවන් වේ. මීගහ ආර, කාරඩි ආර හා කරමැටි ආර ආරම්භ වන්නේ මෙම කඳුවැටියෙනි. මේ ජලයෙන් වැව් පෝෂණය වන අතර එම වැව් මගින් කුඹුරු අක්කර 250කට පමණ ජලය සැපයේ.

ගල්බොක්කයාය කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා යන ගල්බොක්කයාය දොළ හරස් කර ජලය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතිය මගින් කොළඹගෙ ආර හා වැල්ලෑව යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකට අයත් පවුල් 2000කට පමණ පානීය ජලය සපයයි. කඳුවැටිය හා සම්බන්ධ උල්පත - තිත්තවැල්පත පානීය ජල ව්‍යාපෘතියෙන් හිඟුර, උල්පත, තිත්තවැල්පත, කරවිලයාය හා පුහුල්යාය යන ගම්මානවල පවුල් 1500කට පමණ පානීය ජලය ලබාදීම සිදුවේ.   

මෙම කඳුවැටිය වටා ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් දෙකකට අයත් ගම්මාන 6ක් පමණ පිහිටා තිබේ. තිත්තවැල්පත ග‍්‍රාම නිලධාරී වසමට අයත් උල්පත, තිත්තවැල්පත හා කොස්වැටිය යන ගම්මාන සහ පනහඩුව ග‍්‍රාම නිලධාරී වසමට අයත් ලයිට්පාර, පුහුල්යාය හා කරමැටි ආර ගම්මාන කඳුවැටිය වටා පිහිටා තිබේ. කඳුවැටිය අවට ගම්මානවල ගොවි ජනතාව හේන් ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගන්නේ කඳුවැටියෙන් ගලා එන ජලයෙන් හා වර්ෂා ජලයෙනි. එළවළු ඇතුළු බෝග වර්ග රුසක් මෙම ප‍්‍රදේශයේ වගා කෙරෙන අතර ඒ සියල්ල මේ කඳුවැටියේ සුරක්ෂිතතාව මත රඳා පවතී.

මෙය ඉතා සුන්දර වනපෙතක් මෙන්ම පාරිසරිකව ප්‍රදේශයේ ජන ජීවිතයට ඉතා වැදගත් සංවේදී කලාපයක් බව දිසා වන සංරක්ෂණ නිලධාරී ආර්.පී.එම්. වීරසිංහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් වෙත යැවූ ලිපියෙන්ද සනාථ වේ. දිසා වන නිලධාරී වෙත 2021 මැයි මාසයේ රාජකාරි ලිපියක යොමුකරන ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඉල්ලා සිටින්නේ ඉහත කටයුත්ත සඳහා අදාළ ඉඩම නිදහස් කරන ලෙසයි. දිසා වන නිලධාරිවරයා ප්‍රාදේශීය ලේකම්ට 2021.07.01 දරන පිළිතුරු ලිපියේ සඳහන් කරුණු එම වනාන්තරය පිළිබඳ අගනා අදහස් දැක්වීමකි. මට මතක් වූයේ අමෙරිකානු ජනාධිපතිට රතු ඉන්දියානු නායක සියටල් යැවූ ලිපියයි. ‘‘ඔබ විසින් ඉල්ලා සිටිනුයේ සම්පූර්ණයෙන්ම සංඛපාල යෝජිත රක්ෂිත වනයට අයත් ඉඩමක් වන අතර ඊට යාබදව පිහිටි මිනීමරුයාය නමැති කොටසක් පිහිටි ඉඩමද ඊට අයත් වේ. 

මෙම වනය දෙපාර්තමේන්තු චක්‍රලේඛ යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගී කරගත් භූමියක් වේ. යාබදව පිහිටි මීගහයාය ගමට ජලය සපයන ප්‍රධාන ජල ප්‍රභවය වන මීගහදොළ ආර පෝෂණය වන්නේද කැණීමට යෝජිත ස්ථානයෙනි. වර්ෂ 2009දී ස්ථාපිත අක්කර 25ක් වනවගා ඉඩමක්ද 2021 වසර සඳහා යෝජිත අක්කර 25 වන වගා ඉඩමද පිහිටා ඇත්තේ මෙම භූමිය තුළය. සංඛපාල කඳුවැටිය ඉතාම ආසන්නයේ ඇති පුහුල්යාය වැව පෝෂණය වන්නේද මෙම වනාන්තරයෙනි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රදේශයේ වාසය කරන සියලුම වනසතුන්ගේ මෙන්ම සමස්ත ජෛව පද්ධතියද හානියට පත්වේ.

කරුණු එසේ හෙයින් පාරිසරික සංවේදී පද්ධතියක් සහිත වනාන්තර පද්ධතියක් බැවින් ඔබ වෙත පවරා දීමට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.'' යයි දිසා වන නිලධාරියා සඳහන් කර ඇත.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඉන්පසුව එය ඉහළට දැනුම් දී ඇති බව පෙනෙන අතර ඉන්පසුව ඉඩම් කොමසාරිස් ජනරාල් 2021.06.07 දින දරන ලිපියෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ඉඩමේ සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය පවතින බව හඳුනාගෙන ඇති බැවින් සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත හැකි පරිදි එම ඉඩම ඇඹිලිපිටිය ප්‍රා. ලේකම් වෙත නිදහස් කරන ලෙසයි. 

පසුව ආරංචි වන්නේ වන සංරක්ෂණ නිලධාරින්ගේ විරෝධතාව නොතකා මෙම කඳුවැටිය බදු දීමට නිදහස් කර ඇති බවයි.

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරන්නේ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම කඳුවැටිය අවට ජීවත් වන ජනතාව භීතියට පත්කර පාරිසරික අණ පනත් උල්ලංඝනය කර දේශපාලන බලය හා ව්‍යාපාරික බලය භාවිත කර කඳුවැටිය බලහත්කාරයෙන් ලබා ගැනීමට සමාගම උත්සාහ ගනිමින් සිටින බවයි. මේ තත්ත්වය තවදුරටත් සනාථ වන්නේ පසුගියදා ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් විසින් වන සංරක්ෂණ ජනරාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා සිමෙන්ති සමාගමේ නියෝජිතයන් පිරිසක් කැඳවා කඳුවැටියේ ඉඩම් කෙසේ හෝ සමාගමට ලබාදීමට ගන්නා සැලැසුම් සහගත උත්සාහයත් සමඟ බවත් පරිසරවේදී සජීව චාමිකර පවසා සිටී.

2009 අංක 65 දරන සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත සහ 2000 අංක 53 දරන   සංශෝධිත ජාතික පාරිසරික පනතින්ද මෙම වනාන්තරයට ආරක්ෂාව හිමිව තිබේ.   පාරිසරික නීතිවලට අමතරව අවට පුරාවිද්‍යා නටබුන් පිහිටා තිබෙන නිසා  1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතද මෙම කැණීම් ව්‍යාපෘතියට බලපාන නීතියකි. නමුත් එම නීති ක්‍රියාත්මක කිරීමට තිබෙන ආයතනවල අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට   සමාගම උත්සාහ කරමින් සිටින බව පරිසරවේදීහු පවසති.

''මෙම ව්‍යාපෘතියේදී වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත ඇතුළු අණ පනත් උල්ලංඝනය කිරීමක් සිදුවෙන බව පේනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් කටයුතු කර තිබෙන ස්වභාවයෙන් ඒක පැහැදිලි වෙනවා.  ශක්‍යතා අධ්‍යයනය සිදුකිරීමටත් පෙර  ලංවා සමාගමට ඉඩම් පවරා දීමට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් නීති විරෝධී උත්සාහයක නිරත වීම දකින්න ලැබෙනවා. පාරිසරික නීතියේ ප‍්‍රධාන සිද්ධාන්තයක් වන මහජන භාර සංකල්පය උල්ලංඝනය කරමින් තමයි සමාගමට කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ගල්බොක්කයාය කඳුවැටිය ලබාදීමට සූදානම් වන්නේ. මෙම සිද්ධාන්තය පදනම් කර ගෙන ජාත්‍යන්තර ව පිළිගන්නා නඩු තීන්දු ද ලබාදී තිබෙන බව විමසීමේදී පේනවා'' පරිසරවේදී සජීව චාමිකර සඳහන් කරයි.

ලංකාවේ ද මේ සඳහා උදාහරණ සපයන නඩු තීන්දු හමුවේ. ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ  අංක 884/99 දරන බුලංකුලම එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නඩුව හෙවත් එප්පාවල පොස්පේට් නිධිය ෆ්‍රීපෝට් මැක්මොරාන් සමාගමට විකිණීම වැළැක්වීමට අදාළ නඩුවේ තීන්දුවට අනුව, ආණ්ඩුවක් යනු රටේ තාවකාලික භාරකරුවකු පමණයි.  ආණ්ඩුව රටේ අයිතිකරුවා නොවේ, එවන් ආණ්ඩුවකට රටේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමට අයිතියක් නැති අතර ඒ සඳහා වන නීති සම්පාදනය කිරීමටද අයිතියක් නැති බව එහිදී පැවසුණි.

I කුසුම්සිරි විජයවර්ධන