2022 නොවැම්බර් 27 වන ඉරිදා

ස්වාමියා බේරාගන්න පොලිසි ගිය බිංදු

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 184

එකම අම්මාගේ දරුවන් ඉඩම් දේපලවලට පමණක් නොව බත්පතට පවා රණ්ඩු සරුවල් වන, හිත් නොහොඳ නෝක්කාඩු වන අවස්ථා කොතෙකුත් තිබේ. හිතමිතුරන් ඥාතීන් අතර ද එවැනි ගැටලු, හිත් නොහොඳකම් ඕනෑ තරම්ය. එවැනි අයගේ ඇසුර ආශ්‍රය කොපමණ සමීප වුවද කෙනකුගේ දුකක් කරදරයක් ඇති මොහොතක එය නුදුටු ලෙස මගහැර යාමට ද ඔවුන්ට හැකිය. එවැනි පුරුදු ගති ඇති මිනිසුන් අතර නොමිනිස්කම්වලට සපුරා වෙනස් කලගුණ දත් තිරිසන් සත්වයෝ පවා අප අතර වෙසෙති.
ඇතැම් මිනිසුන් අතර නැති උතුම් ගතිගුණවලින් පොහොසත් තිරිසන් සත්වයකු පිළිබඳ කතාවක් අසන්නට ලැබුණේ බුලත්සිංහල පොලීසියෙනි. අඹු සැමියන් දරුවන් අතර නැති ආදරය, සෙනෙහස, ළෙන්ගතුකම ලෝකයට කියා දෙන්නට සමත් වූ මේ අහිංසක සුනඛයාගේ නම (බිංදු) ය.

ඇතැම් පුද්ගලයන්ගේ අමනුස්ස හැසිරීම් දෙස බලන කල මිනිසුන්ට වඩා මිනිස් ගතිගුණ සහිත බිංදුගේ කතාව සමාජයට ආදර්ශයකි. මේ සුරතල් සුනඛයාගේ සෙනෙහෙබර කතාව අසන්නට ලැබුණේ ඉකුත් සති අන්තයේ දිනකය.

එදින සවස් යාමයේ බුලත්සිංහල මෝල්කාව පාරේ පිහිටි නිවෙසක ඇසුණේ තොරතෝංචියක් නැති ඝෝෂාවකි. එය වෙන යමක් නොව අඹු සැමියන් අතර වූ ආරවුලකි. සෑහෙන වෙලාවක් පැවැති ඝෝෂාව විටින් විට වැඩිවෙමින් ඇසුණේ තත්ත්වය උග්‍ර වන බවක් පෙන්වමිණි. එසේ තරමක් සන්සුන් වූ මොහොතක පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ලද දුරකථන ඇමතුමකි.

''අනේ සර්.. අපේ ගෙදර ප්‍රශ්නයක්. මහත්තයා බීලා ඇවිත් මටයි දරුවො තුන්දෙනාටයි හිරිහැර කරනවා..'' 

මේ සමඟ නිවෙස පිහිටි ප්‍රදේශය හඳුනාගෙන සිදුවීම බුලත්සිංහල පොලීසිය වෙත වාර්තා කරන්නට හදිසි ඇමතුම් අංශය ක්‍රියා කර තිබුණි.

ඒ අනුව එදින රාත්‍රියේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි බුලත්සිංහල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෝල්කාව පාරේ පිහිටි නිවෙසකට ගොස් කරුණු විමසා තිබුණි. එහිදී ඔවුන් නිවෙසේ කාන්තාවට පවසා ඇත්තේ සිදුවීම පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කරන ලෙසය. අනතුරුව ඇගේ ස්වාමිපුරුෂයාට පවසා ඇත්තේ පැමිණිල්ලට අදාළව වහාම කටඋත්තරයක් ලබා දෙන ලෙසය. පැවති පවුල් ආරවුලට කඩිනම් විසඳුමක් ලබා දුන් පොලීසිය පිටව ගියේය.

ටික වෙලාවකට පසුව අදාළ නිවෙසේ කාන්තාව දරු තිදෙනා සමඟ බුලත්සිංහල පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් සටහන් කොට තිබුණි. සැණෙකින් ක්‍රියාත්මක වූ පොලීසිය සැකකාර ගෙහිමියා අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසිය සිදු කළ දැනුම්දීමට අනුව පැමිණ බාරවීමෙන් පසුවය. මේ අතරතුර පැමිණිලිකාර කාන්තාව හා දරු තිදෙනා පොලිසියෙන් පිටව ගොස් තිබුණි. අත්අඩංගුවට පත් ගෙහිමියා පොලිස් සිර මැදිරියේ රුඳවීමට පියවර ගැනිණ.

නිවෙස තුළ සිදු වූ අකරතැබ්බය ගෙදර ඇතිකළ සුරතලා (බිංදු)ට අවබෝධ වන්නට ඇත. කලබලය මැද බිංදු පොලීසියට පැමිණ තිබුණේ කිලෝමීටරයකට වැඩි දුරක් ගෙවා හති දමමිනි. ගෙහිමි කාන්තාව හා දරුවන් පිටව ගියද බිංදු ඔවුන් දෙස බලා සිට පොලීසිය ඉදිරිපිට නැවතුණේය. වැඩි වේලාවක් යන්නට පෙර මේ සුනඛයා පොලීසිය තුළ පිහිටි සිර මැදිරිය අසලට ගොස් තිබුණි.

''කොහෙද යන බල්ලෙක් දී.. යන්න දී...'' යැයි කියමින් නිලධාරියකු එම සුනඛයා එළවා දැමුවද යළි මොහොතකින් සුනඛයා සිර මැදිරිය අසලට පැමිණ ඒ දෙස බලා සිටින්නට විය. ඒ වන විටත් එම චෝදනාගාරය තුළ සැකකරුවන් තිදෙනෙක් වූහ. යළිත් වරක් නිලධාරියකු මේ සුනඛයාව එළවා දමා තිබුණේ කෝටු පහරක්ද එල්ල කරමිනි. පහර දී පන්නා දැමුවද එම සුනඛයා නැවත චෝදනාගාරය අසලට පැමිණීම වළක්වන්නට ක්‍රමයක් නොවීය.

කෙළවරක් නැති මේ සිදුවීම අතරතුර පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගත් තැනැත්තාගෙන් විමසා සිට ඇත්තේ ''කාගෙද මේ බල්ලා. කොච්චර එළෙවුවත් මෙතෙනටම එන්නේ, තමුන්ලා එක්කද ආවේ..'' යනුවෙනි.

''අනේ සර්.. මේ මම ගෙදර ඇති කරන බල්ලා. මම කූඩුවේ ඉන්න නිසයි මෙයා එළියට යන්නෙ නැත්තේ. ගෙදර ඉඳලා මෙච්චර දුරක් කොහොම ආවාද දන්නෙත් නෑ..''

මේ අනුව සුනඛයාගේ හැසිරීම තේරුම් ගන්නට පොලිස් නිලධාරීන්ට අපහසු නොවීය. ඊට පසු කිසිදු බාධාවක් නොකළ පොලිස් නිලධාරීන් හමුවේ (බිංදු) චෝදනාගාරයේ යකඩ කූරු ඉදිරියට වී වැතිර සිටියේය. එසේ එදින රාත්‍රිය ගත කළ සුනඛයාට පසු දින උදෑසන විවිධ ආහාරවලින් සංග්‍රහ කරන්නට පොලිස් නිලධාරීන් ක්‍රියා කර තිබුණේ බිංදු ඔවුන්ගේ ද සුරතලා බවට පත්කර ගනිමිනි.

මේ සිදුවීම පිළිබඳව පොලිස්ථානයේ සියලු නිලධාරීන් මෙන්ම ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාද දැනුවත්ව තිබිණ. ඒ අනුව එදින උදෑසන එතැනට පැමිණි පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා මහතාට නුපුරුදු විලසකින් බිංදු ගෙරවූ බව පැවසේ. විටෙක සිර මැදිරිය තුළ සිටි තම ස්වාමියා දෙස බලමින් ද තවත් විටෙක සිර මැදිරියේ වැට අබියස වැතිරෙමින්ද සිටි සුනඛයාගේ හැසිරීම සංවේදී විය.

පොලිස් ස්ථානාධිපතිවරයා කළ කරුණු විමසීම හරහා සැකකරුගේ සුරතල් සුනඛයා පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබිණි. සිය ස්වාමියා කරදරයක වැටී ඇති බව දැනගෙන ඔහු එයින් එළියට එනතුරු සුනඛයා එහි රැඳී සිට තිබුණේ ඇතැම් මිනිසුන් තුළ නොමැති උතුම් ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරමිනි. මෙහිදී සිර මැදිරියේ ඉබි යතුරු ඉවත් කළ සැණින් (බිංදු) දුවගොස් සිය ස්වාමියාගේ උකුලට නැග වලිගය වේගයෙන් වනද්දී ස්වාමියා බිංදුගේ හිස පිරිමැද්දේය. එසේ බිංදුගේ සතුට ප්‍රකාශ කළ පසුව සැකකරු ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේ ස්වාමියා පසුපස යමින් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ඇතුළු වූ සුනඛයා ද ස්වාමියා සමඟ රුඳී සිට තිබුණි. එහිදී සුරතලාගේ හැසිරීම අගය කොට එය සමාජයටත් ආදර්ශයක් බව පැවසූ ස්ථානාධිපතිවරයා සැකකරුට එරෙහිව තිබූ පවුල් ආරවුල් චෝදනාව ඇප දිය හැකි වරදක් බැවින් සුරතල් (බිංදු) සමඟ පිටව ගොස් නිවැසියන් සමඟ සුහදව සිටීමට ඔහුට තරයේ අවවාද කර තිබිණි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04