අද වනවිට ලෝක ජනගහණය බිලියන 700 ඉක්මවා අවසන්ය. වැඩිම ජනගහණයක් සිටින්නේ ආසියා මහද්වීපයේය. චීනය සහ ඉන්දියාව ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රටවල් ලෙස සැලකෙයි. අඩුම ජනගහණයක් වාසය කරන්නේ වතිකානු රාජ්‍යයේය. ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22කට ආසන්නය. 1981 සංගණනයෙන් පසු යුද්ධය නිසා මුළු දිවයිනම ආවරණය වන පරිදි සංගණනයක් සුදු නොවූ අතර අවසන් වරට රටම ආවරණය වන පරිදි සංගණනයක් පවත්වනු ලැබුවේ 2012 වර්ෂයේය. 2021 වසරේ පැවැත්වීමට නියමිත වූ සංගණනය වසංගතය නිසා අඩපණ විය. කෙසේ නමුත් යාවත්කාලීන සංගණනයක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එළඹෙන වසරේ සංගණනයක් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලහිලහියේ සූදානම් වෙමින් සිටියි.
මේ සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා දේශයට පළ කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසෙයි.
සෑම රටක්ම එහි වෙසෙන මුළු ජන සංඛ්‍යාව හා එහි ඇති නිවාස සංඛ්‍යාව පිළිබඳව නියමිත කාලයකදී ගණනය කිරීමක් සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය “ජන හා නිවාස සංගණනය“ ලෙස හඳුන්වයි.
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය පැවැත්වීමේ වගකීම දරන රාජ්‍ය ආයතනය වනුයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවය. ඒ අනුව යමින් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේදී ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට සැලසුම් කළ නමුත් රටේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම සංගණනය 2023 හා 2024 වර්ෂ තෙක් කල් දැමීමට සිදුවිය.
ජන හා නිවාස සංගණනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව, එහි භූගෝලීය ව්‍යාප්තිය, ජන වාර්ගික ව්‍යාප්තිය හා ජනගහණයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක හා සමාජයීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් නිශ්චිත කාලයක් තුළදී ලබා දෙන ප්‍රධාන දත්ත මූලාශ්‍රය වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සංගණනය 1871 වර්ෂයේ මාර්තු මස 27 දින සිදු කර ඇත. එය දකුණු ආසියාවේ පැවති ප්‍රථම සංගණනය වේ. 1871 පටන් සෑම වසර 10කට වරක් සංගණනයක් පවත්වනු ලබයි. ඒ අනුව, 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජන හා නිවාස සංගණන ඉතිහාසයේ 150 වර්ෂය සමරන ලදී. මේ දක්වා ශ්‍රී ලංකාවේ සංගණන 14ක් පවත්වා ඇත. 1871 සිට අවස්ථා කිහිපයකදී හැර අනෙකුත් අවස්ථාවලදී ජන හා නිවාස සංගණනය සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති සංගණන පැවැත්වීමේ ප්‍රකාශයට අනුව ලොව සෑම රටක් මෙන්ම ශ්‍රී ලංකාව ද ජන හා නිවාස සංගණනය පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලතම හා සංකීර්ණම දත්ත රුස් කිරීමේ ක්‍රියාවලිය ලෙස ජන හා නිවාස සංගණනය හැඳින්විය හැකිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසර 10කට වරක් එම දශකයේ සංගණනය පැවැත්වීම සම්බන්ධව උපදෙස්, අර්ථ දැක්වීම් හා සංකල්ප ප්‍රකාශයට පත් කරනු ලබයි. එම උපදෙස් ශ්‍රී ලංකාවට උචිත ලෙස සකස් කර ගනිමින් හා දේශීය විශේෂඥ දැනුම භාවිත කරමින් ජන හා නිවාස සංගණනය පැවැත්වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.
සංගණනයක් පැවැත්වීමේදී කිසිදු පුද්ගලයකු මග නොහැරෙන ලෙසත් කිසිදු පුද්ගලයකු දෙවරක් ගණන් නොගැනෙන ලෙසත් තොරතුරු රුස්කිරීම සිදු කළ යුතු වේ. මෙම අරමුණ සපුරා ගැනීම සඳහා ජන හා නිවාස සංගණනය අදියර කිහිපයක් යටතේ සිදු කරනු ලබයි.
1. සිතියම් සකස් කිරිමේ අදියර
2. ලැයිස්තුගත කිරීමේ අදියර
3. ගණන් ගැනීමේ අදියර
4. දත්ත ප්‍රචලිත කිරීමේ අදියර
සිතියම් සකස් කිරීමේ අදියරේ කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මේ වනවිට එහි සියලු කටයුතු අවසන් වී ඇත.
මෙවර සිතියම් සකස් කිරීම සිදු කරන ලද්දේ GIS තාක්ෂණය යොදා ගනිමින් වන අතර සිතියම් සකස් කිරීමේ අදියර අවසන් වීමත් සමඟ දෙපාර්තමේන්තුව සතුව භූ අවකාශීය දත්ත පද්ධතියක් පැවතින නිසා රටේ සංවර්ධන කාර්යයන්හිදී නව තාක්ෂණය සමඟ යමින් කටයුතු කිරීමට එය විශාල රුකුලක් වනු ඇත. මෙම සිතියම් මුළු දිවයිනම රටේ කුඩාම පරිපාලන ඒකකය වූ ග්‍රාම නිලධාරී කොට්ඨාසය පාදක කර ගනිමින් ඒවා “සංගණන කාණ්ඩ“ නම් වූ තවත් කුඩා ප්‍රදේශවලට වෙන්කර සිතියම්ගත කර තිබීම මෙහි විශේෂත්වයකි.
නව තාක්ෂණය ඔස්සේ යමින් සිතියම් සකස් කිරීමත් සමඟ එළඹෙන වසරේ කෙරෙන සංගණනය සඳහා මෙවර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වතාවට සංගණන තොරතුරු රුස්කිරීම ටැබ්ලට් පරිගණක භාවිතයෙන් සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.
සංගණනයේ දෙවැනි අදියර වන ලැයිස්තුගත කිරීමේ අදියරේදී සිතියම් පාදක කර ගනිමින් ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම ප්‍රථමයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව, ලැයිස්තුගත කිරීමේ අදියරේදී සහභාගි වන නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු 2023 වර්ෂයේ ජනවාරි මස ආරම්භ කිරිමට නියමිතය.
එහි ක්ෂේත්‍ර කටයුතු 2023 වර්ෂයේ මාර්තු මස ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇත. මෙසේ සංගණනයේදී සකස් වන මෙම “ගොඩනැගිලි ලැයිස්තුව“ ඉදිරියේදී පවත්වනු ලබන සියලු සමීක්ෂණ සඳහා නියැදින් තෝරා ගැනීමට භාවිත කිරීමට අපේක්ෂා කරයි.
මෙසේ සකස් කරන ලද ගොඩනැගිලි ලැයිස්තුව පාදක කර ගනිමින් පුද්ගලයන් සහ නිවාස පිළිබඳව තොරතුරු රුස්කිරීම ගණන් ගැනීමේ අදියරේදී සිදු කරනු ලබයි. ඒ අනුව, ගණන් ගැනීමේ අදියරෙහි පුහුණු වැඩසටහන් 2023 වර්ෂයේ ආරම්භ කිරීමටත් එහි ක්ෂේත්‍ර කටයුතු 2024 වර්ෂයේ සිදු කිරීමටත් නියමිතය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව ජන හා නිවාස සංගණනය පවත්වනු ලබන්නේ සංගණන ආඥා පනත මගින් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල ප්‍රකාරවය. ඒ අනුව, මේ වන විටත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් “සංගණන අධිකාරී'' ලෙස පත් කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජන හා නිවාස සංගණනයක් වැනි විශාල ක්‍රියාවලියක් සිදු කිරීම දිස්ත්‍රික් පරිපාලනයේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන්නකි. ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්/ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් “සංගණන කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් / සහකාර කොමසාරිස්'' තනතුරු නාමවලට පත් කර ඇත.
එමෙන්ම, සංගණනයෙහි තොරතුරු රුස්කිරීම සඳහා ඔබේ නිවෙස් වෙත පැමිණෙන නිලධාරීන් හට තම අනන්‍යතාවය තහවුරු කිරීමට දෙපාර්තමේන්තුව විසින් විධිමත් පත්වීමේ ලිපියක් සහ හැඳුනුම්පතක් ලබා දෙනු ඇත. එමගින් තොරතුරු රුස්කිරීමට ඔබේ නිවෙසට පැමිණෙන නිලධාරියා පහසුවෙන් හඳුනාගත හැකිවනු ඇත. සංගණන නිලධාරියාට පැකිලීමකින් හෝ සැඟවීමකින් තොරව තොරතුරු අනාවරණය කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි.
සංගණන ආඥා පනත අනුව, යම් පුද්ගලයකු විසින් ලබා දෙනු ලබන කිසිදු තොරතුරක් එම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය අනාවරණය වන පරිදි වෙනත් පාර්ශ්වයකට ලබා දීමට නොහැකිය. ඒ අනුව, තොරතුරු රුස්කිරීම සඳහා පැමිණෙන සෑම නිලධාරියකුම එසේ රැස් කරනු ලබන තොරතුරුවල රහස්‍යභාවය රුක ගැනීමට බැඳී සිටියි. එනිසා, සංගණනය සඳහා තොරතුරු ලබා දීමට මහජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජීවත්වන සෑම පුරවැසියකුම නිවැරදි තොරතුරු ලබා දීමට ද මෙම සංගණන ආඥා පනත යටතේ බැඳී සිටියි.
ජන හා නිවාස සංගණනයක් මගින් රැස්කරන තොරතුරු ජනගහණ ප්රක්ෂේපණ, අධ්‍යාපනය, සෞඛ්‍ය, නගර සැලසුම්කරණය, මැතිවරණ සීමා නිර්ණය කිරීම වැනි විවිධ ක්ෂේත්රයන්හි සැලසුම් සකස් කිරීම, දැනට පවතින සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම වැනි කාර්යයන් සඳහා ඉතා වැදගත් වේ. රටේ සංවර්ධන ක්‍රියාවලි සැලසුම් කිරීම හා ප්‍රතිපත්ති සම්පාදනයට අත්‍යවශ්‍ය දත්ත මූලාශ්‍රයක් වන මෙම ජන හා නිවාස සංගණනයේදී අදාළ දත්ත ලබා දීමත් ඒවා නිවැරදි ලෙස ලබා දීමත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔබගේ අනිවාර්ය වගකීමක් වනු ඇත.
සකීෆ් සාම්