2022 නොවැම්බර් 27 වන ඉරිදා

යුෙරා්පයේ කුඩුකාරයෝ වැඩිවෙලා

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 98

ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම ගැටලුවක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුරට තරුණ පිරිස් විශාල ලෙස ඇබ්බැහි වීමයි. මත් පෙති භාවිතය තරුණ ප්‍රජාව අතර ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර මේ වනවිට එය පාසල් ළමුන් අතරද පැතිර ගොස් තිබේ. ලොව පුරා මහත් ව්‍යසනයක් ලෙස පැතිර යන මත් උවදුර නිසා විනාශ වූ තරුණ ජීවිත සංඛ්‍යාව අති විශාලය. මේ වන විට යුරෝපා රටවලද මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණ කර තිබේ.
කොකේන් සහ මෙතම්ෆෙටමින් යුරෝපා වෙළෙඳපොළේ වර්ධනය වෙමින් පවතින අතර යුරෝපා සංගමයට අයත් රටවල ආසන්න වශයෙන් මිලියන 83.4ක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් පිළිබඳ යුරෝපා අධීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ යුරෝපා මත්ද්‍රව්‍ය වාර්තාව මගින් අනාවරණ කර තිබේ. යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් සපයන ලද තොරතුරු ඇසුරින් එළිදක්වා ඇති එම වාර්තාව මගින් මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට හොඳින් සූදානම් විය යුතු ආකාරය පිළිබඳ විශ්ලේෂණයක්ද අන්තර්ගතය. 

යුරෝපා සංගමයට අයත් රටවල මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇත්තේ ඒවා පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව මත යැයි එම වාර්තාව පෙන්වා දෙයි. යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 15ත් 64ත් අතර වැඩිහිටියන්ගෙන් 29% ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටිති. කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති අතර ඒ අනුව පිරිමි මිලියන 50.4ක්ද කාන්තාවෝ මිලියන 33.ක්ද මත්ද්‍රව්‍ය භාවිත කරති.

යුරෝපා ප්‍රජාව තුළ වැඩියෙන්ම භාවිත වන මත්ද්‍රව්‍ය වන්නේ කංසාය. මිලියන 22 පමණ පිරිසක් පසුගිය වසරේ කංසා භාවිත කර තිබේ. එම වසරේ කොකේන් භාවිත කර ඇති වැඩිහිටි ප්‍රජාව මිලියන 3.5කි. මිලියන 2‍.6ක් මෙතම්ෆෙටමින් ද, මිලියන 2ක් ඇම්ෆෙටමින් ද මිලියනයක් හෙරොයින් වැනි වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයටද හුරු වී සිටිති.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් හතරෙන් තුනක් අධිමාත්‍රවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බව 2020දී අනාවරණය වී තිබේ. කැටමින්, GHB (gamma hydroxybutyrate) සහ GBL (gamma butyrolactone) වැනි ඖෂධ වර්ගද උත්තේජකයන් ලෙස භාවිත කිරීමට ඇතැම් පිරිස් හුරු වී ඇති අතර මෙම ඇබ්බැහි තත්ත්වය හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලු, ජීවිත හානි, තරුණ අපරාධ සහ සූරාකෑම වැනි අවදානම් තත්ත්වයන් නිර්මාණය කර තිබේ.

මත්ද්‍රව්‍ය අර්බුදයට ඖෂධ වෙළෙඳපොළේ නව්‍යකරණය ද බලපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. ගෝලීයකරණය හේතුවෙන් 2020 වසරේ යුරෝපා සංගමය තුළ ඖෂධ නිෂ්පාදනය ආයතන 350කට වැඩි සංඛ්‍යාවක් දක්වා පුළුල් වූ අතර ඇතැම් අපරාධ කල්ලිද ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ වී තිබේ. උදාහරණයක් ලෙස මෙක්සිකානු අපරාධ කල්ලියක් යුරෝපා සංගමය තුළ කෘත්‍රිම ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ වී ඇති අතර එවැනි පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවදානමක් පවතී.

යුරෝපයේ වැඩියෙන්ම ප්‍රචලිත මත්ද්‍රව්‍ය වන්නේ කංසා වන අතර එය රටින් රටට වෙනස් වේ. මෝල්ටාවේ සියලුම වැඩිහිටියන්ගෙන් 4.3% ක් පමණක් කංසා භාවිත කරන අතර ප්‍රංශයේ 44.8% ක් පමණ පිරිසක් කංසා භාවිතයට යොමුවී සිටිති. මේ වන විට ස්වාභාවික කංසා සමඟ මිශ්‍ර කරන ලද කෘත්‍රිම කංසාද යුරෝපය පුරා අලෙවි වේ. මේවා ඉතා විෂ සහිත විය හැකි බව පෙන්වා දෙන වාර්තාව 2020 ජූලි මාසයේ සිට යුරෝපා සංගමයේ රටවල් 8කින් මෙම විෂ සහිත කෘත්‍රිම කංසා හඳුනාගෙන ඇතැයි සඳහන් කරයි. කෘත්‍රිම කංසා අතර MDMB-4enPINACA නමැති වර්ගය වැඩි වශයෙන් හඳුනාගෙන ඇති වර්ගය වන අතර ADB-BUTINACA 2021 දී වඩාත් සුලභ වර්ගය විය.

2020ට සමගාමීව 2021 කොකේන් භාවිතයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2020 වසරේ මත්ද්‍රව්‍ය භාවිත කරන ලද පුද්ගලයන් සඳහා ලබා දුන් ප්‍රතිකාරවලින් 15% ක් ලබා දී ඇත්තේ කොකේන් භාවිත කළ පුද්ගලයන්ටය. බොහෝ යුරෝපා රටවල ක්‍රුක් නමින් හැඳින්වෙන කොකේන් වර්ගය ජනප්‍රිය වී තිබේ. අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි සහ කොන්වීමට ලක් වූ කණ්ඩායම් අතර මේවා භාවිතය වැඩිය. 2020 යුරෝපයේ කොකේන් භාවිත කරන පිරිස 2016 සිටි ප්‍රමාණය මෙන් තුන් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. බෙල්ජියම, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවල ක්‍රුක් කොකේන් භාවිතයේ වර්ධනයක් පෙන්නුම් කරයි.

ඖෂධ වෙළෙඳපොළ ව්‍යාප්තවීමත් සමඟ අනාරක්ෂිත කෘත්‍රිම කැතිනොන් නමැති උත්තේජක මත්ද්‍රව්‍ය වෙළෙඳපොළේ පවතී. 2021 වසරේ මෙම කැතිනොන් (benzoylethanamine) වර්ග 162ක් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් පිළිබඳ යුරෝපා අධීක්ෂණ මධ්‍යස්ථානය මගින් හඳුනාගෙන තිබේ. 3-MMC (3-Methylmethcathinone) සහ 3-CMC (3-Chloromethcathinone) නමැති  උත්තේජක වර්ග වසර ගණනක් පුරා වෙළෙඳපොළේ අලෙවි වූ අතර 2020 වසරේ ඒවායේ අලෙවියේ වර්ධනයක් පෙන්නුම් කළේය. මෙම ඖෂධ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් කර තිබිණි. නෙදර්ලන්තයේ මේවා භාවිතය හේතුවෙන් ඇති වූ බවට නිගමනය කළ හැකි විෂවීම් 2010 වසරේ 10ක් වාර්තා වූ අතර 2020 දී එය 64ක් විය.
පසුගිය දශකය තුළ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් යුරෝපා රටවල අවම වෙමින් පවතී. 2020 වසරේ හෙරොයින් එන්නතට හුරුවී ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගල සංඛ්‍යාව 15%ක් පමණ වූ අතර 2013 එම සංඛ්‍යාව 35%ක් විය. ඩාක්නට් වෙළෙඳපොළ (dark web black markets - නීතිවිරෝධී භාණ්ඩ අලෙවි කරන අන්තර්ජාල වෙළෙඳපොළ - මේවායේ භාවිත වන්නේ ක්‍රිස්ටොකරන්සි හෙවත් ගුප්තකේතන මුදල්ය.) ඔස්සේද මත්ද්‍රව්‍ය වෙළෙඳාම සිදු කෙරේ. කොවිඩ් වසංගතය, නීතිය බලාත්මක වීම වැනි සාධක මත මේ වන විට ඩාක්නට් වෙළෙඳපොළ යම් මට්ටමක පසුබෑමකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. 2020 වසරේ ඩාක්නට් වෙළෙඳපොළ මත්ද්‍රව්‍ය අලෙවිය මගින් දිනකට යුරෝ මිලියනයක් ඉපැයූ අතර 2021 එය දිනකට යුරෝ 30,000 දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

නීතිවිරෝධී ලෙස අබිං සහ හෙරොයින් නිපදවන ලොව විශාලතම නිෂ්පාදකයා ඇෆ්ගනිස්තානයයි. යුරෝපා රටවලට වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ ඇෆ්ගනිස්ථානයෙනි. 2021 ජූලි මාසයේ වාර්තා වූ පරිදි හෙක්ටයාර් 170,000ක් පුරා ඔවුහු පොපි වගා කරති. එය සමස්ත ලෝක ඕපියම් නිෂ්පාදනයෙන් 85%ක ප්‍රමාණයකි. මහා පරිමාණ මෙතම්ෆෙටමින් නිෂ්පාදනයද ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වේ.

European Drug Report – Trends and development වාර්තාව ඇසුරිණි

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04