කාලයක් තිස්සේ සිදුවන විදුලිය කප්පාදුවට තවමත් නැවතීමක් නැත. වරින්වර කපන කාලය අඩුවැඩිවෙමින් දිනපතාම විදුලිය කැපෙයි. විදුලිබල මණ්ඩලය විදුලිය කැපීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ඉන්ධන නොමැතිවීම නිසා බලාගාර ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වී තිබීම හා රටේ පවතින වාතාවරණය මත විදුලිය කප්පාදුව සිදුකරන බවටය. විදුලිබල මණ්ඩලය විශාල ලෙස අලාබ ලබන බව පවසමින් පසුගිය දිනවල විදුලි බිල 75%කින් (වෘත්තීය සමිති කියන විදිහට 27% සිට 550% දක්වා ප්‍රමාණයකින්) ඉහළ දැම්මේ ජනතාවට නොකඩවා විදුලිය ලබා දෙන බව පවසමිනි. එහෙත් විදුලිබල මණ්ඩලයේ දූෂණ සහ අකාර්ක්ෂමතාව හේතුවෙන් එය පාඩු ලබන තත්ත්වයට පත්වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි. විදුලිබල මණ්ඩලයේ පාපකර්මයට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. විදුලි කප්පාදුව තවමත් නැවතී නොමැත. පසුගිය සතියේ සිට දිනකට පැය 2.විනාඩි 20ක් දක්වා විදුලිය කප්පාදුව ඉහළ ගොස් තිබේ. මේ වන විට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කළ කමිටු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සාමාන්‍යයෙන් රටේ විදුලිය ඉල්ලුම වසරක් පාසා 5%ත් 6%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යයි. මෙරට විදුලිය පරිභෝජනය කරන පිරිස ලක්ෂ 70ක් පමණ වේ. මේ වන විට රටේ විදුලිය ඉල්ලුම යම් ප්‍රමාණයකින් පහත වැටී තිබේ. ඊට හේතු වී ඇත්තේ විදුලි බිල වැඩිවීම මත ගෘහ විදුලි පරිභෝජනය අවම වීම සහ සුළු පරිමාණ කර්මාන්ත වැසී යාමය. මේ වන විට පවතින්නේ සාමාන්‍යයෙන් සැපයිය යුතු විදුලි ඉල්ලුමට සාපේක්ෂව 10%ක 15% පමණ අඩු ඉල්ලුමකි.
ශ්‍රී ලංකාවේ අවසන් වරට විදුලි බලාගාරයක් ඉදිවූයේ 2015 අගභාගයේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වැනි අදියරය. ඉන්පසු කිසිදු එක දිගට ක්‍රියාත්මක කළ හැකි ස්ථායි බලාගාරයක් ඉදි කෙරුණේ නැත. මන්නාරමේ ඉදි කළ සුළං විදුලි බලාගාරය ස්ථායි බලාගාරයක් නොවේ. අලුතින් ස්ථායි විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් රටේ විදුලිය ඉල්ලුම සරිලන විදුලිය සැපයුමක් ලබා දීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැත. විදුලිය කප්පාදුවකට යාමට සිදුව ඇත්තේ මෙම පසුබිම යටතේය.
දැනට ක්‍රියාත්මක විදුලිය කප්පාදුව ඉවර වන්නේ කවදාද? අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරි සංගමයේ සභාපති කේ.ජී.යූ. නිශාන්ත මහතාගෙනි. විදුලි කප්පාදුව කෙදිනක අවසන් වේදැයි කිසිවකුට කිව නොහැකි යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
''දැන් සිදුවෙලා තිබෙන්නේ ඉල්ලුම අනුව සැපයුම ලබා දීමට නොහැකි තත්ත්වයට වැඩිය වෙනත් තත්ත්වයක්. රටේ සියලුම බලාගාර ක්‍රියාත්මක කළහොත් රටේ ඉල්ලුම සපුරාලිය හැකියි. එහෙත් වැරදි තීන්දු තීරණ ගැනීම නිසා විදුලිය නිෂ්පාදනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා. අපේ බලාගාර පද්ධතිය තාප සහ පුනර්ජනනීය වශයෙන් දෙකොටසකට වෙන් කළ හැකියි. තාප බලාගාරයකින් විදුලිය ඒකකයක් නිපදවීම සඳහා වැය වන මුදල රුපියල් 50කට වඩා වැඩියි. ගල් අඟුරු බලාගාරයෙන් ඒකකයක් නිපදවන්න රුපියල් 40ක් පමණ වැය වෙනවා. විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන්නේ අහඹු සිදුවීමක් නිසා නොවෙයි දීර්ඝ කාලයක සිට අපගේ සැලසුම්වලට අනුගත නොවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයට විකල්පය වන්නේ පුනර්ජනනීය බලශක්තියට යොමු වීමයි. එහෙත් දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිමය තීන්දු සහ නිලධාරීන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි දක්වන ලද මන්දෝත්සාහි බව නිසා එම බලශක්තිය වැඩි වැඩියෙන් ලබා ගැනීමට අපේ අය උනන්දු වුණේ නැහැ. පුනර්ජනනීය බලශක්තිය සඳහා වැය වන්නේ රුපියල් 30කට වඩා අඩු මුදලක්. අප පුනර්ජනනීය බලශක්තිය වැඩි කරගෙන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදෙන දිනයක් පැමිණෙන තුරු විදුලිය කප්පාදුව දිගින් දිගටම පවතීවි. කාර්යක්ෂ්මතාවතාව ඉහළින්ම පවතින ඉන්ධන බලාගාරයකට ඉන්ධන ලීටරයකින් නිපදවිය හැක්කේ විදුලිය ඒකක 4ක් පමණයි. ඒ අනුව ඒකකයක් සඳහා ඉන්ධන වියදම පමණක් දළ වශයෙන් රුපියල් 100ක් පමණ වැයවෙනවා. ඉන්ධන මගින් තවදුරටත් විදුලිය නිපදවන්න ගියොත් අපි තවදුරටත් අසීරුතාවලට මුහුණ පානවා.
පසුගිය දිනවල ජලාශ උතුරා යන මට්ටමට ජලය තිබුණු නිසා ජලවිදුලියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි වුණා. මේ වන විට ක්‍රමයෙන් ජලය අවම වෙමින් පවතින අතර වෙන වසරවලට වඩා ඉදිරි කාලයේ දැඩි නියඟයකට යෑමේ පෙර ලකුණු තිබෙනවා. පෙබරවාරි මාර්තු වැනි කාලවල දැඩි නියඟයක් ඇතිවුවහොත් අපට කිසිදු විසඳුමක් නැති විය හැකියි. එවිට විදුලිය කප්පාදුව තවත් වැඩිවේවි. ඒ නිසා කඩිනමින් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එක් කිරීමට පියවර ගතයුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.
සාමාන්‍යයෙන් විදුලිය පරිභෝජනයේ උච්ඡතම කාලය වන්නේ රාත්‍රි 8 සිට රාත්‍රි 10 දක්වා අතර කාලයයි. එම කාලය තුළ රටේ සියලුම විදුලි බලාගාර ක්‍රියාත්මක නොවුවහොත් අවශ්‍ය ඉල්ලුම සපුරාලිය නොහැකිය. මෙම උච්චතම අවස්ථාවේ පවතින විදුලිය ඉල්ලුම කළමනාකරණ කිරීම සඳහා කිසියම් සැලසුමක් අවශ්‍ය බවත් එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පවතින නාස්තිය, දූෂණය සහ අකාර්යක්ෂමතාව මෙම පිරිවැයට එකතු වී ඇති බැවින් ඒ පිළිබඳවද විද්‍යාත්මක විගණනයක් පැවැත්විය යුතු බවත් විදුලිය ඉංජිනේරුවන්ගේ අදහස වී තිබේ..
ඉන්ධන ලබාගැනීමේ පහසුකම ඇත්නම් මේ දිනවල පවතින විදුලිය ඉල්ලුම සපුරාලීමට විදුලි බලාගාරවලට හැකියාව පවතින බව බලශක්ති විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙයි.
''මීට වසර දෙකකට ඉහත කරන ලද පුරෝකථන අනුව නම් රටේ ඉල්ලුම සපුරාලීමට දැනට පවතින බලාගාරවලට නොහැකියි. එහෙත් ඉල්ලුම අවම වීම නිසා දැනට අවශ්‍ය විදුලිය සැපයිය හැකියි. මේ දිනවල නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමේ ප්‍රමාදයක් පිළිබඳව අසන්නට ලැබෙනවා. ඊට හේතු වී ඇත්තේ ටෙන්ඩර් ක්‍රියාවලියේ පවතින අර්බුද බවයි අසන්නට ලැබෙන්නේ. ගල් අඟුරු නිසි වෙලාවට නොලැබුණොත් නොරොච්චෝල බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ නොහැකි වෙනවා. එතකොට විදුලිය කප්පාදුව වැඩි වෙන්න පුළුවන්. නොරොච්චෝලෙට ගල් අඟුරු ගොඩබා ගත හැක්කේ වසරේ මාස හයක කාලයක් පමණයි. අනෙක් කාලවල මුහුද රළු වන බැවින් එය කළ නොහැකියි.නොරොච්චෝලේ වරායක් නොමැති හෙයින් නැව මුහුදේ නවතා ගල්අඟුරු ගොඩබාන්නේ බත්තල් මගින්. නැවක් හිස් කිරීමට බත්තල් 10ක් පමණ අවශ්‍ය වෙනවා.. බලාගාරය ඉදි කිරීමට තීරණය කර තිබුණේ ත්‍රිකුණාමලයේ. එහෙත් බලධාරින් විසින් ගන්නා ලද වැරදි තීරණ නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ ඉදිකිරීම් සිදු කළා නම් නෞකාවේ සිටම කෙලින්ම බලාගාරයට ගල්අඟුරු සැපයීමේ හැකියාව තිබුණා. නොරොච්චෝලේ බලාගාරය සඳහා වසරකට ගල් අඟුරු ටොන් මිලියන 2.2ක් අවශ්‍යයි. මෙම ප්‍රමාණය ඊසානදිග මෝසම් කාලය තුළ ගොඩබාගත යුතුයි. සැප්තැම්බර් ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස තුන තුළ එම ගල් අඟුරු අවශ්‍යතාවෙන් 40%ක්වත් මෙරටට ලැබිය යුතුයි. ඒත් තවමත් ලැබී ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයෙන් 10%ක් හෙවත් ටොන් ලක්ෂ දෙකක් බවට වාර්තා වුණා. ''
සාමාන්‍යයෙන් බලාගාරයක් නඩත්තු කටයුතු සඳහා වසරකට දින 35ක් පමණ නවතා දැමිය යුතුය. නොරොච්චෝල බලාගරයේ අවසන් ජනන යන්ත්‍රයද වසර 8ක්ට වඩා පැරණිය. එහෙයින් ඇතැම් බලාගාරවල පූර්ණ නඩත්තුවක් සිදු කළ යුතුය.
ජලවිදුලියෙන් උපරිම උත්පාදනයක් සිදු කළ හැක්කේ ඔක්තෝබර් සහ නොවැම්බර් කාලයේදීය. බොහෝ විට බලාගාරවල නඩත්තු කටයුතු සිදුකරනුයේ එම කාලවලය. ජල විදුලියෙන් වැඩි විදුලිය ධාරිතාවක් උපදවන බැවින් නොරොච්චෝල බලාගාරයෙන් සිදුකෙරෙන ජනන කටයුතු මඳක් අවමය. එහෙත් වැසි සමය අවසන් වූ විට යළි ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කළ යුතුය. ගල් අඟුරු නිසි වෙලාවට නොලැබුණහොත් විදුලිය කප්පාදු අනිවාර් යෙන්ම වැඩිවිය හැකියැයිද ආචාර්ය සියඹලාපිටිය සඳහන් කරයි.
පුනර්ජනනීය බලශක්තිය භාවිත කළද එයටද සීමා තිබේ. 2030 වසර වන විට පවතින විදුලිය ඉල්ලුම අනුව පුනර්ජනනීය බලශක්තිය මගින් මෙගාවොට් 4000ක් පමණ නිපදවිය යුතුය. එහෙත් මෙම බලාගාරවලින් වැඩි විදුලියක් සපයාගත හැක්කේ විවිධ සෘතු අනුවය. සුළං බලාගාර සඳහා වැඩියෙන් සුළං පවතින අවස්ථාවල වැඩි උත්පාදනයක් සිදු වන නමුදු හා සුළං අඩු කාලවලදී එය පහත වැටේ. සූර්ය බලශක්තියද එසේමය වළාකුළු ගහණ කාලවල උපදවිය හැක්කේ අඩු විදුලිය ප්‍රමාණයකි. ඇතැම් විට 100% සිට 20% දක්වා පහත වැටෙයි. එවැනි අවස්ථාවක අහිමිවන විදුලිය ලබාගත යුත්තේ වෙනත් බලාගාරයකිනි. එම හැකියාව ගල්අඟුරු බලාගාරයට නොමැති අතර ඇත්තේ ඉන්ධන බලාගාරවලට, ජලවිදුලි බලාගාර සහ ගෑස් බලාගාරවලටය. ශ්‍රී ලංකාවට ගෑස් බලාගාරයක අවශ්‍යතාව මේ වන විට මතුවී තිබේ.
2014 මනා අධ්‍යයනයකින් පසු ගෑස් බලාගාරයක් ඉදි කිරීම සඳහා වන වාර්තාවක් විදුලිබල මණ්ඩලය නිකුත් කළේය. සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් නවතා දැමීමෙන් පසු කොළඹ වරායෙන් පිටත මුහුදේ පාවෙන ගෑස් බලාගාරයක් ඉදි කිරීමට අවධානය යොමු වුවද එවක සිටි ජනාධිපති හා අගමැතිවරයා අතර පැවැති දේශපාලන කඹ ඇදිලි හමුවේ මේ වන තෙක් එය ඉටු නොවුණි. විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අවශ්‍ය බව පසුගියදා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ අනුවණ ක්‍රියා නිසා පීඩාවට පත්ව ඇත්තේ රටේ ජනතාවය. විදුලිය කප්පාදු කරමින්, බිල් වැඩිකොට බදු ගසා ජනතාව තලා පෙළා දමනවා හැර රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට ඔවුන්ට අවශ්‍යතාවක් නොමැති බව මෙම සිදුවීම්වලිවන් පැහැදිලිය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා