ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාවට ලොව හයවැනි ස්ථානය හිමිව ඇත. එම දත්තවලට අනුව මෙරට ආහාර උද්ධමනය 86% කි. ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය 321% කි. එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථානයේ 208% ක් සමගින් ලෙබනනය හා 158% කින් වෙනිසියුලාව පසුවෙයි.
ආහාර උද්ධමනයට අමතරව මන්දපෝෂණය අතින් ද ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවන අතර ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලොව පස්වැනි ස්ථානයට හා කලාපයේ දෙවැනි ස්ථානයට තල්ලු වී ඇත. ළමා මන්දපෝෂණය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය එක්ව කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අවුරුදු 5ට අඩු දරුවන් අතරින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1.4% ක්ද මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ දරුවන් 24.8% ක්ද පසුවන බවයි. ආහාර උද්ධමනය සහ මන්දපෝෂණය අතින් ඉතා නරක තත්ත්වයක පසුවන ලංකාවේ ඉදිරි තත්ත්වය පිළිබඳව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චම්පිකා ධර්මදාස මහත්මිය දේශයට අදහස් දැක්වුවාය.
''මේ තිබෙන උද්ධමන තත්ත්වය ඇතිව තිබෙන්නේ සප්ලයි ෂොක් නැතහොත් සැපයුමේ තිබෙන දුර්වලතා හේතුවෙන්. සැපයුම අඩුවීම ඉන් ප්‍රධාන එකක්. කිරිපිටිවල මිල ඉහළ යාමට හේතුව පෙරට වඩා ලංකාව තුළ කිරිපිටි අඩුවීම. එක් අතකින් ඩොලර් නැති නිසා කිරිපිටි ආනයනය තහනම් කර තිබෙනවා. දෙවනුව කිරිපිටි ආශ්‍රිතව දේශීය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට දේශීය කර්මාන්තවලට තවම හැකියාව ලැබී නෑ. මේ නිසා ඇතිවන සැපයුමේ හිඟය නිසා තමයි කිරිපිටි මිල වැඩිවීමක් සිදු වී තිබෙන්නේ.
තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ ගොස් තිබෙන්නේ ගෝලීය වශයෙන් තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන්. තිරිඟු පිටි අපේ රටේ නිෂ්පාදනය කරන දෙයක් නොවන නිසා ආනයනය මත පමණක් රඳා පැවතිය යුතුව තිබෙනවා. ලොව වැඩිම තිරිඟු පිටි අපනයනය කරන රටවල් අතර යුක්රේනය ප්‍රමුඛ රටක්. මේ වෙනකොට යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය නිසා ඔවුන්ගේ තිරිඟු පිටි සැපයුම නිකුත් කිරීම අසීරු වී තිබෙනවා. ලෝක තිරිඟු පිටි සැපයුමෙන් 1/3 ක් යුක්රේනයට හිමිව තිබූ නිසා ඔවුන්ගේ සැපයුම සම්පූර්ණයෙන් ඇණහිටීම හේතුවෙන් ලෝක තිරිඟු පිටි සැපයුමේ විශාල අඩුවක් වාර්තා වෙනවා. ලෝක සැපයුමේ තිබෙන මේ බිඳවැටීම ආහාර මිල වැඩිවීමට බලපා තිබෙනවා.
රට තුළ ආහාර මිල වැඩිවීමට රටේ අර්බුදයත් බලපෑවා වුණත් ගෝලීය තත්ත්වයත් සැලකිය යුතු සාධකයක් බවට පත්ව තිබෙනවා. ආහාර උද්ධමනය සහ මන්දපෝෂණය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ගෝලීයව බොහෝ රටවල් මුහුණපාන ගැටලුවක්. කොවිඩ්-19 වසංගතය නිසා ආහාර සැපයුම් ජාලය සම්පූර්ණයෙන් අඩපණ වුණා. දේශසීමා වසා දැමීමට සිදුවුණා. භාණ්ඩ ප්‍රවාහනය සීමා කෙරුණා. අඛණ්ඩව මෙවැනි ප්‍රශ්න ගණනාවකට මුහුණ පෑමට සිදුවීමත් සමඟ බොහෝ රටවල් ඔවුන්ගේ අපනයන අවම කොට තිබෙනවා. ඒ හරහා ගෝලීය වශයෙන් ආහාර සැපයුමේ අඩුවීම, හැම රටකටම නරක අන්දමින් බලපෑවා. ලංකාවට එය බරපතළ ලෙස දැනී තිබෙන්නේ මෙරට වෙළෙඳපොළේ වැඩි ප්‍රතිශතයක් ආනයන මත රඳා පැවතීම නිසයි. ලංකාව ඇතුළේ තිබෙන සැපයුම් යාන්ත්‍රණයේ තියෙන දුර්වලතාත් බලපානවා. මීට රටේ අමතරව බරපතළ ආර්ථික අර්බුදයක් පැන නැගීම මේ මොහොතේ රට තුළ මන්දපෝෂණය උග්‍රවීමට තවත් හේතුවක්. ඒ නිසා ඇතිවුණු ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර පවා ආනයනය කළ නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.
පවතින ආර්ථික අවපාතයත් හේතුවෙන් දිළිඳු පවුල්වල ජීවන තත්ත්වය පහත වැටීමත් සමඟ ඔවුන්ගේ ආහාර පරිභෝජන රටාව දුර්වල වී තිබෙනවා. මේ වෙද්දි ආහාර මිල 90% කට ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 86.9% ක්. ඉහත කාරණා තමයි පෝෂණ ගැටලුවට බලපෑවේ. මේ සඳහා විසඳුමක් මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබෙනවා. පොලී අනුපාතිකය වැඩි කර තිබෙනවා. නමුත් මුල්‍ය ප්‍රතිපත්තියේ තිබෙන එක ලක්ෂණයක් තමයි එහි ඉෆෙක්ට් එක පේන්නේ ප්‍රමාද වෙලා. පොලී අනුපාතිකය ඉහළ දැමුවේ මැයි මාසයෙන් පසුව. එනිසා මේ වෙනකොටත් උද්ධමනය අඩු වී තිබෙනවා. නමුත් එහි ප්‍රතිඵලයක් හොඳින්ම ඉස්මතු වෙන්නේ තව මාස හය හතකට පසුව. 2023 අප්‍රේල් - මැයි වෙද්දි උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමට ඉඩ තිබෙනවා. ගොඩක් වෙලාවට අඩු වෙනවා.
පෝෂණ අවශ්‍යතා සඳහා මිලියන ගණනක මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙන්නේ මන්දපෝෂණය අඩු කිරීමේ බලාපොරොත්තුවෙන්. ළමා මන්දපෝෂණය, ගැබිණි මව්වරුන් අතර පවතින පෝෂණ ගැටලු සහ වැඩිහිටියන්ගේ පෝෂණ අවශ්‍යතා යන කාරණා සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක වුවහොත් මන්දපෝෂණ ගැටලුවේ පහත වැටීමක් සිදු වේවි. ආහාර උද්ධමනය සහ මන්දපෝෂණ ගැටලුවලට ක්ෂණික විසඳුමක් නැත. කිසියම් කාලවකවානුවක් පුරා ආහාර රටාව වැඩිදියුණු කිරීම සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් මාස තුනක කාලයක් ස්ථායී වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා මේ මොහොතේ කඩිනම් විසඳුම් ලෙස ආහාර සහන ලබා දීම යෝජනා කළ හැකියි. හැබැයි දැන් තිබෙන ඉලක්කම් දෙකේ උද්ධමන අගය සහ තනි ඉලක්කම් අගයකට ගන්න අවුරුදු දෙක තුනක් ගත වෙන්න පුළුවන්. උද්ධමනය කියන්නෙ එක සාධකයක් හින්දා වෙන දෙයක් නෙවෙයි. කරුණු රාශියක එකතුවක් හින්දා වෙන දෙයක්.''
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව ඉකුත් මාසය වන විට ආහාර උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඒ ඔක්තෝබර් මසට සාපේක්ෂව 12% ක පමණ අගයකිනි. ඔක්තෝබර් මස 85.6% ක් වූ ආහාර උද්ධමන අගය නොවැම්බර් වන විට 73.7% ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඉකුත් දිනෙක ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආහාර ඇතුළු සමස්ත උද්ධමන තත්ත්වය එළඹෙන වසරේ තවත් පහත යනු ඇතැයි බලපොරොත්තු වන බවයි.
එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව 2023 දී ලෝකයේ පුද්ගලයන් 23 දෙනකුගෙන් එක් අයකුට මානුෂීය සහන අවශ්‍ය වේ. එනිසා අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපත්ති වහා ක්‍රියාත්මක කර කඩිනම් විසඳුම් යොදා ආහාර උද්ධමනය පහත දැමිය යුතු වේ. උග්‍ර වෙමින් පවතින මන්දපෝෂණ තත්ත්වය පාලනය කර නොගතහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ දත්තවලට වඩා නරක අනුපාතයක් ගනු ඇත.
I සටහන - සකීෆ් සාම්