2022 දෙසැම්බර් 04 වන ඉරිදා

හිටි ගමන් නැග්ග සිගරට් අලෙවිය

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 212

බොහෝ දෙනාගේ ආදායම පහළ වැටී කබලෙන් ලිපට වැටී ඇති බවයි සැමතින්ම අසන්නට ලැබෙන්නේ. ව්‍යාපාරික ආයතන, සමාගම් ආදියටද අත්ව ඇත්තේ ඒ ඉරණමමයි. නමුත් සිගරට් නිෂ්පාදන ක්ෂේත්‍රයේ බදු ආදායම වසරේ පළමු මාස නවය තුළ ඉහළ ගොස් ඇති බවත් සිගරට් අලෙවිය සියයට 30.1කින් ඉහළ ගොස් ඇති බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023 හි සඳහන් වේ. එය සතුටු විය හැකි දෙයක් නොවේ. එක් අතකින් බල්ලො මරලා හරි සල්ලි හොයන වැඩක් බවයි පෙනෙන්නේ. එමෙන්ම සෞඛ්‍ය අංශ මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක්ද මත්පැන් සහ දුම්වැටි නිවාරණයට ක්‍රියාත්මක වේ. මද්‍යසාර සහ මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ඇඩික් ආයතනය සඳහන් කරන්නේ පසුගිය කාලයේ ඔවුන් විසින් කරන ලද සමීක්ෂණවලට අනුව කොවිඩ් සමයෙන් පසු වාර්ෂිකව දුම්වැටි භාවිතය අඩුවී ඇති බවයි.

මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ 2021 නොවැම්බර් 12දා සිට ක්‍රියාත්මක සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම බවයි එම වාර්තාව සඳහන් කරන්නේ. බදු ඉහළ නැංවූවා නම් සිගරට් මිල ඉහළ යන අතර එවිට සිදුවිය යුත්තේ අලෙවිය අඩුවීමයි. නමුත් රජයේ ඉහත සංඛ්‍යාලේඛන අනුව සිගරට් අලෙවිය ඉහළ ගොස් ඇත. සාමාන්‍ය සිගරට්ටුවක මිල මේ වනවිට රු.85කි. මෙවර අතුරු අයවැයෙන් සිගරට් මිල ඉහළ දැමීමක් සිදුනොකළ අතර බීඩියකට රු.2ක බද්දක් පැනවීම පමණක් සිදුවිය.
අතුරු අයවැයට පෙරම මද්‍යසාර සහ මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලා සිටියේ අයවැයෙන් සිගරට් බදු අවම වශයෙන් රු. 20කින් වැඩිකර රටේ ආදායම වැඩිකර විද්‍යනුකූල බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙසයි. ඒත් එයට කන්දුන් බවක් පේන්න නැත. 

මේ ගැන පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇසුවේය. ''දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මද්‍යසාර බදුකරණය සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වාදීමට උත්සාහ කළ බව වාර්තා වූ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා සහ දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය අවම වන පරිදි බදු සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේ ද?''

''දුම්වැටි බදු වැඩිකිරීමට මහජනතාව අතර පුළුල් සහයෝගයක් පවතින බව පෙනී ගිහින් තිබෙන්නේ. 2021 සැප්තැම්බර් සිදුකළ මහජන මත සමීක්ෂණයෙන් සියයට 89.3ක් කියා සිටියේ දුම්කොළ බදු වැඩිකිරීමට මහජන ප්‍රසාදයක් තිබෙන බවයි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, දුම්කොළ සහ මද්‍යසාර ජාතික අධිකාරිය සහ විද්වතුන් පෙන්වා දෙන ආකාරයට යෝජනා කර ඇති බදු ක්‍රමවේදය අනුගමනය කර සියලුම සිගරට් වර්ගවලට තනි බදු ක්‍රමයක් හඳුන්වා දුනහොත් රජයට රුපියල් බිලියන 40ක අතිරේක බදු ආදායමක් ලැබෙනවා. ''මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ  පුබුදු වීරසේකර සඳහන් කර සිටී.

මෙරට පුද්ගලයන්ගේ දුම්වැටි භාවිතය දැඩිසේ පහළ ගොස් ඇති බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පසුගියදා පැවසුවේය. එහි සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කළේ මෙය ඉතාම හොඳ ප්‍රවණතාවක් බවයි. එහෙත් නවතම සමීක්ෂණයක් අනුව දෛනිකව මෙරට පුද්ගලයින් 06 දෙනෙකු හෙරොයින් භාවිතයට ඇබ්බැහි වන බව හෙළි වූ බවත් ඔහු සඳහන් කර සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 15%ක් දුම්පානය කරති. ඊට පිරිමි 29.4%ක්ද කාන්තාවන් 0.1%ක්ද ඇතුළත් වූහ. සමීක්ෂණය කළ වසරේදී දුම්පානයෙහි යෙදුණු පුද්ගලයන්ගෙන් හරි අඩක් සමීක්ෂණයට ආසන්න මාස 12ක කාලය තුළදී දුම්පානය අත්හැරීමට උත්සාහ කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබිණි. කොවිඩ් කාලයේ දී වාර්තා වුණේ තරුණයන් ඇතුළු විශාල පිරිසක් දුම්වැටි භාවිතයෙන් ඈත්වී ඇති බවයි. උදාහරණයක් ලෙස 2015දී කළ සමීක්ෂණයක් අනුව අපේ රටේ පිරිමින් 45.7%ක් මෙන්ම 5.3%ක් කාන්තාවන් දුම්කොළ සම්බන්ධ කුමන හෝ භාවිතයක් සිදුකර තිබුණි. ඒ වසරේ දුම්කොළ නිසා සිදු වූ මරණ මෙන්ම සෞඛ්‍ය ගැටලු නිසා රටේ පාඩුව බිලියන 180කි. 2020 සංඛ්‍යාලේඛන අනුව පිරිමින් අතර එය 36.2% දක්වා එය අඩු වී තිබේ. එමෙන්ම කාන්තාවන් සංඛ්‍යාව 4.9%දක්වා අඩු වී ඇත.

සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නේ 2000 වසරේ සිට 2018 දක්වා වසර 18ක් තුළ අලෙවි වූ සිගරට් ප්‍රමාණය මිලියන 1454කින් අඩුව තිබෙන බවයි. 2000 වසරේ අලෙවි වූ මිලියන 4604ක් වූ සිගරට් ප්‍රමාණය 2018 වනවිට මිලියන 3150 දක්වා පහළ වැටි තිබේ. ඉන් අදහස් වන්නේ විලාසිතාවක්ව තිබූ දුම්බීමේ පුරුද්ද ක්‍රමයෙන් නැතිවී යන බවකි. නමුත් පසුගියදා නිකුත් වූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරන්නේ එයට හාත්පසින් වෙනස් චිත්‍රයකි. දුම්වැටි නිවාරණ වැඩසටහන් මෙතරම් ක්‍රියාත්මක කර තිබෙද්දී එවැනි සංඛ්‍යාලේඛනයක් ලැබුණේ කෙසේදැයි පර් යේෂණ අංශ වහාම විමර්ශනය කළ යුතුය.

සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලැබුණු ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3ක් වූ අතර 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු.බිලියන 82.6ක් දක්වා සියයට 32.6කින් වර්ධනය වී ඇතැයි ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කර සිටී. දුම්වැටි අලෙවිය 2021 වසරේ පළමු මාස නවයට සාපේක්ෂව 2022 වසරේ එම සමාන කාල පරිච්ඡේදය තුළ දුම්වැටි මිලියන 1,694 සිට දුම්වැටි මිලියන 2,204ක් දක්වා සියයට 30.1 කින් වර්ධනය වී තිබේ. ඉන් අදහස් වන්නේ දුම්පානය කරන සංඛ්‍යාව හෝ පානය කරන දුම්වැටි සංඛ්‍යාව වැඩිවී ඇති බවයි.

ලංකා දුම්කොළ සමාගම පවසන්නේ  2022 මුල් මාස 09 තුළදී සමාගම රු. බිලියන 126.44ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර මෙම කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රු. බිලියන 24.21 ක් වූ බවයි. බදු ගෙවීමෙන් පසු සමාගමේ ලාභය රු. බිලියන 14.11 කි. 2022 සැප්තැම්බර් 30න් අවසන් මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ලංකා දුම්කොළ සමාගම රජයට රු.බිලියන 94.24ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.10 ක් ආදායම් බදු ලෙසත් ගෙවා තිබේ. 

දුම්වැටි භාවිතය පාලනය සඳහා රජය ගෙන ඇති පියවර කිසිදු ප‍්‍රගතියක් ලබා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කලක පටන්ම චෝදනා කර සිටී. ලොවටම ප‍්‍රශ්නයක් වී ඇති දුම්වැටි පාලනය කිරීමට ලෝකයේ රටවල් 179 ක් ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට අස්සන් තබා ඇති අතර මේ ප‍්‍රඥප්තියට අස්සන් කළ මේ කලාපයේ මුල්ම රට ශ්‍රී ලංකාවයි.

දුම්වැටි භාවිතය ලෝකයේ සිදුවන පුද්ගල මරණ සඳහා ප‍්‍රධාන හේතුවක් බවයි සැලකෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ දුම්වැටි සහ දුම්කොළ අාශ්‍රිත ආශි‍්‍රත රෝග හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 55 දෙනෙකු පමණ මෙරටදී මියයන බවයි. බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි සඳහන් කරන්නේ ලෝකය පුරා මිලියන 08ක් පමණ ජනතාව වසරකට දුම්කොළ දුම්වැටි ආශ්‍රිත රෝග නිසා මිය යන අතර ලංකාවේ වාර්ෂිකව 20,000කට ආසන්න පමණ පිරිසක් දුම්කොළ දුම්වැටි ආශ්‍රිත රෝග නිසා මියයන බවයි. දුම්පානය කරපු අයෙගෙන් සමීක්ෂණය කළවිට හඳුනගෙන තියෙනවා 80%දෙනා පළමු දුම්වැටිය භාවිතා කරලා තියෙන්නේ අවුරුදු 18ට අඩු වයසෙන් කියලා. තරුණ වයසෙදි දුම්කොළ දුම්වැටි සඳහා යොමු වුණාම ඇබ්බැහි වීම් තත්ත්වයට යන්න තිබෙන අවස්ථාවත් වැඩියි.'' වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි සඳහන් කර සිටී.

වර්ෂ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ස්ථාපිත කළෙත් සිගරට්ටුවෙන් ජනතාව ඈත් කිරීමටයි. එවන් කටයුතුත් නිරන්තරයෙන් සිදුවන අතර දුම්වැටි අලෙවිය ඉහළ යාම සිදුවූයේ කෙසේදැයි ආණ්ඩුවම විමසා බැලිය යුතුය.

I කුසුම්සිරි විජයවර්ධන