2022 දෙසැම්බර් 04 වන ඉරිදා

දේශීය සහල් තිබියදී රට සහල් කවන්නේ ඇයි

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 96

පසුගිය සමයේ අපේ රටේ විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණේ සහල් මිල ජනතාවට දරාගන්නට බැරිවන තරමට ඉහළ නගිනු ඇත යන්න පිළිබඳවය. එසේම සහල් හිඟයක් ඇතිවනු ඇතැයිද අනාවැකි පැවසුණි. එහෙත් එවැනි තත්ත්වයක් උද්ගත වූයේ නැත. අද කතාවට මාතෘකාව වී ඇත්තේ රටේ දේශීය සහල් ඕනෑ තරම් තිබියදී පිටරටින් ආනයනය කර දේශීය සහල්වලට වඩා අඩු මිලට අලෙවි කිරීමය. අඩු මිලට සහල් ගන්නට තිබේ නම් එය දුප්පත් පාරිභෝගිකයාට සහනයකි. එහෙත් ආනයනික සහල් අඩු මිලට අලෙවි කිරීම නිසා දේශීය ගොවියා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයාට හානියක් සිදුවේ නම් එය ද සුළු කොට තැකිය හැක්කක් නොවේ. වගකිවයුත්තන් තීරණ ගත යුත්තේ මෙම දෙපාර්ශ්වයටම තුලනය වන පරිදි බව කිව යුතුය.

මෙරටට ආනයනය කරන සහල් මිල පසුගිය මැයි මාසය වනවිට 64.3% කින් පහත වැටී ඇති බව වාර්තා වෙයි. 2021 වසරේ මැයි මාසයේ අප ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 873.4 ක්ව තිබී ඇති අතර, 2022 වසරේ මැයි වනවිට ඩොලර් 312.35 දක්වා විශාල ලෙස පහළ වැටී තිබේ. මෙරටට ආනයනික සහල් ගොඩබාන විට පසුගිය මැයි මාසයේ කිලෝවක මිල රුපියල් 174.38ක්ව තිබුණද මේ වසරේදී එම මිල රුපියල් 112.12 දක්වා පහත වැටී ඇති බව වාර්තා විය. ඉදිරියේදී මෙම මිල තවත් පහළ වැටෙනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. එසේ වුවද මෙම මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබේද යන්න පිළිබඳ සැකයක් මතු වී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට වාර්ෂික සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි. එක් අයෙක් වසරකට පාරිභෝජනය කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 110 ක් පමණ වෙයි. මෙම අවශ්‍යතාවයෙන් 75% - 80% සැපිරීම සඳහා දේශීය සහල් අස්වැන්න ප්‍රමාණවත් වෙයි. රසායනික පොහොර හා පලිබෝධනාශක භාවිතය තහනම් කිරීම නිසා 2021 යල කන්නයේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 2.08 දක්වා පහළ වැටුණද මේ වනවිට එම තත්ත්වය ක්‍රමයෙන් මගහැරෙමින් පවතී. ඒ නිසා දිගටම සහල් ආනයනය කිරීම අවශ්‍යද යන්න ගැටලුවක් වී තිබේ. එහෙත් බලධරයන් දිගින් දිගටම සහල් ආනයනය කිරීම නවතා නැත. දේශීය සහල්වල මිල පාලනයක් නොමැති නිසා එම සහල්වල මිල ඉහළ මට්ටමක පවතින අතර ආනයනික සහල්වල මිල පහළ මට්ටමක පවතී. ලංකා සතොස ආයතනවල වැඩි වශයෙන් අලෙවි වන්නේ ආනයනික සහල්ය. පාරිභෝගිකයා මිල අඩු නිසා ආනයනික සහල්වලට නැඹුරුවීම වැඩි වී තිබේ. ආනයනික සහල් දිගටම ගෙන්වන්නේ බලධරයන් කොමිස් ලබාගත හැකි නිසා බවටද චෝදනා එල්ල වේ. පවතින තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ කිහිප දෙනකු සමඟ කළ සංවාදයක් මෙසේ පළ කරමු.

සහල් හිඟයක් නොවේ: කොමිස් හිඟයක්
එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

''රජය කිසිදු පාලනයකින් තොරව සහල් ආනයනය කිරීම නිසා ජනතාව වැඩි වශයෙන් රට හාල් පාරිභෝජනයට නැඹුරු වීමෙන් මෙරට ගොවියා මෙන්ම සහල් නිෂ්පාදකයාද හිරිහැරයට ලක්වෙලා. බලධරයන් කටයුතු කරන්නේ මේ කිසි දෙයක් නොදන්නා ගාණටයි. මේ වනවිට ආනයන සහල්වල තොග මිල රුපියල් 140 දක්වා පහළ වැටිලා. සිල්ලර මිල රුපියල් 160 බවට පත්වෙලා. දේශීය වෙළෙඳපොළේ මේ වනවිට 60%ක් පමණ අලෙවි වන්නේ ආනයනික සහල්. මේ නිසා ගොවියාට සහතික මිලට තියා එයට අඩුවෙන්වත් වී අලෙවි කරන්න බැරිවෙලා.

යල කන්නයේ අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් තිබියදී දිගටම සහල් ගෙන්වනවා. රටේ ඩොලර් අර්බුදයක් ඇතිවෙලා අත්‍යවශ්‍ය බෙහෙත් පවා ගෙන්වීමට නොහැකිව තිබියදී සහල්වලට වියදම් කරනවා. මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ගෙනත් තියෙනවා.

පසුගිය ඔක්තෝබර්වල රුපියල් 50ට තිබූ සහල් ආනයන බද්ද කිලෝවට ශත 25ට බස්සවා අවශ්‍ය කෙනකුට ආනයනය කරන්න නිදහස දුන්නා. 2021 වසරේදී රටේ වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් දස ලක්ෂයක අතිරික්තයක් ඇතිවුණා. මේ වසරේ එයටත් වඩා වැඩි වෙයි. ආනයනික සහල්වලින් දෛනිකව සත්ව ආහාර මෙට්‍රික් ටොන් 1000ක් නිපදවන අතර බිත්තර සහ කුකුළු මස් මිල අසාධාරණ ලෙස ඉහළ යාමට මෙයද හේතුවක් වී තිබෙනවා. කවුරු ලොකු පුටුවල හිටියත් සහල් ගෙන්වන්නේ සහල් හිඟයක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බව පෙනෙනවා. මේ වනවිට රටේ වී මෝල්වලින් 30%ක ප්‍රමාණයක් තමා වැඩ කරන්නේ. රසායනික පොහොර තහනම නිසා වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ අඩු වූවා නම් ලක්ෂ 8ක් ගෙනාවේ ඇයිද? කෙසේ නමුත් රසායනික පොහොර තහනමෙන් සිදුවූ හානියට වඩා විශාල හානියක් අවිධිමත් ලෙස සහල් ආනයනය කිරීමෙන් සිදුවෙනවා.''

රට හාල් නිසා වී මිල බැහැලා
සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

''අපේ ජනතාවට සහල් කිලෝ ලක්ෂ 65ක් දිනකට අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය මසකට මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකයි. වසරකට ලක්ෂ 24 යි. මෙම සහල් ප්‍රමාණය නිපදවීමට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් අවශ්‍ය වෙනවා. එහෙත් අද වනවිට මෙම තත්ත්වය පහළ බසිමින් පවතිනවා. පසුගිය කාලයේ පොහොර ගැටලුව සහ නිෂ්පාදන වියදම් අඩුවීම හේතු වුණා. මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් පමණ ආනයනය කර තිබෙනවා. මෙලෙස පිටරටින් සහල් ගෙන්වීම සහ ජනතාව පාරිභෝජනය අඩුකර තිබීම නිසා සහල් ඉල්ලුම අඩුවෙලා තිබෙනවා.

මෙලෙස ඉල්ලුම අඩුවීම නිසා සහ රටෙන් සහල් ගෙන ඒම නිසා රටේ වී මිල පහළ බැස තිබෙනවා. මේ වනවිට වී කිලෝව රුපියල් 90 දක්වා පහළ බැසලා. ඉදිරි දිනවල අස්වැන්න එළියට එන විට මිල තවත් අඩුවීමෙන් ගොවියා අමාරුවේ වැටෙනවා. රජය මෙම තත්ත්වය නොදන්නවා නොවෙයි. දැනගෙන තමා සහල් ආනයනය කරන්නේ. එලෙස ගෙනෙන සහල් දේශීය සහල්වලට වඩා අඩු මිලට වෙළෙඳපොළට දමන විට අපේ ගොවියාට දෙවියන්ගේ පිහිට තමා.

බොරුවටයි වී වලට සහතික මිලක් දාලා තියෙන්නේ. රජයට සහල් ගන්න සල්ලි නැතිනම් මොකටද පාලන මිලක් දැම්මේ. රජයට තියෙන්නේ සහල් වෙළෙඳපොළට අත නොගහා සිටින්නයි. මෙයින් වෙන්නේ සහල් වෙළෙඳපොළ උඩු යටිකුරු වීමක්. සහල් ඇති තරම් තිබෙන බව දැන දැනත් ආනයනය කරන්නේ බලධාරීන්ට කොමිස් ගැහිල්ල කිරීමට ඉඩ ලැබෙන නිසා මිස ජනතාවට ආදරයට නොවෙයි. කෘෂිකර්ම ඇමැතින්, වෙළෙඳ ඇමැතින් විවිධ කතා කියනවා. මේවාට බලපාන්නේ පෞද්ගලික වාසි මිසක ජනතා යහපත නොවෙයි. යල කන්නය වන විටවත් ආනයනය සීමා නොකළොත් විශාල අර්බුදයකට යාවි.

ගොවියාගේ ආරක්ෂාව වැදගත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ

''සහල් යම් ප්‍රමාණයක් ආනයනය කළ යුතු යැයි පසුගිය කාලයේ තීරණය කළේ යල හා මහ කන්න අතරදී ඇතිවිය හැකි යැයි සිතෙන හිඟය ආවරණය කිරීම සඳහා පමණයි. සහල් හිඟයක් ඇතිවේ යැයි තීරණය කරලා මුල් මාස හය තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ගෙනාවා. ඒත් එයට වඩා ආනයනය කරන්නට අවශ්‍ය නැහැ. දෙසැම්බර් අග දක්වා අප ළඟ ඇති සහල් තොග ගණනය කරලා ලබන වසරට තවත් අවශ්‍යද කියලා සොයා බලා ගෙන්විය යුතුයි. දැන් සිදුවන්නේ ආනයනය කිරීමට ඇති නිදහස පාවිච්චි කරමින් අවිචාරවත් ලෙස ගෙන්වීමයි. දැනට ඩොලර් හිඟයක්, විදේශ විනිමය හිඟයක් උද්ගතව තිබියදී අපනයනය සීමා කළ යුතු වෙනවා. එම තත්ත්වය සහල් ආනයනය කිරීමේදී සලකා කටයුතු කළ යුතුයි.

කෙසේ වුවත් සියල්ලටම වඩා රටට බත සපයන දේශීය ගොවියා ආරක්ෂා කිරීම වැදගත්. එසේම පාරිභෝගිකයාටද සාධාරණ මිලට සහල් ලබා දිය යුතුයි. අද රටේ ජීවන ගැටලු උග්‍ර වී තිබියදී රටේ නිෂ්පාදනය කර සහල් ටික හෝ අඩු මිලට දිය යුතුය යන්න ගැන තර්කයක් නැහැ. අපේ සියලු තීරණ ගත යුත්තේ මේ දෙඅංශයම බේරාගන්නා හැටියටයි.''

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04