2022 දෙසැම්බර් 04 වන ඉරිදා

ඉස්කෝලෙට රිංගන අලුත්මාරයා අයිස්

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 494

විෂ මත්ද්‍රව්‍ය වර්ග රට පුරා බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන බව වාර්තා වේ. ලක්ෂ හතර හමාරකට අධික තරුණ පිරිසක් මේවාට ඇබ්බැහි වී සිටින බවද සනාථ වී තිබේ. රටපුරා පාසල්වල ගැහැනු පිරිමි භේදයකින් තොරව දුවා දරුවන් සෑහෙන පිරිසක් අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට සාධක පවතී. පාසල් සිසුවකු සිරුරට මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් එන්නත් කරගැනීම නිසා හටගත් ආසාධනයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම හරහා එහි බරපතළම සිදුවීම යාපනය කෝපායි ප්‍රදේශයන් වාර්තා වී තිබුණේ ඉකුත් 29 වැනිදාය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවෙකි. එම සිසුවා උණ රෝගයක් බව පවසා යාපනය රෝහලට ඇතුළත්ව තිබෙන අතර පසුව හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළී මියගොස් ඇත. අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සිරුරට මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් එන්නත්කර ගැනීම නිසා මරණය සිදුව ඇති බවකි. 

මේ අනුව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ ඇතිවූ අසාත්මිකතා නිසා ගතවූ මාස 11 තුළ යාපනයේ පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බවකි. මේ අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී පමණක් මතට ඇබ්බැහි වූ පාසල් දරුවන් 81 දෙනකු ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙන බවය. මෙසේ ප්‍රතිකාර සඳහා යොමුකළ දරුවන් පිරිස වයස අවුරුදු 10ත් 19ත් අතර පසුවන්නන් බවත්, ඔවුන් අතර තිදෙනකු වයස අවුරුදු 10 - 14 අතර පසුවන බවද වාර්තා විය. මේ ආකාරයට රටපුරා ජනප්‍රිය පාසල් රැසක ඉගෙනුම ලබන සිසු සිසුවියන් වැඩි පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබේ. ඒ අතර බරපතළ ලෙස තහවුරු වී ඇත්තේ අට වසරට ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන ඇතැම් සිසු දැරියන් පවා අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවය. 

මෙම මත්ද්‍රව්‍ය මෙරටදී ප්‍රථමයෙන් වාර්තා වූයේ මීට වසර තුනකට පමණ ඉහතදීය. ඒ සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමක් හරහාය. ක්‍රිස්ටල්මෙත් වශයෙන්ද හඳුන්වන මෙහි විද්‍යාත්මක නාමය (methamphetamine) මෙත්ඇම්ෆිටමින් වේ. සියලු මත්ද්‍රව්‍ය අභිබවා ඇබ්බැහි කරගැනීමේ හැකියාවක් පවතින අයිස් වසර තුනක් තුළ රටට බරපතළ තර්ජනයක් එල්ලකොට තිබේ. ඒ වනවිට මෙරට පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය ඊට ගොදුරු වෙමින් තිබේ. අයිස් භාවිත කිරීමෙන් නිදිවැරීමට හැකි බවට පවතින දුර්මතය නිසා විශ්වවිද්‍යාලවල හා පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියෝ රාත්‍රියට පාඩම් කිරීමේ අරමුණින් අයිස් භාවිත කොට දැන් ඊට ඇබ්බැහි වී සිටිති. බොහෝ දරු දැරියන් විභාග ඉලක්ක කොටගෙන අයිස් භාවිත කොට තිබෙන බව වාර්තා වේ.

මේ අතර පැවසෙන්නේ රාජ්‍ය අංශයේ රෝහල් කාර්යමණ්ඩල මෙන්ම ආරක්ෂක අංශයේ ඇතැම් පිරිස්ද මේ සඳහා ඇබ්බැහිවී සිටින බවකි. මේ තත්ත්වය බස්නාහිර පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් වාර්තාවේ. මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ආයතනවල නිලධාරීන්ගේ හැසිරීමත් ජාවාරම්කරුවන්ගේ වාසියට නම් ඒවා මර්දනය සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුවකි.

මේ ආකාරයට පාසල් පද්ධතිය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොටගෙන විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව තීරණය කර තිබෙන බව දැනගන්නට තිබේ. ජනාධිපතිවරයා, ආරක්ෂාව සහ පොලීසිය බාර අමාත්‍යවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ එකමුතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට තිබේ. මෙම මෙහෙයුමට අදාළව පාසල් ආදි ශිෂ්‍ය සංගම්, සිවිල් ආරක්ෂක කමිටු, පාසල් ශිෂ්‍ය නායකයන් සහ මව්පියන් මේ සඳහා එක්කර ගැනීමට නියමිතය. ඒ හරහා තොරතුරු ලබාගැනීමත් පොලීසිය හරහා විමර්ශනය කිරීමත් මත ඒකාබද්ධ මෙහෙයුම් හරහා අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.

මේ සමග අනාවරණය වී තිබෙන්නේ වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් සෑහෙන පිරිසක් දැනටමත් අයිස් හා හෙරොයින් වැනි  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවකි. කුරුණෑගල නගරයේ ජනප්‍රිය යැයි කියන සමහර පාසල්වල සිසුවියන් පවා මෙසේ මත්ද්‍රව්‍ය සඳහා යොමුවී සිටින බව කියැවේ. එකී නාගරික පාසලක 8 වසරේ සිසුවකු අයිස් භාවිත කරමින් සිටියදී මව දැක තිබෙන අතර ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇතැයි වාර්තා විය. නාගරික පාසල්වල දැරියන්ගේ පෙම්වතුන් බව කියන තරුණයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව පැවසේ. නාගරික පාසල් ආශ්‍රිතව මේ තත්ත්වය බහුලව දකින්නට ඇති අතර තත්ත්වය සෙසු නගරවල හා ග්‍රාමීයව පිහිටි පාසල්වලටත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතී. 

කුරුණෑගල නගරය ආශ්‍රිතව අමතර පංති හෙවත් ටියුෂන් පංති පවත්වන ස්ථාන බහුලය. ඒ සඳහා නාගරික ජනප්‍රිය පාසල්වල මෙන්ම දුරබැහැර පිටස්තර දරු දැරියෝ සහභාගී වෙති. මෙහිදී ඇතිවන මිතුරුකම් දැන හඳුනා ගැනීම් හරහා මෙන්ම ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීම තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකෙරේ. කුරුණෑගල නගරයේ පවතින සමහර හුදකලා ස්ථාන පාසල් පෙම්වතුන්ටත් මතට ලොල් වූවන්ටත් තෝතැන්නකි. නගර මධ්‍යයේ පිහිටි වැව වටා මාර්ගයත් ඇතුගල දෙසට යන පාරත් අමතර පංති ආසන්නයේ පිහිටි අතුරු මාර්ග හා නාගරික බස් නැවතුම පසුපස අපවිත්‍ර අගුපිල්ද ඔවුන්ට කදිමය. ඒ අතර වැව පසෙකින් පිහිටි එළුගල නැමැති ප්‍රදේශයේ පවතින පරිසරයද මේ සඳහා බලපා තිබෙන බවට වාර්තාවේ.

මේ කාරණා සමඟ සති අන්තයේදී කුරු‍ණෑගල  නගරයේ පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණෙන ඇතැම් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බව අනාවරණය වී ඇත. මේ ආකාරයෙන්ම ගම්පහ, නුගේගොඩ, මහනුවර, ගාල්ල, මාතර, මාතලේ, අනුරාධපුර වැනි නාගරික ප්‍රදේශ හා උප නගරවල පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම ඉහළ ගොස් තිබෙන බව පොලිස් දත්ත වාර්තා අනාවරණය කරයි. ඇතැම් පාසල් දැරියන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම පවා සිදුකරන බවට හඳුනාගෙන තිබෙන අතර ඒ සඳහා ඔවුන්ගේ වැඩිහිටියන්ගේ හා ආශ්‍රිතයන්ගේ සහාය ලැබී අති බවද කියැවේ. එවැනි ජාවාරම්කරුවන් පාසල් දරු දැරියන්ගේ නිල ඇඳුම හරහා නිදහසේ මත්කුඩු ජාවාරම සිදුකිරීමට උත්සාහ ගනිති. මහනුවර නුගවෙල ප්‍රදේශයෙන් එවැනි සිද්ධීන් කිහිපයක් වාර්තාවී තිබෙන අතර නුගවෙල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දරු දැරියන්ට මත් පෙති අලෙවි කරන ජාවාරමක නිරත වූ තරුණයකු මත් පෙති තොගයක් සමඟ පසුගියදා උල්ලඳුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ අලදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසිනි.

දිව යට තබා ගැනීමෙන් පසුව මත්වන තූල් නමැති මත්ද්‍රව්‍යද පාසල් සිසුන් අතර ප්‍රසිද්ධය. එය මේ වනවිට පාසල් සිසුවියන් අතරත් බහුලව භාවිත කෙරේ. බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් හෝ ඒවා අත්හදා බැලීමට හා භාවිතා කිරීමට ඔවුන් පෙළඹී සිටින බවට වාර්තා වේ.

මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාසල් වයසේ හා තරුණ වියේ පිරිස්  අත්අඩංගුවට පත්ව සිටින බව පොලිසිය වාර්තා කරයි. ඇතැම් ජාවාරම්කරුවන් කුඩා පාසල් දැරියන්ගේ යට ඇඳුම තුළ සඟවා මත්කුඩු ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් අවස්ථා කිහිපයක් වාර්තා වූයේ ජා-ඇළ ප්‍රදේශයෙනි.

මේ ආකාරයට පාසල් දරු දැරියන්ට මත්පෙති, කේරළ ගංජා, බාබුල්, සිගරුට්, මදන මෝදක සහ අයිස්, හෙරොයින් වැනි මත්කුඩු වර්ග අලෙවි කරන බව වාර්තා වේ. සමහර පාසල් ආසන්නයේ විවිධ ප්‍රමාණයේ පෙට්ටි කඩ පවතී. මතට ලොල් වූ ඇතැම් පාසල් ළමයින් ඇතැම්විට එහි ගොස් මුදල් ගෙවනවා පමණි. යමක් මිලට නොගෙනම පිටව යන ඔවුන් මීටර් කීපයක් ගමන් කර නවතින්නේ වෙනත් පුද්ගලයකු ළඟය. ඔහු වෙතින් යමක් ලබාගන්නා ළමයා වේගයෙන් පලා යයි. මේ අයුරින් තැරැව්කරුවන් හරහා පාසල් ළමුන්ට අලෙවි කරන්නේ ඉහත කී මත්ද්‍රව්‍යයයි.

එමෙන්ම ඇතැම් සිංහල බෙහෙත් බඩු අලෙවි කරන ස්ථාන සොයා යන ළමෝ සිටිති. ඔවුන් බොහොමයක් මතට ඇලුම් කරන්නෝ වෙති. එහි යන දරුවන් වෙළෙඳසලේ හිමිකරුට හෝ සේවකයකුට ලබා දෙන්නේ රු. 100 හෝ 150 කි. අනතුරුව පිටව යන දරුවා වෙළෙඳසලෙන් පිටතදී හමුවන අයකුගෙන් ලබාගන්නේ මදන මෝදක නමැති මත්ගුලි වර්ගයයි. යම් ලෙසකින් සිගරට් බීමට පුරුදු වී සිටින ළමයි මත්පෙතිවලට ඇබ්බැහි වන්නේ එහි පවතින මත් ගතිය වැඩි නිසා බව කියති. නගර ආශ්‍රිතව පවත්වාගෙන යන ඇතැම් ෆාමසි හිමිකරුවෝද මත්පෙති ජාවාරමේ නියැලෙති. බොහෝවිට ඔවුහු පිළිකා රෝගීන්ට සහ මානසික රෝගීන්ට නිකුත් කරන විවිධ ඖෂධ පෙති වර්ග මත්පෙති වශයෙන් අලෙවි කරති. ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් මෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානවල ගැවසෙන සිසුන් අතර මතට ලොල්වූවෝ කැස්සට භාවිත කරන පැණියක් අධික ලෙස පානයට හුරු වී සිටිති.

රජයේ මෙන්ම පෞද්ගලික පාසල් තුළට මත්කුඩු ජාවාරම රිංගීමත් රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් බරපතළ ගැටලුවකි. එබැවින් තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ වගකිව යුතු පාසල් බලධාරීන් මෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වහා  පියවර ගත යුතුය. එබැවින් තත්ත්වය  මර්දනය කිරීම සඳහා ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් පසල් ඇසුරේ යෙදවීමට කාලය එළඹ තිබේ.

■   සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04