2022 දෙසැම්බර් 04 වන ඉරිදා

A නමයේ දරුවාව ගිනි තබා රටම කැළඹූ අම්පිටියේ නරුමයා

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 59

අම්පිටිය මහනුවර නගරයට කිලෝමීටර් 6 ක පමණ දුරකින් පිහිටි ප්‍රදේශයකි. බස්නාහිර හා දකුණු පළාත්වල මෙන් ක්‍රියාත්මක පාතාලයක් මහනුවර හෝ අවට නැතත් අම්පිටිය ප්‍රදේශය භීතියට පත් කළ මැර කල්ලියක අමානුෂික ක්‍රියා වරින් වරට වාර්තා වී තිබිණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා සමත් වූ දරුවකුගේ ඇඟට භූමිතෙල් ගසා ගිනි තබා තිබුණේද එකී මැරයෙකි. සිය පියා ඉදිරියේදීම දරුවාට ගිනි තබා සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවෙන් රටම තැති ගත්තේය.

මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ නිවෙසකි. එහි පදිංචිව සිටියේ පියා සහ එකම පුත්‍රයා පමණි. ඒ දරුවාගේ මව විදෙස්ගතව රැකියාවක නියුතු බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවා ඇඟිලි ගනිමින් සිට තිබුණේ ප්‍රතිඵල නිකුත් කරන තෙක්ය. ඉකුත් 26 වැනිදා පස්වරුවේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ අන්තර්ජාලය හරහා ප්‍රතිඵල දැනගත් දරුවා ප්‍රීතියෙන් ඉපිල ගියේය.

එයට හේතුව විශිෂ්ට සාමාර්ථ හෙවත් A-9 ක් ලබා ඉහළින්ම විභාගය සමත්ව තිබූ නිසාය. ප්‍රතිඵල දුටු සැණින් විදෙස්ගත මවට දුරකථන ඇමතුමක් ලබා දුන් පුතා ඒ බව මවට දන්වා තිබුණි. අනතුරුව මීකණුව ප්‍රදේශයට නුදුරු නිවෙසක පදිංචිව සිටින දරුවාගේ මිත්තණියට ප්‍රතිඵල දැන්වීම සඳහා පිය පුතු දෙදෙනා යතුරුපැදියෙන් එම නිවෙසට ගොස් තිබිණ. ප්‍රතිඵල ඇසූ සතුටට මිත්තණිය සිය මුණුපුරාට ඇරයුම් කොට තිබුණේ රාත්‍රී ආහාර භුක්ති විඳීමෙන් පසුව යන ලෙසය. ඒ අනුව මිත්තණිය සතුටු සිතින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන්නේ ප්‍රතිඵල ඇසූ සතුටටය.

අනතුරුව පියා සහ පුතා යතුරුපැදියට නැගී පල්ලේගම නිවෙස බලා යමින් සිටියහ. ඔවුන් රුගත් යතුරුපැදිය මීකණුව ප්‍රදේශය පසු කරන්නට ආසන්නව තිබුණි. හදිසියේම ධාවනය වන යතුරුපැදියට ඉදිරියෙන් පාරට පැන මග හරස් කොට තිබුණේ පිටස්තර අයෙකි.

''ගනිං ගනිං අතේ තියෙන සල්ලි ටික. දීලා පලයං... දඟලන්න හදන්න එපා.'' යතුරුපැදියට මග හරස් කළ තැනැත්තා පවසා තිබුණි. 

''ඒ මොකටද ඒ මම කාටවත් සල්ලි දෙන්නේ... මගේ අතේ ඇති සල්ලියකුත් නෑ...'' යැයි පෙරළා උත්තර දී තිබුණේ දරුවාගේ පියාය. මෙසේ වාදයක පැටලෙන්නට දෙදෙනාට වැඩි වෙලාවක් ගතව තිබුණේ නැත. ඒ වන විටත් යතුරුපැදියේ පසුපස ඉඳගෙන සිටි දරුවාගේ කමිස කොණකින් ඇද බිමට බැස්සූ නරුමයා දරුවා තල්ලු කර පසෙකට දැමුවේය. එසැණින් අත වූ යම් දියරයක් දරුවාගේ ගෙල හරහා සිරුරට ඉස්සේය. සැණෙකින් ලයිටරයක් අවුලා දරුවාට ගිනි තැබුවේ හිත්පිත් නැති ලෙසිනි.
ගින්නට පිච්චෙන දරුවා විලාප නැගුවේ තමා බේරාගන්නා ලෙස ආයාචනය කරමිනි. එහෙත් ආදරණීය පියාට හෝ ගත හැකි ඉක්මන් පියවරක් තිබුණේ නැත. ගිනි ඇවිලෙන දරුවා දෙස බලමින් පරුෂ වචනයෙන් බැණ වැදී පලා ගිය නරුමයා ආ ගිය අතක් නොවීය. කෙසේ හෝ දරුවාගේ පියා දරුවා වත්තන් කොටගෙන අසල්වැසියන්ගේද උදව්වෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණ. පිළිස්සුණු දරුවාගේ ප්‍රකාශයක් හරහා සිදුවීම රෝහල් පොලිසියට වාර්තා වී තිබෙන අතර ඇතැම් සමාජ මාධ්‍ය හරහා සිදුවීම ප්‍රචාරණය වන්නට විය. මේ අනුව වාර්තා වන බරපතළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා වන්නට මත්තෙන් ක්‍රියාත්මක වූ මහනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සතරසිංහ මහතා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පිරිසට උපදෙස් ලබා දී ඇත්තේ සිදුවීම පිළිබඳ කඩිනමින් සොයා බලා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසය.

දරුවා සහ පියා ප්‍රකාශ කර තිබුණේ ලාම්පු තෙල් දමා ගිනි තැබූ බවකි. ඒ අනුව දරුවාගේ බෙල්ල සහ අත් දෙස බරපතළ ලෙස පිළිස්සීමට ලක්ව තිබිණ. පසුව මහනුවර රෝහලේදී දරුවා සැත්කමකට භාජනය කෙරිණ. මේ අනුව දරුවා පසුවන්නේ තවමත් අසාධ්‍ය තත්ත්වයක බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

සිද්ධියේ විමර්ශන සඳහා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් යොදවා තිබිණ. එහිදී අනාවරණය වී ඇත්තේ දරුවාට ගිනි තබා පලා ගිය සැකකරු ටික වෙලාවකට පසුව මීකණුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බියගන්වා රු. 10,000ක මුදලක් රුගෙන පලා ගොස් ඇති බවකි. එම පුද්ගලයා මලිත් නිසංසල නොහොත් පැතුම් ලෙස හඳුන්වන 26 හැවිරිදි අයකු බවද හඳුනා ගැනිණ.

අම්පිටිය ප්‍රදේශයට ගොස් විමර්ශනවල යෙදී සිටි පොලිස් නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණේ සැකකරු තලාතුඔය පොලිස් වසමේ ගුරුදෙණිය ප්‍රදේශයට ආසන්න දඹවෙල පිහිටි නිවෙසකට ආහාර ගැනීමට පැමිණෙන බවකි. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානය වටලා තිබුණි. එහිදී පලා යන්නට උත්සාහ ගත් සැකකරු මහනුවර පොලිසියේ නිලධාරීන් දෙදෙනකු අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළමින් දිව යන්නට උත්සාහ කළද ඔහු කුදලා ගැනීමට නිලධාරීහු සමත් වූහ. එහිදී නිලධාරීන් දෙදෙනාටත් තරමක තුවාල සිදු වී සැකකරුද තුවාල ලබා සිටියේය.

අත්අඩංගුවට පත් සැකකරු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකි. අත්අඩංගුවේ පසුවෙද්දී අයිස් නොමැතිකමින් සැකකරු වෙව්ලීමට පටන්ගත් බව කීවේ වැටලීම සිදු කළ නිලධාරීන් විසිනි. මොහු කලෙක සිට හෙරොයින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකි. ඔහු මෙන්ම තවත් පුද්ගලයන් රුසක් අම්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. ඔවුන් සියලු දෙනා එකිනෙකා හඳුනන මිතුරෝ වෙති. මොවුන්ට ස්ථිර ආදායමක් නොමැති අතර කප්පම් ගැනීම, කොල්ලකෑම සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමටය. යම් කොල්ලයක් සිදු කළ පසුව මේ බව පොලිසියට කීවොත් මරණ බවට තර්ජනය කරන බවද පැවසේ. ඊට එරෙහි වූ පිරිසට නැවත නැවත පහරදීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර තිබෙන බැවින් ජීවිතාරක්ෂාව පිණිස ප්‍රදේශවාසීන් නිහඬව සිටින බව වාර්තා වේ.

මීට ඉහතදී පුද්ගලයකු කුරුසියක තබා ඇණ ගසා දසවධ දුන් සිදුවීමක් අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. ඊට ප්‍රසිද්ධ කපුවකු කියන අයෙක් ද සම්බන්ධව සිටියේය. මෙම සැකකරුද එකී කල්ලිය දන්නා හඳුනන කෙනෙකි. අත්අඩංගුවට පත් සැකකරු සිදු කළ කොල්ලකෑම ඇතුළු අපරාධ 18ක් දැනට පාපොච්චාරණය කොට ඇත. මොහුගේ පියාත් මෙවැනි දාමරික ක්‍රියාවලට සම්බන්ධ වූවකු බවට තොරතුරු වාර්තා වේ. මහනුවර නාගරික වෙළෙඳ සංකීර්ණයේදී කලකට පෙර සිදු කළ ඝාතනයක් සඳහා ඔහුගේ මැදිහත්වීමක් තිබෙන බව හඳුනාගෙන ඇත. මේ අනුව අදාළ සැකකරුගේ ක්‍රියාවන්ට හා හැසිරීමට ඔහුගේ පිය පාර්ශ්වයේ ජානවල බලපෑමක් පවතින බව ඇතැම්හු කියති.

අත්අඩංගුවට පත් සැකකරු සතුව තිබූ පිහියක් හා අත්බෝම්බයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙන අතර සැකකරු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව පෙට්‍රල් මිලිලීටර් 400 ක් තිබී ඇති අතර දරුවාට ගිනි තැබීම සඳහා භාවිත කළේ ලාම්පු තෙල්ද පෙට්‍රල්ද යන්න සොයා ගැනීම සඳහා රජයේ රසපරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

අම්පිටිය ප්‍රදේශය බියගන්වමින් ක්‍රියාත්මක මැර කල්ලියට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන් සමග පන්සල, පල්ලිය, ග්‍රාමසේවක මෙන්ම සිවිල් සංවිධාන එකමුතුවෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකළ බව මහනුවර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර