2022 දෙසැම්බර් 04 වන ඉරිදා

විදුලි බිල ආපහු නැග්ගොත්

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 176

පසුගිය සතිය විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ ඇති වූ සුවිශාල කතාබහකි. ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තා වූ පරිදි විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කියැවුණි.
විදුලි බිල වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිති. කෙසේ වෙතත් ඉකුත් සමයේ විදුලි ගාස්තු වැඩිවීමෙන් මහජනතාව පීඩාවට පත්ව සිටින බව කාටත් නොරහසකි.
එහෙත් දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ කියා සිටිති. මේ පිළිබඳ පසුගියදා තොරතුරු අනාවරණය වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ දීය.

දැනට අනාවරණය වී ඇති පරිදි මේ වනවිට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතු ණය ලෙස රු. කෝටි 65,000 කට (බිලියන 650 ) ආසන්න අගයක් ගෙන තිබේ. ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සඳහා ගෙවිය යුතුය. තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7,500 ක් (බිලියන 75) ගෙවීමට ගෙවීමට තිබේ.

කෙසේ වෙතත් විදුලි ගාස්තු වැඩි කිරීමක් තුළ මහජනතාව මෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ද දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරනු ඇත. මේ වනවිටත් බොහෝ ක්ෂේත්‍ර තුළ විදුලි ගාස්තු වැඩිවීම හේතුවෙන් ගැටලු පැන නැගී තිබේ.

ඉකුත්දා ලක්ෂ 5 ඉක්මවූ විදුලි ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම ආරණ්‍ය සේනාසනය විදුලි ගාස්තුවෙන් නිදහස් කොට තැබූ පූජස්ථානයකි. ඒත් ඉකුත්දා විදුලිබල අමාත්‍යවරයා කියා සිටියේ විදුලිබල මණ්ඩලයට මෙවන් ස්ථානවල විදුලි ගාස්තු දරාගත නොහැකි බවයි.

ආගමික ස්ථානවල විදුලි ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීමට සූදානමක් ඇතැයිද මේ අතර දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මහජනතාවට සහන ලබාදෙන ක්‍රමවේදයක් පිළිබඳ තවදුරටත් කතාබහක් නොවේ. විදුලිබල මණ්ඩලයේ සියලු බර මහජනතාව වෙත හෙළීමක් ඉදිරියේදී සිදුවනු ඇතැයි පෙනී යයි.

මෙම තත්ත්වය යටතේ විදුලි, ජල ගාස්තු වැඩිවීම පිළිබඳ සමාජ ආන්දෝලනයක් නැවතත් නිර්මාණය වී තිබේ. විදුලි සම්බන්ධ කිසිවකුට සහන ලබා නොදීමටද බලධාරීන් කටයුතු කරනු ඇතැයි කියැවේ. එමනිසාම රට තුළ විවිධ ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිස් සම්බන්ධ කරගනිමින් විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳ මත විමසුමක් සිදුකිරීමට අපි තීරණය කළෙමු.

අපේ පොඩි බිස්නස් වහන්නයි වෙන්නේ

රසික මදුරංග
මෝටර් කාර්මික

මම පොඩි ෂොප් එකක් කරගෙන යන්නේ. විදුලි උපකරණවල අලුත්වැඩියාවන්, මෝටර් ඔතන වැඩ වගේ දේවල් අපි කරනවා. අපේ කඩවල විදුලි බිල් දැන් දෙගුණයකින් තුන් ගුණයකින් විතර වැඩිවෙලා.
පහුගිය කාලේ ශත පහක ආදායම වැඩි වුණේ නෑ. අපි වැඩකරන්න ගන්න තඹ ඇතුළු විදුලි උපකරණ අලුත්වැඩියා කරන්න යන උපාංග මිලත් දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්. රෙපෙයාර් කරගන්න එන මිනිස්සු ගණන් ඇහුවම බඩු අරගෙන ආපසු යනවා.
අපිට විදුලිය නැතුව වැඩකරන්න කොහොමත් බැහැ. තව පාරක් විදුලි බිල වැඩි වුණොත්. කඩ වහල දලා ගෝලයෝ ගෙදර යවල අපිටත් ගෙදර යන්න වෙන්නෙ. කරුණාකරලා අපි වගේ පොඩි පොඩි ව්‍යාපාර කරන අයටවත් සහනයක් දෙන්න කියලා තමා ඉල්ලන්නෙ.

බිල් ගෙවන්න වෙන්නේ කනකර උකස් කරලා

ජානකී සිල්වා
ස්වයං රැකියා - ඇඳුම් මැසීම

මහන මැෂින් දෙකක් ගෙදර තියෙනවා. මම ගමේ අවට කට්ටියගෙ තමා ඇඳුම් මහන්නෙ. අපි කරන්ට් එකෙන් තමයි මහන්නෙ. පහුගිය මාසේ ගෙදර විදුලි බිල පහළොස් දාහක් විතර වෙන්න ආවා.

ගෙදර අනිත් වියදමුත් ඔක්කොම එන්න එන්න වැඩිවෙලා තියෙන්නේ. දැන් අපිට ලැබෙන දෙයට වඩා වියදම වැඩියි. හෙට අනිද්දාට කනකර උකස් තියලා තමයි බිල් ගෙවන්න වෙන්නෙ. දරුවන්ගේ වියදම් ගෙදර කෑම බීම වියදම් හිතාගන්න බැරි තරම් වැඩිවෙලා.

විදුලි - ජල ගාස්තු දැනටත් දරාගන්න බෑ

ප්‍රනීත් මිලින්ද
ගෘහ නිර්මාණ ශිල්පී

අපි කරන්නෙ ප්ලෑන් අඳින එක. මේ දවස්වල ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටිලා තියෙන්නෙ. අපේ ආදායම් හොඳටම අඩුවෙලා. ආදායම් අඩුවුණු අවස්ථාවක වියදම් වැඩි වෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක්. විදුලි ජල ගාස්තු වැඩිවීම අපිට දරාගන්න බැහැ.
ආයතනවලට අමතරව ප්‍රයිවෙට් වැඩ කරනකොට පරිගණක භාවිතය අනිවාර්යයි. සෑහෙන කාලයක් මේ වැඩ වෙනුවෙන් වැයකරන්න ඕනෑ. මේ හේතු නිසා ආදායම් අඩු මේ කාලේ අපේ ගෙවල්වල විදුලි ගාස්තු ගෙවන එක ලේසි නැහැ.
ඒත් විදුලි බිල නොගෙවා ඉන්නත් අපිට බෑ. ඒ වගේ අවස්ථාවල අපි කන බොන කෑම බීමවලින් වියදම් තමා අඩු කරගන්න වෙන්නේ. මේ අය කියන විදිහට අන්තිමට අපිට වෙන්නේ බිල් ඔක්කොම ගෙවලා, කන්නෙ බොන්නෙ නැතුව මන්දපෝෂණය හැදිලා මැරෙන්න. පාලකයන්ට නම් කියන්න තියෙන්නේ ඕගොල්ලො හොඳටම කරලා තියෙන්නෙ. දැන් ඇති.

 

I  චමිඳු නිසල් ද සිල්වා