2022 දෙසැම්බර් 04 වන ඉරිදා

IMF ගනුදෙනු ගැන ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති ලංකාවට දෙන අවවාදය

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 306

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඈත් වී සිටින්න. ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනිවාර්ය  කරුණකි.  ප්‍රාග්ධනය ගලනයට හා දුප්පතුන් මත වැඩි ණය බරක් පටවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොල්ලකාරී ණය ප්‍රතික්ෂේප කරන්න.''
පසුගිය දිනෙක තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවට එම උපදෙස ලබා දී තිබුණේ ග්‍රීසියේ හිටපු මුදල් ඇමැතිවරයකු වූ මහාචාර්ය යානිස් වරුෆාකිස් විසිනි.

රටක ප්‍රාග්ධන ගලායාමට බලපානුයේ ආර්ථික ප්‍රතිවිපාකයක ප්‍රතිඵලයක් ලෙස  හෝ පාලන තන්ත්‍රය වෙනස් කිරීමකින් හෝ ආර්ථික ගෝලීයකරණය වැනි දේශපාලන සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වත්කම් හෝ මුදල් වේගයෙන් රටින් පිටතට ගලා යාමය.. එවැනි සිදුවීම්  මත ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධන හිමියන් මත බදු වැඩි කිරීම හෝ රටේ රජය ණය පැහැර හැරීම ආයෝජකයන්ට බාධාවක් වන අතර එම රටේ වත්කම් පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව පහත හෙලීමට හෝ වෙනත් ආකාරයකින් එහි ආර්ථික ශක්තිය පිළිබඳ විශ්වාසය නැති කර ගැනීමට හේතු විය හැකිය..

සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගලායාමට මුහුණ දුන් රටේ විනිමය අනුපාතිකයේ තියුණු පහත වැටීමක්,  විචල්‍ය විනිමය අනුපාත ක්ෂය වීමක් හෝ ස්ථාවර විනිමය අනුපාත තුළ බලහත්කාර අවප්‍රමාණය වීමක් සිදු වේ. ප්‍රාග්ධනය  ගලායෑමේ බලපෑමට ලක් වූ රටේ ජනතාවට මෙම පහත වැටීම විශේෂයෙන් හානිකර වන්නේ ආර්ථික අලාභ සහ මුදල් අවප්‍රමාණය වීමෙන් ජීවන වියදම ඉහළ යාම සහ ඔවුන්ගේ වත්කම්වල නාමික වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වන බැවිනි. මෙය රටේ මිලදී ගැනීමේ ශක්තිය අවම කෙරෙන අතර භාණ්ඩ ආනයනයේදී සහ ඕනෑම ආකාරයක විදේශීය පහසුකම් ලබා ගැනීමේදී ඒවායේ  අගය ඉහළ යාමට බලපාන්නකි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ විශාල ආර්ථික අර්බුදයකටය.  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් අපේක්ෂා කර ඇති අතර එය ලබා දීම සඳහා ඔවුන් විවිධ කොන්දේසි පනවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා යැයි සිතීමෙන් වළකින්නැයි ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය මහාචාර්ය යානිස් වරුෆාකිස් පසුගියදා මෙරට පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක් සමඟ  ග්‍රීසියේ සිට මාර්ගගත ක්‍රමයට සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණි. ඔහුගේ ඉහත කී ට්විටර් පණිවිඩය සම්බන්ධයෙන් එම සම්මුඛ සාකච්ඡාවේදී විමසා සිටි අතර නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ  රාජ්‍යයක් බංකොලොත් භාවයට පත් වූ විට එම අර්බුදයෙන් ගැලවීම සඳහා පහසු විසඳුම් නොමැති බවටය. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය නමැති රෝගයෙන් මිදීම සඳහා  ''විෂ බෙහෙත්'' ගිල නොදැමිය යුතුයැයි සඳහන් කරන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරියට රෝගියකු සුවපත් කිරීමට අනවශ්‍ය තිත්ත බෙහෙත් ලබා දෙන වෛද්‍යවරයකු බඳුයැයි පවසයි. ඇතැම් අවස්ථාවලදී රෝගය සුවපත් කිරීමට තිත්ත ඖෂධ අවශ්‍ය වුවද තිත්ත ඖෂධයක් හා රෝගියකු මරා දමන හෝ රෝගය තවදුරටත් උත්සන්න කළ හැකි විෂකාරක ඖෂධයක් අතර ප්‍රධානතම වෙනස හඳුනාගත යුතු බවද පෙන්වා දෙයි.

''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1998 දී දකුණු කොරියාවට කළ දේ බලන්න. 2010 සිට 2015 දක්වා මගේ රට වන ග්‍රීසියට කළ දේ බලන්න. වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පසුකාලයේ ඔවුන් අපෙන් සමාව ඉල්ලුවා.  ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නොකළ යුතුයැයි මා කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසඳුමක් යැයි සිතන්නේ නම් අපි ඉතිහාසය දෙස මඳක් හැරී බැලිය යුතුයි. මෙයට විසි වසරකට පමණ පෙර ඔවුන් ආජන්ටිනාවට කළ දේ බලන්න. ඔවුන් මිලියන ගණනක ණයක් ආජන්ටිනා රජයට ලබා දී එරට ජනතාවට විශාල අපරාධයක් සිදු කළා. ඉන් සිදු වූයේ බලවත් පුද්ගලයන් කිහිප දෙනකු සහ ඇතැම් සමාගම් දේශීය මුදලින් උපයන ලද ලාභ ඇමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කිරීමට සහ  රට අර්බුදයකට මුහුණ පෑමට පෙර එම සියලු මුදල් රටින් බැහැර කිරීමට පියවර ගැනීමයි.. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිලාභ නොලද ආජෙන්ටිනානුවන්ට එම ණය ගෙවීමට සිදුවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයින්  පස් වසරකට පෙර යළිත් එම අපරාධයම සිදු කළ අතර ජාතියකට එරෙහි අපරාධයක් කිරීම සම්බන්ධයෙන් සමාව ඇයැදුවත් එයින් කිසිවක් සිදු වූයේ නැහැ. ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රවේශය ඒ ආකාරයෙන්ම සිදු විය හැකියි. ගෝලීය ණය සපයන්නා තම මුදල් මෙරට ජනතාවට ලබා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීමට ඇති ණයහිමියන් වෙත මුදා හැරීමේ ක්‍රියාවලියකට එළඹීමේ හැකියාවක් තිබිය හැකි යැ''යි පවසන ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍යවරයා ආපසු ගෙවිය නොහැකි විශාල ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන්  වගකිව යුතු බවට චෝදනා කරමින් බටහිර හෝ වෙනත් ලෝක බලවතුන් ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කරන්නේ නම් ඔවුන්ට තම පිළිතුර වන්නේ සෑම වගකීම් විරහිත ණයගැතියකුටම වගකීම් විරහිත ණය හිමියකුද සිටින බව යැයි පවසයි. විවිධ බැංකු මගින්  ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් යයි පවසමින් අදෘෂ්‍යමාන පුද්ගලයන් වෙත ලබා දෙන ණය කොල්ලකාරී ණය වන හෙයින් රටේ බංකොලොත්භාවයේ පිරිවැයෙන් ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් එම ණය හිමියන් විසින් දැරිය යුතු බවද සඳහන් කරයි.

සැම විටම ණය හිමියන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ පවත්වන සාකච්ඡාවලදී ඔවුන්ගේ පළමු අවශ්‍යතාව ලෙස ප්‍රකාශ කළ යුත්තේ සැලකිය යුතු ණය කප්පාදුවක් සිදුකළ යුතු බවටයි. දෙවනුව තමන් ලබාදුන් ණය ප්‍රමාණයෙන් සුළු ප්‍රතිශතයක් පමණක් යළි ලබා ගන්නා බවට ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතු යැයි ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.  

ශ්‍රී ලංකා රජය තම රටේ ජනතාව වෙනුවෙන් කැපවිය යුතුය. නොගෙවිය හැකි ණය ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් ගෙවීමට සිදු වුහොත් ඒවා ගෙවීමට බදු විශාල වශයෙන් වැඩි කිරීමෙන් සිදුවන්නේ රන් බිජු දැමූ කිකිළිය මරා දැමීම වැනි ක්‍රියාවකි. එමගින්  ආර්ථික ක්‍රියාවලිය තව දුරටත් බිඳ වැටෙන අතර ජනතාවට ජීවත්වීමට ඇති ආදායම ණය සඳහා ගෙවීමට සිදු වේ. ණය බර අඩු කර ගැනීමට සහ අයවැය පරතරය අවම කිරීම සඳහා  වියදම් කපා හැරෙන අවස්ථාවක  පවතින අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය පෞද්ගලික අංශයටද විශාල වශයෙන් තම වියදම් කපා හැරීමට සිදුවනු ඇත. පෞද්ගලික අංශය වියදම් අවම කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවේ. ශ්‍රී ලංකාව යනු වෙළෙඳ සලක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන අයුරින් වියදම් කපා හැරීමට කටයුතු කළහොත් රටේ ජාතික ආදායම තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ඔහු සඳහන් කරයි.

''මා ග්‍රීසියේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූයේ එහි ආර්ථික කඩා වැටීමෙන් පසුවයි. ග්‍රීසිය කඩා වැටුණේ 2010දීය. 2010 සිට 2015 දක්වා ග්‍රීසිය අනුගමනය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පාදනය කරන ලද වැඩසටහනක්. එදා ග්‍රීසිය හා වර්තමානයේ ශ්‍රී ලංකාව අතර තත්ත්වය සැසඳීමේදී දෙරට අතර විශාල වෙනස්කමක් පවතී. 2010 ශ්‍රීසියේ සිදුවූයේ කුමක්ද? ලෝක ආර්ථිකය නැතිනම් ගෝලීය ධනවාදය පැවතියේ ඉතා ප්‍රබල තත්ත්වයකයි. පසුව ආර්ථිකයේ විවිධ කම්පන තරංග මතුවන්නට වූ අතර මුලින්ම ඩුබායි රාජ්‍යයේ බැංකු කඩාවැටීමට ලක්විය. එම රුල්ල ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටලටද ව්‍යාප්ත විය. ඉන්පසු එය බලපෑවේ ග්‍රීසියටය. ලෝක ආර්ථික අර්බුදය සුනාමියක් ලෙස පැතිර ගිය අතර දුර්වල රාජයයන්, බැංකු සහ ආයතන කඩාවැටීමට ලක් විය. ග්‍රීසිය විශාල වශයෙන් ණය වී සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ග්‍රීසියට පැමිණියේ මේ අතරය. වසර 12ක් පමණ ගතවන තෙක්  පැවතියේ අමනෝඥ පිළිවෙතකි. බටහිර රටවල මහ බැංකු අති විශාල ප්‍රමාණයක් මුදල් අච්චු ගැසීමට පියවර ගත්තේය. කොවිඩ් 19 පැවැති සමයේ විවිධ ව්‍යාපාර නැංවීමට සහ පුද්ගලයන් සඳහා සහය දැක්වීය. සැපයුම් විශාල වශයෙන් අඩාල වූ අතර ඉල්ලුම ඉහළ ගියේය. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය ඉහළ යෑමයි. බලශක්ති මිල ඉහළ ගියේය. ශ්‍රී ලංකාවද ඩොලරයේ අගය ඉහළ යෑමේ අර්බුදය හා බලශක්ති අර්බුදයට මුහුණ පෑවේය. පැවති ආණ්ඩුවල වැරදි කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවද 2010 වසරේ ග්‍රීසිය මුහුණ දුන් මූල්‍ය අර්බුදය, හිඟ මුදල් ගෙවීමේ ගැටලු වැනි අර්බුදවලට මුහුණ පෑවේය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔබේ රටට ඇඟිල්ල දිගු කරමින් පවසන්නේ මෙය ඔබේ වැරුද්දක් ලෙසටය. එහෙත් එය ඔබේ වැරුද්දක් නොවේ. එය පැවැති ආණ්ඩුවල හා සමස්ත ගෝලීය ධනවාදයේ අර්බුදයකි. ''

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදී ඇති අනෙකුත් රටවල් සසඳමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රවේශය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරන ඔහු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයැයි විශ්වාස නොකළ යුතු බවද පවසයි. ''ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ඔබගේ විභව විනාශකරුවාය. එහෙත් ශ්‍රී ලංකාව ඔවුන් සමඟ සාකච්ඡාවට නොයා යුතුයැයි මම නොකියමි. ඔවුන් ඉතා වැදගත් ජාත්‍යන්තර සංවිධානයකි. මේ වනවිට ඔවුන් කිසියම් පාඩමක් ඉගෙන ගෙන ඇතැයි මම සිතමි. ශ්‍රී ලංකාවට යෝග්‍ය ගනුදෙනුවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ නම් එය වැදගත්ය. එහෙත් ඔබ ඔවුන්ගෙන් එක ඩොලරයක් හෝ ලබා ගැනීමට පෙර ඔබේ ණය ප්‍රමාණය අවම කර ගැනීමට පියවර ගත යුතුයැ''යි ප්‍රකාශ කරයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා