2022 දෙසැම්බර් 04 වන ඉරිදා

සංචාරක වසන්තය ඇවිත්

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 69

බලාපොරොත්තු වූ සංචාරක වසන්තය පැමිණෙමින් තිබේ. දිවයිනේ වෙරළේ සහ කඳුකරයේ ප්‍රීතිමත් සංචාරකයන්ගේ මුහුණු නිතර දක්නට ලැබේ. සැබැවින් මේ බොහෝ කලකට පසුව උදාවන වසන්තයකි. සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රජාව අතරින් එළඹෙන සංචාරක වසන්තය පිළිබඳ තතු දැන කියා ගැනීමට අපි අදහස් කළෙමු.

කෙසේ වෙතත් මෙම සංවාදය පූර්විකාවක් ලෙස වර්තමාන සංචාරක කර්මාන්තයේ නැගීම පිළිබඳ යම් දත්ත, සාක්ෂි කිහිපයක් අප ඔබ හමුවේ තබමු. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෙළිදරව් කරන පරිදි මාස 11ක කාලය තුළ සංචාරකයන් හයලක්ෂ විසි හයදහස් අසූ හය දෙනකු සංචාරයේ නිරත වී ඇත. නමුත් 2021 වසරේදී මෙරට සංචාරයේ නිරත වූයේ සංචාරකයන් එක්ලක්ෂ අනූ පන්දහසක පමණ පිරිසකි.

මෙම පිරිස අතරින් අතිබහුතරය ඉන්දියානුවන් වූ අතර දෙවැනි තෙවැනි ස්ථානවල බ්‍රිතාන්‍යයන් සහ රුසියානුවෝ රැඳී සිටිති. කෙසේ වෙතත් මේ වනවිට වැඩි වශයෙන් සංචාරකයන් ලෙස අප රටට ඇතුළු වෙමින් සිටින්නේ රුසියානුවන්ය. නොවැම්බර් මාසයේදී පමණක් 18,000 කට අධික රුසියානු සංචාරකයන් මෙරටට පැමිණ ඇත.

මීට අතර සංචාරක කර්මාන්තය පිබිදීම පිළිබඳ තව සාක්ෂියක් අපට හමුවේ. සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන පරිදි ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව මසක් තුළ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 50,000 සීමාව පසුකර කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ය. මෙය සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

රට තුළ පැවැති ආර්ථික අස්ථාවරත්වය සහ මැයි නව වැනිදා අරගලය හේතුවෙන් ඇති වූ තත්ත්වන් මත මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ වැටී තිබුණි. රුසියානු ගුවන් යානා අර්බුදයෙන්ද සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් එල්ල වූ බව පිළිගත යුතු කරුණකි.

නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම 60,000ක පමණ අගයක් සටහන් කිරීම එළඹෙන සංචාරක වසන්තය පිළිබඳ බලාපොරොත්තු ජනිත කරවයි. ඉකුත්දා සුඛෝපභෝගී සංචාරක නෞකා සංචාරකයින් පිරිසක්ද මෙරටට පැමිණියහ. එයද සුවිශේෂී සිදුවීමක් වූ අතර ශ්‍රී ලංකාව පිළිබඳ නැවත සංචාරක ආකර්ෂණය ලැබීමටද එය එක් හේතුවක් විය.

මෙවන් වටපිටාවක්  යටතේ දෙසැම්බර් මාසේ සිට අප්‍රේල් මාසය දක්වා මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙතැයි සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් විශ්වාසය පළ කරති.

සංචාරක පැමිණීම දැන‘් වැඩියි

චමින්ද යාපා බණ්ඩාර - ප්‍රධාන කළමනාකරු - ටී බුශ් හොටෙල් - රම්බොඩ

''දැන් සංචාරකයන්ගෙ පැමිණීමේ පොඩි වර්ධනයක් තියෙනවා. දෙසැම්බර් ජනවාරි මාසවල බුකින් වැටීගෙන එනවා. යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

ඉන්ධන ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳිලා තියෙන්නෙ. නමුත් දේශීය සංචාරකයන්ට අපේ ප්‍රදේශවලට එන්න ඉන්ධන ලැබෙන්නෙ නෑ. එතන ගැටලුවක් තියෙනවා.

පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම අපි මුහුණ දෙන තව ගැටලුවක්. කොවිඩ් කාලෙ රුකියා අහිමිවීමත් එක්ක, හෝටල් ක්ෂේත්‍රයේ දක්ෂ පුහුණු ශ්‍රමිකයන් ලංකාව හැර ගියා. ඇත්තටම දැන් කර්මාන්තයට පළපුරුදු පිරිස් සොයා ගැනීමේ යම් ගැටලුවක් තියෙනවා. ක්‍රමයෙන් සංචාරක පැමිණීම වර්ධනය වෙනකොට ඒක අපිට බොහොම තදින් දැනෙනවා.''

 

කලකට පස්සෙ අපට ෙහාඳයි

සුදත් ප්‍රියන්ත සිල්වා - සංචාරක රියැදුරු - බේරුවල සිනමන් බේ හෝටල් අසල රථගාල

''සෑහෙන්න කාලෙකට පස්සේ අපිට හයර් එකක් දෙකක් ලැබෙන්න පටන් ගත්තා. ඒ ගැන සතුටුයි. ඒත් ඉන්ධන ප්‍රශ්න සියයට සීයක්ම විසඳිලා නැහැ. දවස් කිහිපයක ටුවර් එකක් කරන්න අමාරුයි නිදහසේ.

කොළඹින් බැහැර ප්‍රදේශවල සංචාරක හෝටල් අසල රථගාල්වල ඉන්න අපිට ලොකු අසාධාරණයක් වෙනවා. නාගරික කැබ් ත්‍රීවිල් රියැදුරන් ඇවිල්ලා අපේ හයර් අරගෙන යනවා. අපි මේ කර්මාන්තයේ අත්දැකීම් තියෙන වගකීමක් තියෙන අය. අවුරුදු ගාණක් මේ කර්මාන්තය කරපු අය. කැබ් රියැදුරන්ට සංචාරකයන් ප්‍රවාහනය කරන්න නීතියෙනුත් බෑ.

මේ අවුරුදු ගාණකට පස්සේ අපිට හයර් එකක් ලැබෙන්න පටන් ගත්ත අවස්ථාව. හැමදාම සංචාරකයෝ එන්නෙ නෑ. මේ සීසන් එකට තමා අපිට හම්බකර ගන්නෙ. සංචාරකයන්ට අපි විශේෂ මිලක් පවත්වාගෙන යනවා ලබා දෙන පහසුකම් නිසා. සීගිරියට ගියත් හෝටලේකට ගියත් සංචාරකයන්ගෙන් වැඩිපුර අය කරන්නේ ඒ නිසා. අපි කරන්නෙ අසාධාරණයක් නෙවෙයි. මේ වෙනකොටත්, සමහරු ණයවෙලා සමහරු වාහන විකුණලා. බලධාරීන් අපි ගැනත් බලන්න ඕනෑ. 

 

 

අපට ආපහු ටුවර්ස් ලැබෙනවා

කණිශ්ක සංජීව - ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්ය (රුසියානු භාෂා)

සංචාරකයන් පැමිණීමේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මේ විදියට ඉස්සරහට ගියොත් ඉදිරි මාසවලදී සංචාරක කර්මාන්තයේ හොඳ වර්ධනයක් සිදුවෙයි.

ජාතික සංචාරක මගපෙන්වන්නන් විදිහට අපිට ආයේ ටුවර්ස් ලැබෙන පටන් අරගෙන. පසුගිය කාලයේ අපේ පද්ධතියට අයත් හැමෝම ගොඩක් අමාරු කාලයක් ගතකළා. කොහොම වුණත් දවසින් දෙකෙන් අපි කාටවත් හිටපු තත්ත්වයට එන්න බෑ. යම් කාලයක් අවශ්‍ය වෙනවා.

සියලු දෙනාගෙන්ම කරන්න තියෙන්නේ එකම ඉල්ලීමක්. කරුණාකර රට තුළ සාමකාමී පරිසරය පවත්වාගෙන යන උදව් කරන්න. ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඉන්න සංචාරකයින් ලංකාව ගැන ගොඩක් උනන්දුවෙන් හොයලා බලනවා. ඒ අය අපිට ඒක කියනවා.

දැන් ඉන්ධන ප්‍රශ්න ගොඩක්දුරට විසඳිලා තියෙන එක හොඳයි. සංචාරක කලාපවල විදුලිය සම්බන්ධ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳන්න ඕනෑ. බලධාරීන් මේ පහසුකම් ටික දෙන්න හිතනවා නම්, ලංකාවට සංචාරකයෝ ගෙනැල්ලා ඔවුන් ලවා රට තුළ ඩොලර් වියදම් කරවන විදිය අපි දන්නවා. 

 

I චමිඳු නිසල් ද සිල්වා