2022 දෙසැම්බර් 04 වන ඉරිදා

මනමාල කිරුළ එකම දවසක පැළැන්දු ක්‍රිකට් තරු තුනක්

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 143

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තරුණ ක‍්‍රීඩකයන් තිදෙනෙක් වන පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ කසුන් රාජිත තිදෙනාම පසුගිය සඳුදා සිය පේ‍්‍රමවන්තියන් විවාහක කරගැනීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූහ.

කිසිදු රටක ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු, ආරම්භක වේග පන්දු යවන්නා සහ මැද පිතිකරුවෙක් එසේ නැත්නම් එකම කණ්ඩායම සාමාජිකයන් තිදෙනෙක් එකම දිනකදී මීට පෙර විවාහ දිවියට පිවිස නොමැති අතර ඒ හේතුවෙන් මෙම ක‍්‍රීඩකයන් තිදෙනාගේ විවාහ ගිවිස ගැනීම සුවිශේෂී වී තිබේ.

මෙම සුවිශේෂි සිදුවීම අහම්බයෙන් වූ සිදුවීමක් යැයි එම ක‍්‍රීඩකයන් තිදෙනාගෙන් ක‍්‍රීඩකයෙක් දේශය කළ විමසුමකදී පැවසීය. 

'මගේ විවාහයට දින යොදාගත්තේ මීට මාස හයකට හතකට පෙරයි. ඇෆ්ගනිස්තාන් සංචාරය තිබුණේ මේ දිනවල නෙවෙයි. ඒ නිසයි අපි විවාහය යොදාගත්තේ. නමුත් ලෝක කුසලාන තරගාවලිය අතරතුර තමයි අපි දැනගත්තේ ඇෆ්ගනිස්තානු සංචාරය ඉදිරියට අරගෙන කියලා. විවාහය කල්දාන්න බැරි නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අවසර ගෙන පැවැත්වුවා. අනිත් ක‍්‍රීඩකයන් දෙදෙනාගේ විවාහයන් එදිනම තියෙනවා කියලා මම පසුව දැනගත්තේ. මේක අහඹු සිදුවීමක්. නැත්නම් සංචාරයක් අතරතුර විවාහය යොදාගන්නේ නෑ' යැයි එම ක‍්‍රීඩකයා කීය.     

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේදී පසුගිය බදාදා (30 වැනිදා) අවසන් වූ එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටියදී එම ක‍්‍රීඩකයන් තිදෙනාට විවාහ උත්සවවලට සහභාගි වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවසර දී තිබුණි. මෙම ක‍්‍රීඩකයන් තිදෙනාම පෙර දින එනම් පසුගිය ඉරිදා (27 වැනිදා) දිවා රාත‍්‍රී තරගයක් වූ දෙවැනි එක්දින තරගයට සහභාගි වී පසුදින පෙරවරුවේ විවාහ උත්සවලට සහභාගි වූහ. 

මෙම ක‍්‍රීඩකයන් තිදෙනාගේම කළමනාකරු ලෙස  ඕස්ට්‍රේලියාවේ පදිංචි නිලධාරියෙක් කටයුතු කරන බවත් ඔහුද මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවලට සහභාගි වී සිටියහ. 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ මැද පෙළ පිතිකරු චරිත් අසලංක යන දෙපළගේ විවාහ ගිවිස ගැනීමේ උත්සව පැවැති අතර කසුන් රාජිත විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීය. 

මාතර, මාලිම්බඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 29 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ක‍්‍රීඩක කසුන් රාජිත කාගේත් සිත් දිනාගෙන සිටින නිහතමානී ක‍්‍රීඩකයෙකි. කසුන් කණ්ඩායමේ කා සමඟමත් සුහදශීලීව කටයුතු කරන ක‍්‍රීඩකයෙක් ලෙස පිළිගැනීමක් තිබේ. කසුන් සහ ඔහුගේ පෙම්වතියව සිටි කඳාන ප‍්‍රදේශයේ පදිංචිකාරික් වන චමන්ති පෙරේරාගේ විවාහය උත්සවය කොළඹ ප‍්‍රධාන හෝටලයකදී පැවැති අතර එම උත්සවයට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 

'කසුන් මාතර සිට කොළඹ ආවට පසුව තමයි චමන්ති සමඟ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තේ. ඔවුන් සම්බන්ධය ආරම්භ කළ කාලයේම දෙපැත්තේ දෙමව්පියන් දැනුවත් කළා. දෙපාර්ශ්වයෙන්ම ආශීර්වාදය ලැබුණා. චමන්ති ඇයට ගොඩක් හොඳට ගැලපෙන ඔහු වගේම නිහතමානී චරිතයක්. දැන්නම් ඇය රැකියාවක් කරන්නේ නෑ. කසුන් මේ වන විට වැලිසර ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිකරමින් ඉන්නේ' යැයි කසුන්ගේ සමීපතමයෙක් ‘දේශය’ට පැවසීය.  

කසුන්ගේ පියා සී.ඒ. සුගතදාස මහතා විශ‍්‍රාම ග‍්‍රාම නිලධාරීවරයෙක් වන අතර මව මාලිම්බඩ හිටපු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා එස්.ඒ. සිරිමතී මහත්මියයි. සී.ඒ. සුගතදාස මහතාගෙන් කසුන්ගේ විවාහය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මීට වසර 5 කට පමණ පෙර වර්තමාන ලේලිය පිළිබඳව පුතා ඔවුන්ව දැනුවත් කළ බවත් දරුවන්ගේ කැමැත්ත මූලිකත්වය දියයුතු බවත්ය. 

'ඒ දුවත් ගොඩක් හොඳ දරුවෙක්. ඒ දරුවගේ පවුලේ අයත් ඉතාමත් හොඳ අය. දරුවට හොඳක් වෙනවා නම් එයයි අපේ සතුට. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ක‍්‍රීඩා කරන කාලයේ පුතාගේ දස්කම් දැකලා මාතර සාන්ත සර්වේසස් විදුහලෙන් ඔහුව ඉල්ලා සිටියා. ඉන්පසුව තමයි ඔහුගේ දස්කම් දියුණු කරගෙන මේ දිගු ගමන ආවේ' යැයි සුගතදාස වැඩිදුරටත් සඳහන් කළේය.  

පැතුම් නිස්සංක විවාහ ගිවිස ගැනීමෙන් පසුව එදින පස්වරුවේ පුහුණු සැසියට ද සහභාගි වූ බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. පැතුම් සහ ඔහුගේ ප්‍රේමවන්තියව සිටි ඒෂානිගේ විවාහ ගිවිස ගැනීමේ උත්සව ඉතාමත් කෙටි චාම් ලෙස පැවැත්විණි. 
කළුතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි පැතුම් නිස්සංකගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය වාද්දුව මොල්ලිගොඩ ප‍්‍රදේශයේ හෝටලයක පැවැති බවත් එම උත්සවය පැතුම් සහ බිරිඳගේ සමීප ඥාතීන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති බව පැතුම්ගේ පියාගෙන් කළ විමසුමකදී පැවසීය. 

ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක චරිත් අසලංක සහ ඔහුගේ පාසල් කාලයේ සිට ප්‍රේමවන්තිය වන කවින්දිකා හංසනී අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය තරමක් චාම් ලෙස පැවැත්විණි.

අසලංකගේ සමීපතයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය දෙපාර්ශවයේ ඉතාම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති බවත් ඉදිරියේදී විවාහ මංගල උත්සවයක් ගැනීමට නියමිත බවත්ය.

'චරිත් සහ කවින්දිකාගේ ප්‍රේමසම්බන්ධතාව පාසල් කාලයේ සිට දීර්ඝ තිහාසයක් තියෙන එකක්. ඒ දෙන්නා සැබෑම ප්‍රේමවන්තයක්. මිතුරන් හැටියට අපිටත් සතුටක් තියෙනවා ඔවුන්ගේ විවාහය ගැන’’ යැයි චරිත්ගේ සමීප මිතුරා පැවසීය. 

මෙම විවාහ උත්සයෙන් පසුව චරිත් සහභාගි වූ එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට ඓතිහාසික ජයග‍්‍රහණයක් ගෙන දීමද කැපී පෙනේ. 

චරිත් එම ඉනිමත් සමඟ තරගයේ වීරයා බවට පත්වූ අතර එම ඉනිම නොවන්නට ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමුවරට ඇෆ්ගනිස්තානය හමුවේ එක්දින තරගාවලිය පරාජයක් ලබයි.

I සටහන: යොහාන් භාසුර