කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා ආරම්භ කරන ලද කෘෂි ආදර්ශ උද්‍යාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන රාජාංගනයේ ඇඹුල් කෙසෙල් උද්‍යානයෙන් ලබාගත් පළමු ඇඹුල් කෙසෙල් පලදාව ඩුබායි රාජ්‍යයට අපනයනය කිරීම පසුගියදා සිදුකෙරුණි.
මේ වනවිටත් රාජාංගනයේ අක්කර හාරසීයක පමණ මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඇඹුල් කෙසෙල් වගා කොට ඇත.
''ලෝකයේ වැඩි ඉල්ලුමක් ඇති ඇඹුල් කෙසෙල්වලින් හොඳ ආදායමක් ලබාගත හැකි බව අපිට තේරුණා. රාජාංගනයේ මේ සඳහා හොඳ ගොවීන් පිරිසක් අපිට ඉන්නවා. ඒ අනුව ඔවුන්වද එකතු කරගෙන මීට අවුරුදු දෙකකට පෙර මෙය සැලසුම් කරගෙන මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. මීට පෙර රාජාංගනයේ සිටින ගොවීන්ගෙන් ඇඹුල් කෙසෙල් මිලදී ගෙන ඒවායේ නියැදි කිහිපයක් අපි විදෙස් රටවලට යැව්වා. ඒවාට හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. මෙපමණ කාලයක් අපි පළතුරු යැව්වේ ගුවන් මගින්. නමුත් මෙවර අපි ඇඹුල් කෙසෙල්ගෙඩි අපනයනය කරන්නේ කන්ටේනරයක බහා නැව් මඟිනුයි. එය සාර්ථක ගමනක්.''
යැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ අනුව ඇඹුල් කෙසෙල් වගාව සම්බන්ධයෙන් එතෙක් ගොවීන් තුළ තිබූ දැනුමට අමතරව නවීන තාක්ෂණික දැනුමක් විදෙස් උපදේශකවරයකුගෙන් ලබා ගැනීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට හැකියාව ලැබුණි. රාජාංගනයේ අක්කර හාරසීයක වගා කරනු ලබන්නේ එම නවීන තාක්ෂණික දැනුමත් සමඟ අලුතින් වගාකළ ඇඹුල් කෙසෙල් වගාවන්ය. එය බොහෝ වෙනස්කම්වලින් යුක්ත වුණ වගා තාක්ෂණික ක්‍රමයකි. නමුත් හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබුණි.
ඇඹුල් කෙසෙල් වගාව සිදුකරනු ලබන්නේ තවාන් ක්‍රමය මඟිනි. මේ සඳහා ගොවීන් පනස් දෙනකු තෝරා ඔවුන්ට එක් අක්කරය බැගින් තවාන් දැමීමට අවශ්‍ය උපදෙස් හා බෝග ලබාදෙනු ලැබීය. මීටරයේ පරතරයට පේළි දෙක බැගින් වගා කෙරුණ ඇඹුල් කෙසෙල් ගස් අතරේ ඇති කුඩා ඉඩ ප්‍රමාණයේ ගොවීන්ට වෙනත් බෝගයක්ද වැවීමට හැකියාව ඇත. ඒ අනුව එම ඉඩ ප්‍රමාණයේදී ඇතැමුන් තක්කාලි, අමු මිරිස් වැනි එළවළු වගාකර තිබුණි. ඇඹුල් කෙසෙල්වලින් අස්වැන්න ලැබෙන තෙක් ගොවීන්ට අනිකුත් බෝගවලින් අමතර ආදායම් ලබාගැනීමේ හැකියාව මේ නිසා ලැබිණි.
නව ලෝක ආහාර ප්‍රවණතා හා පෝෂණ අවශ්‍යතා සමඟ සැසඳීමේදී ඇඹුල් කෙසෙල් යනු විදෙස් වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති පළතුරකි. අපනයන ප්‍රමිතීන් හා ක්‍රමෝපායන් අනුගමනය කරමින්, නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් රාජාංගනයේ ගොවි ව්‍යවසායකයන් පළමු අදියර ලෙස සතියකට අඩි හතළිහක කන්ටේනර් ධාරිතාවයක ඇඹුල් කෙසෙල් ඩුබායි රාජ්‍යය වෙත ලබාදීමේ වෙළඳ ගිවිසුමට එක්විය.
රාජාංගනයේදී කෘෂි නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ තවාන් දැමූ ඇඹුල් කෙසෙල් අස්වැන්න නෙලීම ආරම්භ කරන ලද්දේ මීට මාසයකට පමණ පෙරදීය. මෙය 2024 වනවිට අක්කර හයසීයක භූමි ප්‍රදේශයක් දක්වා වගාව වර්ධනය කිරීමට අපේක්ෂා කර ඇත. මෙහිදී වගාවට ජලය ලබාදෙනු ලබන්නේ බිංදු ජල තාක්ෂණික යෙදීමේ ක්‍රමයයි.
අද වනවිටත් රාජාංගනයේ සියයකට ආසන්න ගොවි පිරිසක් වගාකරන මෙම වගාවෙන් ලබාගන්නා ඇඹුල් කෙසෙල් අස්වැන්න කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයට රුගෙන එනු ලබන්නේද ඉතා සුරක්ෂිතවය. විදේශීය උපදේශන සේවාව යටතේ සැකසුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. මේ සඳහා සේවක සේවිකාවන් පනස් දෙනකු පමණ සේවයේ යෙදී ඇති අතර ඉතා සුරක්ෂිතව ඇසුරුම් කිරීම සිදුවේ.
''අද වනවිට මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න ගොවීන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාලයක් තිස්සේ රාජාංගනයේ ගොවීන් කෙසෙල් වගාකර තිබුණත් ඔවුන්ට ඒ සඳහා නිසි තාක්ෂණික දැනුමක් වගේම නිසි වටිනාකමක් ලැබුණේ නැහැ. මේ නිසාම ඇතැම් ගොවීන් මෙම වගා කටයුතුවලින් පවා ඈත්වුණා... නමුත් ඔවුන් අපත් සමඟ සම්බන්ධ වීමත් සමඟ ඔවුන් හොඳ වෙළෙඳපොළක් ගොඩනැගුණා. ඉදිරියේදී මෙය තවත් වර්ධන කරන්න අපි බලාපොරොත්තු වෙනවා.''
යැයි ආචාර්ය රොහාන් විජේකෝන් මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.
මෙම අස්වැන්න මගින් මසකට ඇමෙරිකානු ඩොලර් 80,000ක් ඉපයීමට හැකිවනු බව ඔවුන්ගේ විශ්වාසයයි. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මඟින් විදෙස් කෘෂි විද්‍යාඥයන් හා එක්ව කළ පර් යේෂණවල ප්‍රතිඵලයක් ලෙසින් ජාත්‍යන්තර තත්ත්වයේ ඇඹුල් කෙසෙල් නිපදවීමට කෘෂි නවීකරණ ව්‍යාපෘතියට හැකියාව ලැබුණි. මේ අනුව සෑම සතියකටම වතාවක්ම ඩොලර් 20,000ක ඇඹුල් කෙසෙල් නැව් මඟින් ඩුබායි බලා ගමන් ආරම්භ කරනු ඇත.
I දිශානි ජයමාලි කරුණාරත්න