2022 දෙසැම්බර් 04 වන ඉරිදා

අයිස්: මාරාන්තිකයි ගැහුවොත් ගැහුවාම තමා!

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 4443

ශ්‍රී ලංකාව තුළ මෑතක සිට ශීඝ්‍රව පැතිර යන මත් උවදුර වන “අයිස්” හේතුවෙන් තදබල මානසික රෝග හටගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් කියයි. මේ මානසික සංකූලතා හේතුවෙන් මෙන්ම අයිස් ගන්නා ප්‍රමාණය ඉහළ යාමෙන් මරණය පවා සිදුවන බව තහවුරුව ඇතැයි ඔහු කියයි. අයිස් අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා දැඩි ලෙස ඇබ්බැහි වීමේ ගුණයෙන් යුතු බවත් මේ නිසා මෙය හැඳින්වෙන්නේ ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියට බවත් විශේෂඥ වෛද්‍ය රූමි රූබන් ‘දේශය”ට පැවසීය

මෙයට වසර 5 ක පමණ කාලයක සිට අපේ රටේ ප්‍රචලිතව ඇති මේ නව මත්ද්‍රව්‍ය     CRYSTAL METH ලෙස ලෝකයේ මත්ලෝලයන් අතර බහුලව හඳුන්වයි. එසේම CRYSTEL, METH, TINA, CHRISSY, SPEED ආදී නම් රැසක්‌ වීදි ආශ්‍රිත මත් ජාවාරම්කරුවෝ භාවිත කරති. මෙම CRYSTAL METH වල වඩාත් ලෝක ප්‍රසිද්ධ වීදි නම ICE හා GLASS ය. අපේ රටේ බොහෝ දෙනකු භාවිත කරන්නේද ICE කියාය. CRYSTAL METH යනු, CRYSTAL METHAMPHETAMINE - මෙතම්ෆෙටමින් යන්නේ කෙටි නාමයයි. අයිස් සාමාන්‍යයෙන් පැමිණෙන්නේ අයිස් මෙන් පෙනෙන කුඩා ඝන පැහැදිලි ස්පටික ලෙසය. කැට හෝ කුඩු ලෙසද ඇති මේවා දුඹුරු, කහ දුඹුරු, තැඹිලි, නිල් හා රෝස වැනි පැහැයන්ගෙන් ලබාගත හැකිය. එය තද සුවඳක් සහ කටුක රසයක් සහිත සුදු හෝ දුඹුරු පළිඟු වැනි කුඩු ලෙසද පැමිණිය හැකිය. ලංකාවේ ප්‍රසිද්ධ කැට නොව මේ කුඩුය. 

විද්‍යාත්මකව සැලකු කල Crystal methamphetamine යනු උත්තේජක ඖෂධයකි. එයින් අදහස් වන්නේ එය මොළය සහ ශරීරය අතර ගමන් කරන පණිවිඩ වේගවත් කරන බවයි. එහි  “speed” ලෙස හඳුන්වන මෙතම්ෆෙටමින් කුඩු ආකෘතියට වඩා ශක්තිමත්, වඩා ඇබ්බැහි වන සුළු ද්‍රව්‍යයක් වන අතර එම නිසාම හානිකර අතුරු ආබාධ රැසක් ඇති කරයි. 

ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතය සඳහා ආරක්ෂිත මට්ටමක් නියම කර නොමැත. එසේම ඕනෑම ඖෂධයක් පවා භාවිත කිරීමේදීද සෑමවිටම යම් අවදානමක් ඇත. මත්ද්‍රව්‍ය නොගෙන සිටිම වඩාත් හොඳම පියවර වන අතර ඕනෑම ඖෂධයක් ගැනීමේදී පමණ දැන වෛද්‍ය උපදේශ මත ලබාගැනීම වැදගත්ය.

නමුත් අයිස්, ගැන කිවයුතුව ඇත්තේ සෑමවිටම නොපමාව පිටුදැකිය යුතු විසක් හැටියට ය. “අයිස් ගැහුවොත් ගැහුවාම තමා” යැයි කියන්නේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්ය. ඒ එයට ඇති ආසාව ලෙහෙසියෙන් මැකි නොයන නිසාය. 

අයිස් මුලින් ගත් අයකුට අමුතු ප්‍රමෝදයක් වැනි උන්මාද හැඟීමක් ඇති කරයි. මෙය කෘත්‍රිම උන්මාදනීය තත්ත්වයකි‍. පූර්ව මස්තිෂ්කයේ ක්‍රියාකාරකම් අවුල් කර දමන මෙය මොළයේ ක්‍රියාත්මක ඩොෆමීන් යාන්ත්‍රණය උඩු යටිකුරු කර දමයි. මේ හේතුවෙන් විවිධ අමුතු සංවේදනා සහ මානසික තත්ත්වයන් පුද්ගලයා තුළ ඇතිවන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. දැඩි ලෙස ඇබ්බැහිවීමේ ස්වරූපය නිසා ඉතා ඉක්මනින්ම වැඩි මාත්‍රා සොයා යාමේ කෑදරකමත් ඒ හේතුකොට හටගන්නා කායික හා මානසික ව්‍යාකූලතාවයනුත් මාරාන්තික අවසානයක් කරා පුද්ගලයන් ඉක්මනින්ම කැඳවා යන බවට විශේෂඥ වෛද්‍ය රූමි රූබන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම අයිස් වැඩි මාත්‍රාවන් හේතුවෙන් හෘද ක්‍රියාකාරීත්වය අවුලට පත්වීමෙන් ක්ෂණික මරණය පවා සිදුවන බව දැන් තහවුරුව තිබේ.

මේවා භාවිත කර නැවැත්වීමෙන් පසු දින කිහිපයක් යනතුරුම නිදාගැනීමට අපහසු විය හැකිය. අයිස් සෑම කෙනකුටම වෙනස් වෙනස් ආකාරයට බලපායි, නමුත් ප්‍රධාන පෙළේ බලපෑම්වලට පහත ලක්ෂණද ඇතුළත් විය හැකිය. අයිස් වෙළෙඳුන් ඒ මත්ද්‍රව්‍යයේ ඇති ආකර්ශනීය බව හැටියට වැරැදි ලෙස හඳුන්වා දී පුද්ගලයන් මුලාවට ලක් කරන්නේ මේ සමහර අනිසි අවුල් සහගත බලපෑම් ගැනය.

ඒ අතර අධික ප්‍රමෝදය සහ විශ්වාසය පිළිබඳ දැඩි හැඟීම, වැඩි අවධානය සහිත බවක්  සහ අධික ශක්තියක් දැනීම, ප්‍රමුඛ භාව, ප්‍රකෝපකාරී තත්ත්වයන් දැකිය හැකිය. මේවා භ්‍රාන්තීන් ලෙස හඳුන්වන විකෘති සංවේදනා මිස ඇත්ත තත්ත්වයක් නොවන බව වෛද්‍ය රූමි රූබන් පෙන්වා දෙයි.

අත පය කැසීම වැනි සරල ක්‍රියාවක් පාලනයකින් තොරව නැවත නැවත කිරීම, විශාල වූ අක්ෂි කාච සහ වියළි මුඛය, දත්මිටි කෑම සහ අධික ලෙස දහඩිය දැමීම, වේගවත් හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීම, ආහාර රුචිය අඩුවීම, ලිංගික ආශාව වැඩිවීම වැනි දේ අනෙකුත් ලක්ෂණය‍.

අයිස් භාවිතයෙන් මිදීමට කාලයක් ගත විය හැකිය. අත්මිදුණද නැවත ගැනීමේ ආසාව ඉතා දිගු කාලයක් යන තුරු අඩු නොවේ. මෙම කාලය තුළ පහත සඳහන් බලපෑම් අත්විඳිය හැකිය. නිදාගැනීමේ අපහසුතාව, වෙහෙස සහ හිසරදය, කරකැවිල්ල සහ නොපැහැදිලි පෙනීම සහිත  ව්‍යාකූලත්වය, මායාවන් සහ මනසේ ව්‍යාකූලත්වය, අන් අය නුරුස්නා බව සහ “ඇදවැටුණු පහත්” හැඟීම, සිතින් පහත වැටීමේ ප්‍රතිවිපාක සඳහා උපකාරයක් ලෙස සිතා මද්‍යසාර, හෝ ගංජා වැනි මානසික අවපීඩන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ඒ වර්ග දෙකින්ම යැපීමේ ඇබ්බැහි චක්‍රයක් පවා ඇතිවීමේ අනතුර මතුවිය හැකිය. 

නිතිපතා භාවිතයෙන් ඇතිවන දිගුකාලීන බලපෑම් අතර, ආහාර රුචිය අඩුවීම නිසා අධික බර අඩුවීම, නොසන්සුන් නින්ද, වියළි මුඛය සහ දන්ත ගැටලු, සාමාන්‍ය සීතල හෝ උණ, අවධානය යොමුකිරීමේ ගැටලුව, හුස්ම හිරවීම, මාංශ පේශි තද ගතිය, කාංසාව, ව්‍යාකූලත්වය සහ ප්‍රචණ්ඩත්වය මෙන්ම මානසික අවපීඩනය, හෘද හා වකුගඩු ගැටලු, ආඝාතය, හදිසි හෘදයාබාධ වැනි මාරාන්තික අවදානම වැඩිවීමක් දක්නට හැකිය.

මේ ගැටලුවලින් මිදී එකම ආකාරයේ බලපෑමක් ලබාගැනීම සඳහා වැඩිපුර ඒවා භාවිත කිරීමට පුද්ගලයන්ට අවශ්‍ය වේ. අයිස් මත යැපීමට මෙය මූලික වේ.   

අධික අයිස් මාත්‍රාවක් සහ නිතර භාවිත කිරීම හේතුවෙන් ව්‍යාකූල මායාවන් තුළ සිරවීම, මායා රූප සහ විකාර දැකීම්, ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් යුත් ‘අයිස්  මානසික තත්ත්වය’ ලෙස හඳුන්වන මනෝ විද්‍යාත්මක තත්ත්වයකට හේතු විය හැක.  මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පුද්ගලයා අයිස් භාවිතය නතර කිරීමෙන් දින කිහිපයකට පසු අතුරුදහන් වීමටද හැකිය.

නිතිපතා අයිස් භාවිත කරන සමහර පුද්ගලයන්ට පොදු මානසික සෞඛ්‍ය ගැටලුවක්  ලෙස එදිනෙදා කටයුතුවලින් අඩු සතුටක්, අතෘප්තියක් දැනෙන්නට පටන් ගනී. ඔවුන් පහසුවෙන් ආතතියට පත්විය හැකි අතර ඔවුන්ගේ මනෝභාවයන් ඉතා ඉක්මනින් ඉහළ - පහළ යා හැකිය. මෙම වෙනස්කම් කාංසාව සහ මානසික අවපීඩනය සමඟ තවත් දිගුකාලීන ගැටලුවලට හේතු විය හැක. 

මිනිසුන් අයිස් අත්හැරීමෙන් පසුද අවම වශයෙන් සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද මෙම බලපෑම් දැනිය හැක. වෙනත් ඖෂධ සමඟ අයිස් මිශ්‍ර කිරීම අනපේක්ෂිත හා භයානක විය හැකිය. අයිස් හේතුවෙන් ඇතිවන වේගය හෝ ප්‍රමෝදය හෘදය සහ ශරීරයේ අනෙකුත් කොටස් මත ඇතිකරවන දැවැන්ත ආතතිය, ආඝාතයට ක්ෂණික හෘදයාබාධවලට පවා හේතු විය හැක. අයිස් සමඟ ඇල්කොහොල්, ගංජා හෝ බෙන්සෝඩියසපයින්: ශරීරයට එක් කිරීම ද විශාල ආතතියකට හේතු විය හැකිය.      
මේ නිසාම දිගු කලක් භාවිත කිරීමෙන් පසු අයිස් අත්හැරීම අභියෝගාත්මක වන්නේ ශරීරය එය නොමැතිව ක්‍රියා කිරීමට නැවත අලුතෙන්ම පුරුදු විය යුතුව ඇති බැවිනි.

I සුගත් පී. කුලතුංගආරච්චි