රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ රැකියා සඳහා ගොස් ඇති පිරිස 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ 136%කින් ඉහළ ගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව මේ වසරේ ගෙවුණු මාස 11ක කාලය තුළ පුද්ගලයන් 289,395 දෙනෙක් විදේශ රැකියා සඳහා ගොස් සිටිති. ඔවුන්ගෙන් 40%ක්ම පුහුණු ශ්‍රමිකයන් හා වෘත්තිකයන්ය. දෙසැම්බර් මාසය අවසන් වනවිට 310,000ක පමණ පිරිසක් විදේශ රැකියා සොයා යනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.
මේ වනවිට වෛද්‍යවරුන්, බැංකුකරුවන්, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණවේදීන් වැනි වෘත්තිකයෝ විශාල වශයෙන් රට හැර යමින් සිටිති. මේ වසරේ පළමු මාස 8 ඇතුළත පමණක් රට හැරගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 477කි. වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දළ වශයෙන් ලක්ෂ 60ක් පමණ වැයවෙයි. වෙනත් වෘත්තිකයන් සඳහාද වැය කෙරෙන මුදල ඊට ආසන්නය. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන ඉංජිනේරුවන් සංඛ්‍යාව දහසකට අධිකය. ඉන් දහයෙන් එකක් මේ වනවිට රට හැර ගොසිනි. බැංකු ක්ෂේත්‍රයේද පළපුරුදු වෘත්තිකයන් විශාල පිරිසක් විදෙස් ගත වී ඇතැයි බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස විශාල ලෙස වෘත්තිකයන් රට හැර යෑමට බලපා ඇත්තේ වර්තමානයේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය පමණක් නොවේ. ආණ්ඩුව විසින් දිනෙන් දින හඳුන්වා දෙනු ලබන නව බදු ප්‍රතිපත්තිද එයට බලපා තිබේ. බදු පැනවීම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්ත්වය මත තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්ගෙන් 10% ක් පමණ විදේශ රැකියා සොයා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පරිගණක සංගමයේ දත්තවලට අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම රැකියා කරන පිරිස 150,000ක් පමණ වෙති. 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව එම ක්ෂේත්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූහ. ඉන් 10,000ක් පමණ පිරිසක් මේ වනවිට විදෙස් රැකියා සඳහා ගොස් සිටිති.
“ලොව රටවල් රැසක් මේ වනවිට ඩිජිටල් ආර්ථිකයකට සංක්‍රමණය වෙමින් සිටිනවා. එබැවින් තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. කොවිඩ් වසංගතයත් සමඟ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැඩි ඉල්ලුමක් ඇති වුණා.
මෙරට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රම බලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000ත් 9000ත් අතර පිරිසක් පමණයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉහළ වැටුප් ගෙවන ක්ෂේත්‍රයක්. රුපියල් ලක්ෂයකට වැඩි පුද්ගලයන්ට බදු පැමිණවීමට ගත් තීරණය අනුව මෙම ක්ෂේත්‍රයේ 80%ක පමණ පිරිසක් එයට අයත් වෙනවා. එමෙන්ම 30% බදු සීමාවට බොහෝ ප්‍රවීණයන් අයත් වෙනවා. බදු ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් ඒ සඳහා කාලයක් ලබා දිය යුතුයි. එසේ නොමැති නම් බදු සහනයක් ලබාදිය යුතුයි. තොරතුරු තාක්ෂණ ආයතනවල වෘත්තිකයන්ගෙන් 20%ත් 25%ත් අතර පිරිසක් පසුගිය කාලයේ සිය ඉල්ලා අස්වීම් ලිපි ලබා දී තිබෙනවා. තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලනය කිරීමට බදු සහන ඇතුළු විවිධ සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතුයි" යනුවෙන් දමිත් හෙට්ටිහේවා මහතා සඳහන් කළේය.
මෙලෙස වෘත්තිකයන් රට හැර යෑමෙන් සිදුවන්නේ බුද්ධි ගලනයකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මෙරට පස්වැනි විශාලතම අපනයන ආදායම් උපයන්නා ලෙස සැලකෙයි. ඉදිරි වසර පහ තුළ එය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් එහි සේවයේ නිරත පිරිස දෙගුණ කිරීමටත් අරමුණු කර තිබිණි. එහෙත් රටේ පවතින ආර්ථික තත්ත්වය මත එම සමාගම්වලට එකී ඉලක්කය කරා ළඟාවීම අපහසු වී තිබේ. දෛනික විදුලි කප්පාදුවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ස්ථාවර අන්තර්ජාල පහසුකම් සැපයීමට නොහැකි තත්ත්වයක් මතුකර තිබේ. පවතින අර්බුදකාරී තත්ත්වය සහ එයට පිළියම් යෙදීම සඳහා ආණ්ඩුවට ව්‍යුහාත්මක සැලැස්මක් නොමැතිකම හේතුවෙන් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වී ඇතැයි එම ක්ෂේත්‍රයේ ඇතැම් විද්වතුන්ගේ අදහසය. ඇතැම් සමාගම් ඉන්දියාව සහ ඩුබායි වැනි රටවලට තම කාර්යාල සහ කාර්ය මණ්ඩලය මාරු කිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.
ස්වාධීන පර් ෙය්ෂණ ආයතනයක් මගින් 2021 නොවැම්බර් මාසයේ සිදුකළ සමීක්ෂණ වාර්තාවකට අනුව පසුගිය වසර තුනත් පහත් අතර කාලයේ විදේශ ගතවීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇතැයි සඳහන් කර තිබේ. ඔවුන්ගෙන් 50%ක්ම තරුණ ප්‍රජාවය. පසුගිය කාලයේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ දිගු පෝලිම් එය සනාථ කරන්නකි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 9 තුළ නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව හත් ලක්ෂයකට අධික වේ.
වෘත්තිකයන් රැකියා සොයා විදේශ ගතවීමට බලපාන සාධක සහ එලෙස වෘත්තිකයන් අහිමිවීමෙන් රටක අනාගතයට වන බලපෑම සම්බන්ධයෙන් අප විමසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්ගෙනි. මහාචාර්යවරයාට අනුව බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව ජනතාව අපේක්ෂා කරන ආර්ථික, මානසික නිදහස වර්තමානයේ අහිමි වීමයි.
"සමාජ සංක්‍රමණය පිළිබඳ කතා කිරීමේදී ඒ සඳහා බලපාන තල්ලු කිරීමේ සාධක සහ ඇදගැනීමේ සාධක ලෙස ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ තල්ලු කිරීමේ සාධක. අපේ රටින් යන බොහෝ වෘත්තිකයන් වැඩි වශයෙන් යන්නේ බටහිර රටවලට. ඒ රටවල තිබෙන්නේ ඇද ගැනීමේ සාධක. මේ වනවිට ශ්‍රී ලාංකිකයෝ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මුහුණ දෙන්නේ දැඩි තරගකාරීත්වයකට. සෞඛ්‍ය පහසුකම් දුර්වලයි. සමාජ ආරක්ෂණය ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. ජනතාව අනාරක්ෂිතයි. බොහෝ දෙනකුට මේ තත්ත්වයට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. බටහිර සමාජයේ මේ සියලු දේවලින් ඉතා දියුණුයි. සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය හා අධ්‍යාපනය, සහ ජීවත්වීමට සුදුසු පරිසරයක් එම රටවල පවතිනවා. ජනතාව අපේක්ෂා කරන්නේ මේ මානසික නිදහසයි. අපේ රටේ සහ දියුණු රටවල් අතර පවතින පරතරය බොහෝදෙනකුට වැටහී තිබෙනවා. විශාල පිරිසක් රට හැර යෑමට පෙළඹී සිටින්නේ එනිසයි. මෙලෙස බුද්ධි ගලනය වීම හේතුවෙන් සමාජය තුළ විශාල රික්තයක් ඇති වෙනවා. ඇතැම් අවස්ථාවල බුද්ධි ගලනයේ වාසි සහගත අවස්ථා තිබෙනවා. ඒ වෘත්තිකයන් අතිරික්තයක් රටේ සිටිනවා නම් පමණයි. නමුත් දැන් සිදුව තිබෙන්නේ රටට අවශ්‍ය ප්‍රමාණයවත් අපට නොමැති අවස්ථාවක අත්‍යවශ්‍ය පිරිසක් රට හැරයාමයි. එහි ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවට විශේෂඥ දැනුම අවම වීමයි. එවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය විශේෂඥයන් විදේශවලින් ගෙන එන්නට සිදුවේවි. අපේ රටේ පවතින දුර්වල අධ්‍යාපන ක්‍රමය අනුව සුදුසුකම් තිබුණත් ඉතා සීමිත පිරිසකට පමණයි උසස් අධ්‍යාපනයට යොමුවීමට අවස්ථාව ලැබෙන්නේ. උසස් අධ්‍යාපන ආයතන රටට තව තවත් අවශ්‍යයි. රජයේ විශ්වවිද්‍යාල ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ශ්‍රී ලංකාවේ ඇති කිරීම ඇතැම් පිරිස් දකින්නේ අනවශ්‍ය ක්‍රියා ලෙසයි. ඒවා නියාමනය කර යම් ප්‍රමිතියක් අනුව පවත්වාගෙන යෑමට රජයට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ කලා උපාධිධාරීන් විශාල වශයෙන් බිහිවුවත් වෛද්‍ය, ඉංජිනේරු, වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රයන්හි උපාධිධාරින් සුළු පිරිසක් බිහි වීමයි. එලෙස බිහිවෙන සුළු පිරිසත් විදේශ ගතවෙනවා යනු රටක් මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයක්. එනිසා අධ්‍යාපනය පිළිබඳව පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුයි. අධ්‍යාපනයයි විදේශ විනිමය ඉපැයීමයි එකක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වෘත්තිකයන් බිහිකළ යුතුයි. එවිට රටට අවශ්‍ය විශේෂඥයන් මෙන්ම රටට විදේශ විනිමය ගෙන එන වෘත්තිකයන් පිරිසක්ද බිහි වේවි." යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා