2022 දෙසැම්බර් 11 වන ඉරිදා

සිංහරාජ අඩවියේ ගොන්ගල කැලේ ලෙලිඅරින දේශපාලකයෝ

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 177

යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ රක්ෂිතයට යාබදව පිහිටි එයට පවරා නොගත් රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් වනාන්තර බිම් රාශියක් අදත් අනාරක්ෂිතව පවතී. ඒ රක්ෂිත සිංහරාජයට එකතු කරන ලෙසට 2004 වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ රක්වාන ගොන්ගල කඳු පන්තිය ප්‍රධාන කොටගත් කඳුකර වනාන්තර කිහිපයකි. මේ වනබිම්වල ආරක්ෂාව ගැන පාරිසරික සංවිධාන නිතර මැසිවිලි නගන අතර මුදල ගැන පමණක් සිතන දේශපාලන බලය සහිත පිරිසක් මේවායේ වනාන්තර වනසමින් කටයුතු කරති. මේ කියන්නට යන්නෙත් එවන් කතාවකි.

ගොන්ගල කඳුවැටිය සබරගමුව කඳුකරයේ උසම කඳු මුදුනයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1358කි. ගොන්ගල කඳු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේය. එමගින් සබරගමුව පළාත හා දකුණු පළාත මායිම් වීමද සිදුවේ. මෙම කඳු මුදුන ඔබට දෙනියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේදී නිසැකවම දැකිය හැකිවේ. මෙම කඳුකර කලාපයේ එක් කොටසක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව පවතී. එසේම ගිං ගඟ පෝෂණය කරන ප්‍රධාන ගංගා දෙකක් මෙම කඳුකර කලාපයෙන් ආරම්භ වේ. පාරිසරික සංචාරකයෝ විශාල වශයෙන් ගොන්ගල කන්ද තරණය කිරීමට කැමැත්තක් දක්වති.

වසරකට දෙකකට පෙර මෙම කඳුකර වනාන්තරයට අයත් ඉසව්වක රාජපක්ෂවරයකු විසින් හෝටලයක් ඉදිකිරීම ගැනත් විශාල කතාබහක් සමාජයේ ඇති විය. අරගල සමයේ පසුගිය මැයි 10 දින හෝටලයේ කබානා කිහිපයකට පිරිසක් විසින් ගිනි තැබූහ. මේ ගිනි තැබූ හෝටලය පසුව එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙක් විසින් මිලදීගෙන යළිත් අලුත්වැඩියා කරමින් පවතී. එම දේශපාලනඥයා ඊට අමතරව ගොන්ගල සිංහරාජ වන අඩවියට අයත් අක්කර 75ක බිම් කොටසක් තේ වගාවට එළිකරමින් සිටින බව පසුගියදා වාර්තා විය.

එම ඉඩම පිහිටා ඇත්තේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොන්ගල කන්ද පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේය. අක්කර 75ක විශාලත්වයකින් යුත් මේ තේ වගාවට යොදාගන්නා බිම තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂීම ජල රැඳවුම් කලාපයක් බව පරිසරවේදීහු පවසති. මේ වන විනාශය සිදුකරන්නේ වත්මන් ආණ්ඩුවේ සිටින පළාතේ ප්‍රබල දේශපාලනඥයකු බවයි පැවසෙන්නේ. මෙම භූමිය ආසන්නයේ හේස් වත්තට අයත් වතු කම්කරු ජනතාවගේ නිවාසද පිහිටා තිබේ. තේ ව්‍යාපෘතියට වතු ජනතාවගෙන් එල්ලවන විරෝධතා පාලනයට  උපක්‍රමයක් ලෙස ජනතාව අතර ඉඩම් කොටස් කිහිපයක් බෙදාදීමට පියවර ගන්නා බවටද පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.

තේ වගාකිරීමට යන භුමියට අමතරව එම දේශපාලනඥයා සහ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඇතුළු පිරිසක් ගොන්ගල කඳුවැටියට ඉදිරියෙන් පිහිටි උල්ලිඳුවාව ග්‍රාම නිලධාරී වසමට අයත් පනිල්කන්දේ කබරගල වනාන්තර කොටසට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන අක්කර 550ක් ද අත්පත් කරගෙන තිබේ. එතැනින් නොනැවතී කලක පටන් එම ඉඩම් අවට වගා කරමින් සිටි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර පුද්ගලයන් 41 දෙනෙකුට නඩු පවරා එම ඉඩම් අත්පත් කර ගැනීමටද උත්සාහ ගෙන ඇත.

දේශපාලනඥයන්ට සහ බලවතුන්ට මෙසේ වනාන්තර සමඟ සෙල්ලම් කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ කැබිනට් අනුමැතියත් හිමිවුණු ගැසට් පත්‍රයක් පළ නොකිරීම නිසයි. 2004 වසරේදී ගොන්ගල කඳු ප‍්‍රදේශයද ඇතුළත්ව හෙක්ටයාර් 2508.4ක බිම් ප‍්‍රමාණයක් රක්ෂිතයට පවරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණද එම ගැසට් පත‍්‍රය පළවූයේ නැත‍. පසුව වර්ෂ 2017දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර ඇමැති සමයේ සිංහරාජයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් කොටස හැර අනෙක් කොටස් රක්ෂිතයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. එය වැදගත් තීරණයක් වුවත් සිංහරාජය වැනි පාරිසරික පද්ධතියකට දිස්ත්‍රික් මායිම් මත පදනම්ව වරින්වර තීරණ ගැනීම අතාර්කික බව පරිසරවේදීහු පවසති. පවරා නොගත් රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් හෙක්ටයාර 1512.4 මෙහි විශාලතම කොටස වන අතර පාරිසරික වශයෙන්ද විශේෂ වැදගත්කමක් උසුලයි. මෙසේ නීතියෙන් රිංගා ගොස් මුදල් ලොබින් වනාන්තර විනාශ කරන්නේ රටේ නීතිය හදන පුද්ගලයන් වීම ඛේදවාචකයකි. සති කිහිපයකට පෙර නකල්ස් කලාපයේ හෝටලයකට පාරක් කැපීමට කළ පරිසර විනාශයක් නිසා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාටත් ගෙදර යාමට සිදුවිය.

මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් සිංහරාජ වැසි වනාන්තර කලාපයට යාබදව පිහිටා ඇති භූගෝලීයව හා ජෛව විද්‍යාත්මකව අතිශය වැදගත් එමෙන්ම සංවේදී, පාරිසරික කලාපයක් ලෙස රක්වාන ගොන්ගල කඳු පන්තිය වැදගත්ය. ගොන්ගල කඳු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට නුදුරිනි. සබරගමුව පළාත හා දකුණු පළාත් මායිම් මේ කන්ද හරහා වැටී තිබේ. මෙම කඳුකර කලාපයේ එක් කොටසක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව පවතී.
මෙම සියලු වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශ ගිං ගඟේ ජල පෝෂක ප්‍රදේශ වේ. ඊට අමතරව මෙම කඳු බෑවුම් ඔස්සේ ගලා එන ජලය ඒ අවට ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සඳහා භාවිතයට ගැනේ. එපමණක් නොව මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය සිංහරාජ අඩවියේ ජීවත් වන බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන සුවිශේෂී පරිසර පද්ධති වේ.

සිංහරාජ ජාතික උරුම වන භූමිය හා සිංහරාජ වන රක්ෂිතය වටා පිහිටි සුවිශේෂී ජෛව කලාප ආරක්ෂා කිරීමට නීති හා පනත් රාශියක් තිබේ. කෙසේ වුවත් නීතිය හදන්නට සිටින පුද්ගලයන්ම නීතිය අතට ගැනීම නිසා රටේ පරිසරය පත්ව ඇත්තේ විශාල අවුලකටය.

මේ ගැන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර දැක්වූයේ මෙවන් අදහසකි:

"පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම අණ පනත් ක්‍රියාවේ යෙදවීම වෙනුවට  දේශපාලනඥයන් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට සූදානම් වෙනවා. ඉන් අපට පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් සිටින බවයි. මේ නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බවයි. අප අවධාරණය කරන්නේ සිංහරාජ අඩවිය තුළ පිහිටන සියලුම වනාන්තර හා තෘණ භූමි රක්ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් සියල්ලම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ වන රක්ෂිතය යටතට ඇතුළත් කළ යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ දේශපාලඥයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට මෙම වනාන්තර කඩිනමින් නතු වී ඉතා කෙටි කලකින් විනාශයට ලක්වීම බවයි මේ සිදුවන දේවල්වලින් පේන්නේ."

මෙම පරිසර විනාශය සිදුවන ගොන්ගල වනාන්තර කලාපයේ පමණක් ජීවත් වන උරග හා උභයජීවී විශේෂ ගණනාවක් වාර්තා වේ. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ද දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ඳ හා සම්බන්ධව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැඳී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තෝ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මතය. නමුත් මේ සියල්ල දේශපාලන බලය මත සොබාදහමේ සියලු ජීවී ප්‍රජාවන්ට අහිමි කරමින් දේශපාලන බලය හිමි පුද්ගලයන් අතට පත්කර ගනිමින් තිබේ. වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම වෙනුවෙන් මේ කඳුවැටිය, ජල පෝෂක වනාන්තර පද්ධතිය හා එහි ජෛව ප්‍රජාව ආරක්ෂා කරගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැති වීම කනගාටුවට කරුණකි.

2019 වසරේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36,475ක්, අලුතෙන් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකටත් වඩා ඉහළ ගියේය. කෙසේ වුවත් ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල සීමාවේදී වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු නිසා රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමිවීමට පටන්ගෙන තිබේ. පුදුමයට කාරණාව නම් ආණ්ඩුවේ දූෂිත වැඩවලට මෙතරම් ජනතා විරෝධයක් එල්ලව තිබියදීත් යස අගේට ඒවා නිරන්තරයෙන් සිදුවීමයි.

I කුසුම්සිරි විජයවර්ධන

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03